Sunday, August 1, 2010

ඔබට දැන් වෙළද පොළෙන් ඉතා පහසුවෙන් කොන්ඩම් ලබා ගත හැකිය.

කිසිම කලෙකටත් වඩා වර්තමානයේ සෞඛ්‍ය විද්‍යාව දියුණු වෙලා. ඒ නිසා තම ස්‌වතාවය පිළිබඳව ජනතාව සැලකිලිමත් වෙලා. මේ නිසා ජිවත්වීම කාලය ඉහළ ගිහින් තිබෙන අතර උපත් ප්‍රමාණය ඉහළගොස්‌ මරණ අනුපාතය අවම වෙලා. මේ නිසා ලෝක ජනගහණය ක්‍රමයෙන් ඉහළ ගොස්‌ තිබෙනවා.

ජනගහණය ඉහළ යාමේදී ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශාල කැපකිරීම් කිරිමට සෑම රටකට ම සිදුවෙනවා. භෞතික සම්පත් වර්ධනය කිරීමේ දී ඒවා යළි යළි ප්‍රයෝජනය ට ගැනීමේ හැකියාව නොමැතිවීම හේතු කොටගෙන ගැටලු රැසක්‌ මතුවෙනවා. මෙය අප රටට ද පොදු ලක්‌ෂණයක්‌.
ඒ හෙයින් ජනගහණය පාලනය කිරීම කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමුවිය යුතු අතර භෞතික සම්පත් පරිහරණය ඉතා ඉවසිලිවන්තව හා ක්‍රමානුකලව පරිහරණය කිරීමට අවධානය යොමුවිය යුතුයි.


අප රට සම්බන්ධයෙන් අවධානය යොමු කළද සෞඛය ක්‌ෂේත්‍රයේ දියුණුව නිසා වැඩි ආයුෂ ප්‍රමාණයක්‌ භුක්‌ති විදීමේ හැකියාව ඇත. යුද්ධය නිසා හා 2004 අප රටට බලපෑ සුනාමි තත්ත්වය නිසා යම්කිසි ප්‍රමාණයක්‌ මියගියා. එමෙන් ම විශාල සංඛ්‍යාවක්‌ රටහැර ගොස්‌ තිබෙනවා. ඒ සංඛ්‍යා ලේඛන අත් හැරියත් වසරින් වසර එකතුවන උපත් සංඛ්‍යාව වැඩි බව නොරහසක්‌.
ඒ කෙසේ වුවත් සංවර්ධිත රටවල් විවිධ පවුල් සැලසුම් ක්‍රම මගින් තම රටේ ජනගහනයේ උපත් ප්‍රමාණය යම් කිසි ප්‍රමාණයකට සීමා කර ගන්නවා. එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටවල එම තත්ත්වය එයාකාරයෙන් දකින්නට ලැබෙන්නේ නැහැ.


ජනගහනය වර්ධනය වීමේ දී ඔවුන් අතර තරගකාරීත්වයක්‌ ඇතිවන්නේ නිරායාසයෙන්. අනිකාට වඩා හොද ජීවන තත්ත්වයක්‌ උදාකර ගැනීමට ක්‍රියා කිරීමේ දී භෞතික සම්පත් පරිභෝජන රටාව ද වෙනස්‌ වෙනවා.


ඇති හැකි අය තවතවත් එම තත්ත්වය වැඩි දියුණු කරගැනීමට පෙළඹෙන්නේ නිරායාසයෙන්. තම දරුවාට, වඩා හොඳ පාසලක්‌ ලබා ගැනීමට ගම අතහැර නගරයට ඒක රාශිවෙනවා. මේ හේතුවෙන් ග්‍රාමීය පාසල් වැසී යනවා. නගරයේ තදබදය ඉහළ යනවා. එකී තදබදය මත අවශ්‍යතා ඉටු කිරීමට විශාල පිරිවැයක්‌ දරන්නට රජයට සිදුවෙනවා. ජනගහනය වර්ධනය වීමේදී අවශ්‍යතා සපුරාලීමට ගොඩනැගිලි ඉදිකිරීමට සිදුවෙනවා. ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය ලී දඩු සපයා ගැනීමට ගස්‌ කපා ගැනීමට සිදුවෙනවා. මේ තුළින් වනගහනය අඩුවෙනවා. වගා කිරීමට ඇති ඉඩ ප්‍රමාණය අවම වෙනවා. ජල උල්පත් සිදී යනවා. මෙවැනි ගැටලුකාරී තත්ත්ව රැසක්‌ මතුවෙනවා. ඒ මතු ද නොවෙයි ජනගහනය වර්ධනය වීමත් සමග අප ද්‍රව්‍ය කැලිකසල ඉවත් කිරීමේ ගැටලු ද මතුවෙනවා. එවිට වසංගත රෝග තත්ත්වයන් ද පැතිරෙනවා.


මෙම අයහපත් තත්ත්වයන්ට මුහුණ නොදී යහපත් තත්ත්වයෙන් ජීවත්වීමට නම් ජනගහන පාලනයක්‌ අත්‍යවශ්‍ය ය. ඒ සඳහා පවුල් සැලසුම් ක්‍රම භාවිතයට ගත යුතුයි.


නිවැරදි පවුල් සැලසුම් ක්‍රමයක්‌ අනුගමනය නොකිරීම නිසා අනවශ්‍ය දරු උපත් ඇති වන අතර අනවශ්‍ය දරු උපත් ඇතිවීම එම පවුලට ගැටලු රැසක්‌ ද ඇති කරනවා. එම තත්ත්වයට මුහුණ දීමට අපහසු පුද්ගලයන් ඊළඟට ගනු ලබන පියවර වන්නේ ගබ්සාවක්‌ කිරීම යි. ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව ගබ්සා කිරීම තහනම්. මේ තහනම නිසා බොහෝ දෙනෙක්‌ අනාරක්‌ෂිත මධ්‍යස්‌ථානවලදී ගබ්සාවන් කිරීමට පෙළඹෙනවා. ගබ්සාවකට මුහුණදීම එම කාන්තාව ජීවිත අවධානමකට මුහුණ දෙන බව කිව යුතුයි.
ඒ නිසා සෑම විවාහක යුවළක්‌ ම නිසි පවුල් සැලසුම් ක්‍රමයක්‌ භාවිත කිරීම අනවශ්‍ය ජනගහන වර්ධනයට මෙන් ම එම පවුලට ඇතිවන ගැටලු අවම කර ගැනීමක්‌ ලෙස ද පෙන්වාදිය හැකියි.
ඒ නිසා සෑම පවුලක්‌ ම තම පවුලේ දරුවන් අතර පරතරයක්‌ තබා ගැනීම එම දරුවන්ගේ මානසික හා කායික සෞඛය වර්ධනයටත් පවුලේ සොම්නසටත් හේතුවේ.


බොහෝ විට අපේ රටේ පවුල් සැලසුම් ක්‍රම භාවිතයට ගන්නා පිරිසෙන් වැඩිදෙනා කාන්තාවන් ය. එය පිරිමි පාර්ශවයට ද අනුගමනය කළ හැකියි. එසේ වුවද පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව කොතරම් කතාකළත් තවමත් බොහෝ දෙනෙක්‌ තුළ පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව නිසි අවබෝධයක්‌ දැනීමක්‌ ඇති බවක්‌ පෙනෙන්ට නැත. එය කනගාටුවට කරුණක්‌.


LRT සැත්කම

සැත්කම් සඳහා යොමුවෙනවා. එක්‌ දරුවෙකු සිටින මවකට මෙම පවුල් සැලසුම් ක්‍රමය උචිත නොවේ. මන්ද යළි දරුවෙක්‌ ලබා ගැනීමට අවශ්‍යය වුවහොත් එම සැත්කම නිසා මවගේ පැතුම ඉටු කරගත නොහැකි වීමයි.


පුරුෂ වාසෙත්තම්


මෙය පිරිමි පාර්ශවය අනුගමනය කරන සැත්කමකි. මීට අමතරව පිරිමින් සඳහා කොණ්‌ඩම් ද භාවිත කළ හැකිය. එම පවුල් සැලසුම කාන්තාවට ද අනුගමනය කළ හැකිය. එය පවුල් සැලසුම් ක්‍රමයක්‌ ලෙස පමණක්‌ නොව ලිංගාශ්‍රිත රෝග බෝ වීමෙන් ද වැලකීමට ද යොදාගත හැකිය.


ගිලින පෙති

ගිලින පෙති භාවිතය කාන්තාවන්ට පවුල් සැලසුම් ක්‍රමයක්‌ ලෙස භාවිත කළ හැකියි. මෙම පෙති කොන්ඩම් මෙන් වෙළද පොළෙන් ඉතා පහසුවෙන් ලබා ගත හැකි අතර පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් ද ලබා ගත හැකිය.


මීට අමතරව තවත් දියුණු ක්‍රම පවුල් සැලසුම් ක්‍රම සඳහා අනුගමනය කළ හැකියි. ඒ අතර නවීන
එන්නත් ක්‍රම ප්‍රධාන තැනක්‌ ගනී. මේවා පිළිබඳව ඔබේ රෝහලේ නාරිවේද වෛද්‍යවරයාගෙන් විමසා දැන ගත හැකියි.


බොහෝ දෙනෙක්‌ පවුල් සැලසුම් ක්‍රමවලට යොමු නොවන්නේ එයින් ශරීරයට අහිතකර බලපෑම් එල්ල වෙනවා යන ප්‍රාථමික සිතුවිල්ල නිසාවෙනි. පවුල් සැලසුම් ක්‍රම එසේ ශරීරයට අහිතකර නොවෙයි.


එල්. ආර්. ටී. සැත්කම හා පුරුෂ වාසෙත්තමි සැත්කම හැරුණු කොට අනිකුත් පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කරන අයකුට එය අත් හැරීමෙන් පසු දරුවකු පිළිසිද ගැනීමට කටයුතු කළ හැකිය.


හදිසි අවස්‌ථාවක දී ගැබ් ගැනීම වැලක්‌වීම සඳහා එම සිදුවීමෙන් පසු පැය 72 ක්‌ තුළ ගන්නට නිර්දේශ කරනු ලබන හෝර්මෝන පෙති දෙකක්‌ වෙළඳ පොළේ ඇති අතර මෙය හදිසි අවස්‌ථාවකදී ලබා ගන්නයෑයි නිර්දේශ කළත්, බොහෝ කාන්තාවන් මෙය පවුල් සැලසුම් ක්‍රමයක්‌ ලෙස භාවිතයට ගැනීමට පුරුදුව සිටිනවා.



 මෙම පෙති දෙක දිගින් දිගට ම පාවිච්චි කිරීමෙන් මෙම කාන්තාවන්ගේ සාපල්‍යතාවය අඩු වීමට නැතිනම් මදසරු බව ඇතිවීමට හේතුවක්‌.


ඒනිසා පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කිරීමේදී ඔබට වඩාත් උචිත දේ තෝරා ගැනීමට සැලකිලිමත්වන්න. 

Friday, July 30, 2010

සිංහල අපේමද ?


සිංහල භාෂාව හා සංස්කෘතිය කෙරෙහි වූ පෘතුගීසි හා ලන්දේසි බලපෑම පුළුල් පර්යේෂණයකට බඳුන් විය යුතු දෙයකි. 16 වන සියවස වනවිට මුළු මහත් දකුණු හා අග්නිදිග ආසියාවේ ම අන්තර්ජාතික වෙළෙඳ්‍රම නතුකර සිටියෝ, අරාබීහු ය.
ඒ වන විට ඉස්ලාම් ආගම වැලැඳගෙන සිටි අරාබීහු සිය සමය දේශදේශාන්තරයන්හි ව්‍යාප්ත කිරීමට  මහත් උනන්දුවකින් කි‍්‍රයා කළහ. ටික කාලයක දී තුර්කි හා අරාබි ආක‍්‍රමණිකයන් විසින් මුළුමහත් මධ්‍යම ආසියාවත්, බටහිර චීනයත් දකුණු ආසියාවේ කොටසකුත් ඉස්ලාම් කරණයට පත් කිරීමට සමත් වූහ. තවත් ආකාරයකින්  ඉස්ලාම් දහම ව්‍යාප්ත කිරීමක් සිදුවූයේ අරාබි යාති‍්‍රකයන් හා වෙළෙඳුන් මඟිනි.

මාල දිවයින් ද, වර්තමාන මැලේසියාව හා ඉන්දුනීසියාව යන රටවල් ද සියයට සියයක ඉස්ලාම් රටවල් බවට පත් කරන ලද්දේ අරාබි නාවික වෙළෙඳුන් සමඟ ගමන් ගත් ධර්ම ප‍්‍රචාරකයන් විසිනි. ඒ වන විට අප දිවයිනේ අන්තර්ජාතික වෙළෙඳ්‍රම සිය අණසකට නතු කරගෙන සිටි මුස්ලිම්වරු වෙරළබඩ නගරවල විශාල වශයෙන් පදිංචි වී සිටියහ.
පුදුමයකට මෙන් 16 වන සියවස ආරම්භයේ දී ද සිංහලයෝ සියයට සියයක් ම බෞද්ධයන් වශයෙන් සිය අනන්‍යතාව රැකගැනීමට සමත් ව සිටියෝ ය. අරාබීන් ගේ භාෂාව හෝ ආගම සිංහලයන් කෙරෙහි බලපෑවේ අල්ප වශයෙනි. ලංකාවේ පදිංචි වූ මුස්ලිම්වරුන් බහුතරය මුස්ලිම් ආගම වැළඳගත් දකුණු ඉන්දීයයන් වූ අතර ඔවුන් මවුබස වශයෙන් භාවිතා කෙළේ අරාබි නො ව දෙමළ යි. අද ද ශ‍්‍රී ලංකා මුස්ලිම්වරු සිය මවුබස වශයෙන් සලකන්නේ දෙමළ භාෂාවයි.

ශ‍්‍රී ලංකාව  කෙරෙහි මුස්ලිම් බලපෑම අල්පවූයේ නැතහොත් ආසියාවේ අනෙකුත් දූපත් රාජ්‍යයන් මෙන් ඉස්ලාම්කරණයකට බඳුන් නොවූයේ සාධක දෙකක් නිසා බැව් පැවසිය හැකි ය. පළමුවැන්න ඒ වන විට කිසියම් පරිහානි තත්ත්වයකට පත් ව සිටිය ද, සිංහල සංස්කෘතියේ අවියෝජනීය ආරක්ෂකයන් වශයෙන් කි‍්‍රයාත්මක වූ මහා සංඝරත්නයේ බලපෑම යි. දෙවැන්න, 16 වන සියවසේ මුල් භාගයේ ශ‍්‍රී ලංකාවට ගොඩබට පෘතුගීසීන් මුහුදුබඩ සිය වාණිජ ආධිපත්‍යය රඳවාගෙන සිටි මුස්ලිම්වරුන්ගේ කි‍්‍රයාකාරකම් දුර්වල කිරීම ය.
පෘතුගීසීහු මුහුදුබඩ සිටි මුස්ලිම්වරුන් රට මැදට පන්නා දැමූ හ. කන්ද උඩරට සිංහල රජු ගේ අනුග‍්‍රහය ඇති ව රට මැද සෑම ප‍්‍රදේශයකට ම මුස්ලිම් ව්‍යාප්තිය සිදුවිය.

කොළොම්තොටට ගොඩබට ප‍්‍රතිකාල්වරුන් නොහොත් පෘතුගීසිවරුන් දුටු සිංහලයන්, මේ පැහැපත්, කි‍්‍රයාශීලී යුරෝපීයයන් පිළිබඳ ව කෝට්ටේ මහ වාසලට දැනුම් දුන් ආකාරය රාජාවලියෙහි දැක්වෙන්නේ මෙසේ ය.

අපගේ කොළොම්තොටට ගොඩබට ඉතා සුදු පැහැති ජාතියක් රූපශ‍්‍රීයෙන් යුක්තව යකඩ සැට්ට ඇඟලා යකඩ තොප්පි ඉසලාගෙන විගසින් එක තැන නොසිට සක්මන් කරන්නාහ. කුඩු ගල් සපා කමින් ලේ බොන්නාහ. එක මස්ටකයාට එක දෙහි ගෙඩියට රන් රිදී දෙක තුන දෙන්නේය..

සිංහලද්වීපය යටත් කරගත් යුරෝපීය ජාතීන් අතුරෙන් වඩාත් ක‍්‍රෑර හා යුදකාමී ජාතිය වශයෙන් මැදහත් විචාරකයන් සලකන්නේ පෘතුගීසීහු ය. එහෙත්, අවුරුදු 150ක පමණ කාලයක් ලංකාවේ මුහුදුබඩ පෙදෙස් පාලනය කළ ප‍්‍රතිකාල්වරු සිංහල සංස්කෘතිය ඇසුරෙහි වෙසෙස් ලකුණු දෙකක් තැබූහ.

ඒවා නම් ස්වකීය ආගම හා ඔවුන් ගේ පුද්ගල නාමයන්ය. මෙහිදී සඳහන් කළයුතු තවත් විශේෂිත කරුණක් වන්නේ කතෝලික ආගම වැළඳගත් සිංහලයන් පමණක් නො ව බෞද්ධයන් ද පෘතුගීසි නම් හා වාසගම් වැලැඳ ගැනීම යි. අදත් බොහෝ සිංහල කතෝලිකයන් මෙන් ම බෞද්ධයෝ ද මේ පෘතුගීසි පෙළපත් නාම සිය පාරම්පරික උරුමයන් ලෙස සුරැකීමට මහත් කැමැත්තක් දක්වති.

ගෞරවාර්ථයක් ඇඟවෙන දොන් හා දෝන යන අභිධාන සිය නම්වලට ඉදිරියෙන් තිබීම අභිමානයක් ලෙස සැලැකේ. ඊට අමතර ව සිල්වා, පෙරේරා, ප‍්‍රනාන්දු, පීරිස්, සොයිසා, කුරේ, කොරයා, කොස්තා ආබෲ ආදී කොට ඇති විශාල පෙළපත් නම් ප‍්‍රමාණයක් සිංහලයෝ භාවිත කරති. ජාතිකත්වයට ගරු කරන දැඩි දේශපෙ‍්‍ර්මයෙන් යුතු බෞද්ධයන් පවා මේ පෘතුගීසි නම්වලට දක්වන්නේ දැඩි කැමැත්තකි.

සමහර පෘතුගීසි පෙළපත් නාමයන් පෘතුගාලයට වඩා ලංකාව තුළ ව්‍යාප්ත වී තිබෙන බවට ද මතයක් පවතී. මගේ මිතුරකු වරක් පැවැසූයේ ලිස්බන් (පෘතුගාලයේ අගනුවර) නගරයේ දුරකථන නාමාවලියේ පෙරේරා, ප‍්‍රනාන්දු හා සිල්වා යන නම් සඳහා වෙන්වී ඇති පිටු ගණනට වඩා වැඩි පිටුගණනක් මහ කොළඹ දුරකථන නාමාවලියේ ඇති බව යි.

ලන්දේසීන් ගේ රෙපරමාදු ආගම හෝ ඉංග‍්‍රීසීන්ගේ එංගලන්ත සභාව මෙන් නො ව පෘතුගීසින් ගේ කතෝලික ආගම සිංහලයන් තුළ විශාල වශයෙන් ව්‍යාප්ත ව, ස්ථාවර ව පවතී. මේ නිසා ම කතෝලික ආගම හා සම්බන්ධ වදන් රැසක් පෘතුගීසීන් ගෙන් සිංහලයට ලැබී ඇත්තේ ය.

බෞතීස්ම, මඤ්ඤා, පඤ්ඤා, අල්තාරය, අන්දෝරුව, පාදිලි, නත්තල, ස්පීතු ශාන්ත, සන්තුවිස්කන් එවැනි වචන කිහිපයකි.

එසේ ම සිංහලයට ආගන්තුක වූ සමහර භාණ්ඩ හා කෑම බීම සඳහා යෙදෙන වදන් රාශියක් ද පෘතුගීසි භාෂාවෙන් සිංහලයට ලැබී ඇත. එවැනි සමහර වදන් සිංහලය තුළ කොතෙක් තහවුරු වී ඇද්දැ යි කිවහොත් අපි බොහෝ විට සිතන්නේ ඒවා අපේ ම වදන් ලෙසට යි. කසාද, තුවා, සබන්, විනාකිරි, සපත්තු, අරක්කු, කබාය, කලිසම, බැනියම, සාය, බොස්තරක්කය, සලාද, අච්චාරු, කජු, බෝංචි, ලිංගුස්, සීනි එවැනි වදන් කිහිපයකි.

අල්මාරිය, පෙනේරිය, දිවාන්, අලවංගු, කල්දේරම්, ගුදිරි, තාච්චි, පෝරණු, බන්දේසි, බාල්දි, බුජ, බස්තම්, ලේන්සු, මේස යන වදන් ද අපට ලැබුණේ පෘතුගීසින් ගෙනි. ඔවුන් අතර භාවිත වූ ආෂ්කයක් වූයේ කුමේ, බෙබේ, මෙරේ (කමු, බොමු, ප‍්‍රීතිවෙමු) යන්න යි. පෘතුගීසි ආභාසය ලද සිංහලයෝ ද හරක් මස් අනුභව කොට අරක්කු බී, කපිරිඤ්ඤා ගයා බයිලා නටා (බයිලා යනු නැටුම් විශේෂයකි.) ගෙවන කෙළිලොල් ජීවිතයකට පුරුදු වූහ.

පෘතුගීසීන් ගෙන් පසු ව අප රට ආක‍්‍රමණය කළ ලන්දේසීහු (ඕලන්ද දේශවාසීහු) ආගමික හා භාෂාත්මක වශයෙන් පෘතුගීසීන්ට බොහෝ දුරස් වූහ. කතෝලික ස්පාඤ්ඤ පාලනයෙන් මිදුණු ඕලන්දය, ස්පාඤ්ඤයට මෙන් ම පෘතුගීසින් කෙරෙහි ද දැක්වූයේ දැඩි විරසක භාවයකි.

පෘතුගීසීන් අල්ලාගෙන සිටි යටත් විජිතවලින් ඔවුන් පන්නා දමා සිය අණසකට නතු කර ගැනීමට ලන්දේසීන් පෙලැඹුණේ එකී විරසක භාවය හේතුවෙනි. එහෙත් ශ‍්‍රී ලංකාව යටත් කොට ගත් ලන්දේසීහු සිය පාලන කටයුතු සිදුකර ගෙන යෑම සඳහා ඒ වන විටත් තහවුරු ව පැවැති පෘතුගීසි භාෂාව යොදා ගත් බවට වාර්තා ඇත.

පෘතුගීසීන්ට වඩා සංයත ජාතියක් වූ ලන්දේසීහු අධ්‍යාපනික හා තාක්‍ෂණික අතින් ද, ඉහළ තත්ත්වයක පසු වූහ. අවුරුදු 150 ක පමණ කාලයක් ලන්දේසීහු මෙරට මුහුදුබඩ පෙදෙස් පාලනය කළ ද සිංහල සමාජය තුළට ඔවුන් ගේ ආගම සේ පුද්ගල නාම ව්‍යාප්ත වීමක් සිදු නො වී ය. ශ‍්‍රී ලංකාවට ප‍්‍රථම වරට විධිමත් අධිකරණ පද්ධතියක් හඳුන්වා දුන්නේ ලන්දේසීන් ය.
ඒ නිසා නීතිය හා අධිකරණ කටයුතුවලට අදාළ ලන්දේසි වදන් සමූහයන් සිංහල බසට එක්වී ඇත්තේ ය. අද පවා භාවිත වන ඇස්තීසි, අද්වකාත්, සිතාසි, කොමසාරිස්, පෙරකලාසි, සෙකරදාරින්, තෝල්ක, රපෝර්තු, කුවිතාන්සිය වෙන්දේසි, කන්තෝරු, දාතම, නොතාරිස් බංකොලොත් යන වදන් ලන්දේසි වදන්වලින් බිඳී ආ ඒවා ය.

ලන්දේසීන් විසින් අපට ආගන්තුක වූ පළතුරු හා රසකැවිලි කිහිපයක් ද හඳුන්වා දෙන ලදී. පේර, ගඩුගුඩා, මැංගුස්ටීන්, රඹුටන්, දූරියන් වැනි පලතුරු ද, කොකිස්, දොදොල්, සූකිරි ලෑතර වැනි රස කැවිලි ද ඉන් සමහරෙකි.

බාල්ක, කලම්ප, තරප්පු, සොල්දර ඉස්තෝප්පු, බරාද, සාලය, ලැටිස්, බෝක්කුව, ඉස්කුරුප්පුව, රාක්ක වැනි ගොඩනැඟිලි ආශි‍්‍රත වදන් ද කේතල, පෝච්චි ලන්තෑරුම්, බක්කි, සාස්පාන, ඉස්ති‍්‍රක්කය වැනි භාණ්ඩ නාම ද අපට ලන්දේසින් ගෙන් ලැබුණු ඒවා ය.

කඩදාසි කුට්ටමේ වංශ හතර හඳුන්වන ඉස්කෝප්ප, හාරත, රුයිත, කලාබර යන වදන් ද ඊට ම අදාළ ආසියා, හේරා, පොරොව, බූරුවා වැනි වදන් ද ලන්දේසි ප‍්‍රභවයකින් යුක්ත ය. අද වන විට සිංහල භාෂාව ඇසුරෙහි තහවුරු වී ඇති ලන්දේසි හා පෘතුගිසි වදන් සංඛ්‍යාව කොපමණ දැයි කිවහොත් සාමාන්‍ය ව්‍යවහාරයේ දී ලන්දේසි, පෘතුගිසි වදන් රහිත ව අපට භාෂාව භාවිත කළ නො හැකි තරම් ය.

යට සඳහන් වාක්‍ය බලන්න.
ඉස්පිරිතාලේ කක්කුස්සියට බාල්ක රීප්ප හොයන්න ගිහින් පානුයි සම්බෝලයි කකා රස්තියාදු වුණා.


ඉහත වැකියේ කහපාට පද සියල්ල ම පෘතුගිසි හෝ ලන්දේසි වදන්වලින් බිඳී ආ ඒවා ය.

Sunday, July 25, 2010

මේක පොඩි රසවත් කතාවක්

මේක පොඩි රසවත් කතාවක් එක්තරා කාන්තාවකගේ මුදල් පසුම්බිය බස් රථයකදී හොරකම් කරලා

පොලීසිය හොරා අල්ලලාඋසාවියට ඉදිරිපත් කලා ඉතින් නඩුකාර හාමුදුරුවො තෝල්කය හරහා 
අර කාන්තාවගෙන් මෙහෙම අහනවා

තෝල්කයා - කොහේද තමා පසුම්බිය තබාගෙන හිටියේ.

පැමිණිලිකාරිය - හැට්ටය අස්සේ

තෝල්කයා - ඉතින් තමාට දැනුනෙ නැද්ද පසුම්බිය ගන්න කොට.

පැමිණිලිකාරිය - කවුද ස්වාමීනි හිතුවේ පර්ස් එක ගනීවි කියල.

Tuesday, July 20, 2010

කාමය සහ රාගය !


කාමය යනු සිඟා කෑ දෙයක් වැනි ය. නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකුගේ ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය.කාමයෙන් ලැබෙන ආශ්වාදය ද එවැනි ය. අධික බැඳීම් සහ අධික ඇලීම් ඇති කරගත්තත් ඒවා අප කෙරෙන් කවර මොහොතක ගිලිහී යා දැයි කිව නොහැකි ය.

අප කෙරෙහි වූ විවිධාකාරයේ ඇලීම් නිසා සංසාරික ජීවිතයේ දී අපි වේදනාවට භාජනය වෙමු. දුකට, පීඩාවට පත්වෙමු. මෙහි දී කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත. එනම් කාමය සහ රාගයයි. අඹු දරුවන්, සහෝදර සහෝදරියන්, ඥාති හිත මිත‍්‍රාදීන්, ආහාරපාන, වස්ත‍්‍රාභරණ, මිල මුදල් ආදී වූ වස්තු කෙරෙහි අධික ලෙස ඇලීම කාමයයි.

එහි රූප තිබේ, ශබ්ද තිබේ, ගන්ධය, රසය, ස්පර්ශය තිබේ, නිර්වාණය අවබෝධ කරගන්නා තාක් පංචකාමයන් පිළිබඳව වූ ඇලීම මිනිසුන් කෙරෙන් දුරස් නොවේ. එක් අවස්ථාවක දී ගිහිගෙය කලකිරී සසුන්ගත වූ පැවිද්දකු පවා පස්කම් සුව විඳීමේ ආශාවෙන් නැවත ගිහිගෙය සොයා පැමිණීමට පුළුවන කාම ස්වභාවය එයයි.

කාමයෙහි ආදීනව නොදකින තැනැත්තා කාමය අත්හරින්නට කිසිදාක සූදානම් නැත. මේ ජීවිතයේ වූ අධික බැඳීම්වල ඇති අගතියෙන් ගැලවෙන්නට සූදානමක් නැතිනම් ලෞකික ජීවිතයේ ආධ්‍යාත්මික සුවයක් කිසිදිනෙක අත්විඳින්නට නොලැබෙනු ඇත. කාමයේ සහ රාගයේ දැඩිව ඇලීමේ ආදීනව දහයක් බුදුරජාණන් වහන්සේ අලගද්දුපම සූත‍්‍රයේ දී උපමා මගින් පෙන්වා දුන්හ.

අත්ථි කන්කලුපමා කාමා

කාමය ඇට කැබැල්ලක් හා සමානය. ඒ කුමන ඇට කැබැල්ලක් ද? අල්ප වූ රසයක් ඇති ඇට කැබැල්ලකි. සාමාන්‍යයෙන් කාමයෙහි ලොල් වූ තැනැත්තාට එහි ඇත්තේ අල්ප වූ රසයක් බව කිසිදා නොසිතේ. කාමයෙහි මත් වූ පසුව, රාගයෙහි දැඩිව ඇළුණු පසුව එහි වින්දනාත්මක බව වඩ වඩාත් දැනෙන බැවිනි. බුදුරජාණන් වහන්සේ මෙය අපට නිරවුල්ව කියා දෙති.

මස්වත් ලේවත් නැති ඇට කැබැල්ල කොතරම් වේලාවක් කටේ රුවාගෙන සිටියත් සුනඛයා ගේ කුස නොපිරෙන්නා සේ පස්කම් සුවයෙහි ගැති වූ පසු කිසිවකු දැන් ප‍්‍රමාණවත් යැයි ඒකෙරෙන් සම්පූර්ණත්වයට පත්වන්නේ නැත.

මංස පේසු උපමා කාමා

කාමය මස් කැබැල්ලකට ද උපමා කොට ඇත්තේ ය. මස් කැබැල්ලක් ගෙන අහසට පියඹා යන උකුස්සා පසුපස අනෙක් උකුස්සෝ හඹා යති. ඒ මස්කැබැල්ල ඩැහැ ගන්නට ය. කාමයෙහි ආදීනව නොදැන දිගින් දිගටම එහි ඇලීමෙන් අත්වන්නේ මස් කැබැල්ල රැගෙන අහසට පියඹා ගිය උකුස්සාට අත්විඳින්නට වූ පීඩාව හා සමාන පීඩාවකි. කාමයට ගිජු වූ පසු කවරාකාරයේ ගැටුම්වලට, කුළල් කාගැනීම්වලට මුහුණ දෙන්නට සිදුවේදැයි අපි නොදනිමු.

බුදුරජාණන් වහන්සේ එය තවත් අපූරු උපමාවකින් මෙසේ විග‍්‍රහ කරති.

තිනික්කු උපමා කාමා

පෙ‍්‍ර්මයෙන් පැරැදුණ ඇතැම් පිරිස් මාව පිච්චෙනවා වගේ මම ගිනි අරගෙනයි ඉන්නේ යනුවෙන් පවසන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු. බුදුරජාණන් වහන්සේ මෙහි කාමය උපමා කොට තිබෙන්නේ තණ හුළකටය.

ගිනිගත් තණු හුළක් උඩු සුළඟට හැරුණු පසු වේගයෙන් දැවේ. අත් නොහැරිය හොත් එය අල්ලා ගෙන සිටින තැනැත්තා ද දවා හළු කරන තරමට මේ ගිනි හුළ කි‍්‍රයාත්මක වීමට පුළුවන. දැල්වුණු තණ හුළකින් ඔබ දැවී පිච්චී යන්නට පුළුවන් වගේ ම කාමයෙහි අධික ලෙස ඇලීමෙන් එයින් ම ඔබ දැවී වැනසී යන්නට පුළුවන් බව බුදුන් වහන්සේ උගන්වා ඇත.

අංගාර කාසු උපමා කාමා

කාමයෝ ගිනිදලු නැති, දුම් නැති, ගිනි අඟුරුවිලක් හා සමානය. ගිනි අඟුරුවිලක තිබෙන බිහිසුණු බව කොතරම් ද? ගිනි දලු එළියට නොපෙනුණත් ඊටත් වඩා භයානක බවක් අභ්‍යන්තරයේ ඇත. එය කෙනෙක් දවා හළු කරන්නට සමත් ය.

කාමය, රාගය නමැති ගින්න එළියට එන්නට නොදී සඟවාගෙන සිටින තැනැත්තා කාමයෙන් මත් වූ පසුව මොන තරම් නම් විඳවනවා ඇත්ද? මොනතරම් දැවෙමින් පිච්චෙනවා ඇත්ද?

ඔබ අනිවාර්යයෙන් ම සිහියට ගත යුතු දෙයක් වේ. අධික වූ කාමයකින් ඔබ යමක් කෙරෙහි ඇළෙනවා නම්, අභ්‍යන්තරයේ කාමය සඟවා ගෙන සිටිනවා නම් එය හරියට අළුයට සැඟවුණු ගිනි අඟුරු ගොඩක් වැනි ය. කුමන අවස්ථාවකදී මතු වී අවුත් අලුත් ගින්නක් හට ගනී දැයි අපි නොදනිමු.

කාමයෙහි ඇති හිස් බව බුදුරජාණන් වහන්සේ තවත් උපමාවකින් පෙන්වා දේ. කාමයෙහි ඇලීමෙන් පසු අප ගත කරන සිහින ලෝකය පිළිබඳව මෙසේ සඳහන් කරයි.

සුපින කූපමා කාමා

කාමය හරියට සිහිනයක් හා වැනිය. අපි බොහෝ සිහින දකිමු. නින්දේදී අපට අලංකාර මහා මන්දිර හමුවේ. දිව්‍ය ලෝක පෙනේ. උදෑසන පිබිදුණු විට ඒ හීනවල කිසිම හරයක් නැති බව, සිහින පමණක් ම බව අවබෝධ වේ. කාමයෙන් අගතියට ගිය පසු.

අප ජීවත්වන්නේ ද සිහින ලෝකයක ය. ඒ සිහිනයේ සිටින තාක් යථාර්ථය අත්විඳින්නට ලැබෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කර දී තිබේ.

තවත් අවස්ථාවක, කාමය අනුන්ගෙන් ඉල්ලා ගත් දේවල් බඳු යැයි සඳහන් කරයි.

යාචිත උපමා කාමා

කාමය සිඟා කෑ දෙයක් වැනි ය. එසේත් නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකු ගේ ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය. කාමයෙන් ලැබෙන ආශ්වාදය ද එවැනි ය. අධික බැඳීම් සහ අධික ඇලීම් ඇති කරගත්තත් ඒවා අප කෙරෙන් කවර මොහොතක ගිලිහී යා දැයි කිව නොහැකි ය.

බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක, කාමය පල දරන ගසකට උපමාකර ඇත්තේ ය.

රුක්ඛ පලුපමා කාමා

පල බරැති ගසකට නැඟගත් කෙනෙක් සීමාවකින් තොරව ගෙඩි ආහාරයට ගන්නට පටන් ගනී. ගසට නැඟ ගත නොහී තවත් මිනිසකු පැමිණ ගස කපා දමන තුරුම ගසට නැගගත් තැනැත්තා සිහියක් නැතිව ගසින් නොබැස්සේ නම් ඔහු ගසත් සමගම ඇද වැටී විනාශයට පත්වෙන්නට පුළුවන. පස්කම් සුවයෙහි අසීමාන්තිකව ඇළෙන්නට ගැලෙන්නට යන සියලු දෙනාටම විනාශය ගෙන දෙන බව මෙහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති.

අතිසුනු උපමා කාමා

කාමය කඩුවකට, මස් කපන කොටයකට උපමා කරන්නේ ය. කඩුවත් කොටයත් නිසා මස් කැපෙන්නා මෙන් කාමය නිසා කළකෝළාහල ඇති වී මිනිසුන් විනාශයට පත්වන්නේය. සමාජය දෙස බැලූ කල මෙය ඉතාම ප‍්‍රායෝගික සිදුවීමකි.

අධික ආශාව නිසා මිනිසුන් ගහ මරා ගන්නා අවස්ථා කොතෙකුත් ඇත. ලොව බලවත් රටවල් තෙල්වලට ඇති අධික ආශාව නිසා, ඒ සීමිත සම්පත්වල උරුමක්කාරයින් වන්නට ඇති අධික කැමැත්ත නිසා පිල්වලට බෙදී එකිනෙකාට එරෙහිව අවි ආයුධ අමෝරා ගන්නා ආකාරය අපට පෙනේ. බුදුරජාණන් වහන්සේ, යම් දෙයක් කෙරෙහි අධික ලෙස ඇලීමෙන් එකිනෙකා අතරවන ගැටුම් කඩුවකට සහ කොටයකට උපමා කොට ඇත්තේ මෙවැනි අවස්ථා පදනම් කරගෙන ය.

සක්ති සලුපමා කාමා

අලගද්දුපම සූත‍්‍රයේ දී තවත් අවස්ථාවක කාමය ඉතා තියුණු පිහියකට තියුණු ආයුධයකට තියුණු උලකට උපමා කර තිබේ. තියුණු ආයුධයකින් සිදුවන්නේ කෙනකුට හානියක් සිදු කිරීමයි. විනාශ කර දැමීමයි. කාමයත් ඒ හා සමානය.

කෙනෙක් වඩාත් ඇලුම් කරන දෙයක් තවත් කෙනකුට හිමිවූ කල එය ඔවුනොවුන් අතර මහා අරගලයකට, විනාශයකට හේතු වන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු. තමා ආදරය කළ තැනැත්තිය වෙනකකු හා විවාහ වූ කල ඔවුන් මරා දමන්නට තරම් සැහැසී වූ අවස්ථා අපට කොතෙකුත් හමු වී ඇත.

බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් කාමය සර්ප හිසකට උපමා කරන්නාහ.

සප්ප සිරූපමා කාමා

සර්ප හිස ඉතාම බිහිසුණු ය. කාමයත් ඒ වගේ ඉතා භයානක, බිහිසුණු දෙයක් ලෙස උන්වහන්සේ උගන්වා ඇත.

ඔබ මේ උපමා දහය පිළිබඳව ඉතා සියුම්ව, ඉතාම විමර්ශනශීලීව කල්පනා කළ යුතු ව ඇත. අනවශ්‍ය ඇලීම් නිසා ඔබට වේදනාවක් මිස සැනසුමක් උදාවන්නේ නැත. එය දැල්වෙන ගිනිහුලක් සේ නිරතුරුවම අපට පීඩාකාරී වන බව අමතක නොකළ යුතු ය මේ නිසා යම් යම් දේවලට ඔබ කෙරෙහි වූ ඇල්ම අඩුම තරමින් ටිකෙන් ටික හෝ අඩු කරන්නට, ප‍්‍රහීණ කරන්නට ඔබ උත්සාහ කළ යුතුව ඇත.

ඒ සඳහා අලගද්දුපම සූත‍්‍රය පදනම් කරගනිමින් සිදු කරන මේ මඟ පෙන්වීම මහත් ප‍්‍රයෝජනවත් වනු ඇත. විවිධ වස්තූ කෙරෙහි තදින් ඇලීම නව ලොව රටවායි. අප අගතියට පෙළඹවීම කාමයේ ස්වභාවයයි. මේ වෙළෙඳපොළේ රටාව ද එයයි. මේ නිසා ඔබ කාමයේ ආදීනව සිහි නුවණින් අවබෝධ කොට කිසි දිනෙක යම් දෙයක් කෙරෙහි අධික ලෙස නො ඇලී ජීවත්වන්නට සිතට ගත යුතු ය.

ඔබ ඇලුම් කරන යමක් අහිමිවේද නිහතමානීව, මධ්‍යස්ථභාවයෙන් ඒ දේවල් දරාගන්නට, ඒවා සමඟ ගනුදෙනු කරන්නට ඔබ සූදානම් විය යුතු ය. කාමයෙහි ඔබ අප සිතනා තරම් තෘප්තියක්, වින්දනයක් නොලැබෙන බැවිනි.


Related Posts with Thumbnails Related Posts with Thumbnails