Friday, July 30, 2010

සිංහල අපේමද ?


සිංහල භාෂාව හා සංස්කෘතිය කෙරෙහි වූ පෘතුගීසි හා ලන්දේසි බලපෑම පුළුල් පර්යේෂණයකට බඳුන් විය යුතු දෙයකි. 16 වන සියවස වනවිට මුළු මහත් දකුණු හා අග්නිදිග ආසියාවේ ම අන්තර්ජාතික වෙළෙඳ්‍රම නතුකර සිටියෝ, අරාබීහු ය.
ඒ වන විට ඉස්ලාම් ආගම වැලැඳගෙන සිටි අරාබීහු සිය සමය දේශදේශාන්තරයන්හි ව්‍යාප්ත කිරීමට  මහත් උනන්දුවකින් කි‍්‍රයා කළහ. ටික කාලයක දී තුර්කි හා අරාබි ආක‍්‍රමණිකයන් විසින් මුළුමහත් මධ්‍යම ආසියාවත්, බටහිර චීනයත් දකුණු ආසියාවේ කොටසකුත් ඉස්ලාම් කරණයට පත් කිරීමට සමත් වූහ. තවත් ආකාරයකින්  ඉස්ලාම් දහම ව්‍යාප්ත කිරීමක් සිදුවූයේ අරාබි යාති‍්‍රකයන් හා වෙළෙඳුන් මඟිනි.

මාල දිවයින් ද, වර්තමාන මැලේසියාව හා ඉන්දුනීසියාව යන රටවල් ද සියයට සියයක ඉස්ලාම් රටවල් බවට පත් කරන ලද්දේ අරාබි නාවික වෙළෙඳුන් සමඟ ගමන් ගත් ධර්ම ප‍්‍රචාරකයන් විසිනි. ඒ වන විට අප දිවයිනේ අන්තර්ජාතික වෙළෙඳ්‍රම සිය අණසකට නතු කරගෙන සිටි මුස්ලිම්වරු වෙරළබඩ නගරවල විශාල වශයෙන් පදිංචි වී සිටියහ.
පුදුමයකට මෙන් 16 වන සියවස ආරම්භයේ දී ද සිංහලයෝ සියයට සියයක් ම බෞද්ධයන් වශයෙන් සිය අනන්‍යතාව රැකගැනීමට සමත් ව සිටියෝ ය. අරාබීන් ගේ භාෂාව හෝ ආගම සිංහලයන් කෙරෙහි බලපෑවේ අල්ප වශයෙනි. ලංකාවේ පදිංචි වූ මුස්ලිම්වරුන් බහුතරය මුස්ලිම් ආගම වැළඳගත් දකුණු ඉන්දීයයන් වූ අතර ඔවුන් මවුබස වශයෙන් භාවිතා කෙළේ අරාබි නො ව දෙමළ යි. අද ද ශ‍්‍රී ලංකා මුස්ලිම්වරු සිය මවුබස වශයෙන් සලකන්නේ දෙමළ භාෂාවයි.

ශ‍්‍රී ලංකාව  කෙරෙහි මුස්ලිම් බලපෑම අල්පවූයේ නැතහොත් ආසියාවේ අනෙකුත් දූපත් රාජ්‍යයන් මෙන් ඉස්ලාම්කරණයකට බඳුන් නොවූයේ සාධක දෙකක් නිසා බැව් පැවසිය හැකි ය. පළමුවැන්න ඒ වන විට කිසියම් පරිහානි තත්ත්වයකට පත් ව සිටිය ද, සිංහල සංස්කෘතියේ අවියෝජනීය ආරක්ෂකයන් වශයෙන් කි‍්‍රයාත්මක වූ මහා සංඝරත්නයේ බලපෑම යි. දෙවැන්න, 16 වන සියවසේ මුල් භාගයේ ශ‍්‍රී ලංකාවට ගොඩබට පෘතුගීසීන් මුහුදුබඩ සිය වාණිජ ආධිපත්‍යය රඳවාගෙන සිටි මුස්ලිම්වරුන්ගේ කි‍්‍රයාකාරකම් දුර්වල කිරීම ය.
පෘතුගීසීහු මුහුදුබඩ සිටි මුස්ලිම්වරුන් රට මැදට පන්නා දැමූ හ. කන්ද උඩරට සිංහල රජු ගේ අනුග‍්‍රහය ඇති ව රට මැද සෑම ප‍්‍රදේශයකට ම මුස්ලිම් ව්‍යාප්තිය සිදුවිය.

කොළොම්තොටට ගොඩබට ප‍්‍රතිකාල්වරුන් නොහොත් පෘතුගීසිවරුන් දුටු සිංහලයන්, මේ පැහැපත්, කි‍්‍රයාශීලී යුරෝපීයයන් පිළිබඳ ව කෝට්ටේ මහ වාසලට දැනුම් දුන් ආකාරය රාජාවලියෙහි දැක්වෙන්නේ මෙසේ ය.

අපගේ කොළොම්තොටට ගොඩබට ඉතා සුදු පැහැති ජාතියක් රූපශ‍්‍රීයෙන් යුක්තව යකඩ සැට්ට ඇඟලා යකඩ තොප්පි ඉසලාගෙන විගසින් එක තැන නොසිට සක්මන් කරන්නාහ. කුඩු ගල් සපා කමින් ලේ බොන්නාහ. එක මස්ටකයාට එක දෙහි ගෙඩියට රන් රිදී දෙක තුන දෙන්නේය..

සිංහලද්වීපය යටත් කරගත් යුරෝපීය ජාතීන් අතුරෙන් වඩාත් ක‍්‍රෑර හා යුදකාමී ජාතිය වශයෙන් මැදහත් විචාරකයන් සලකන්නේ පෘතුගීසීහු ය. එහෙත්, අවුරුදු 150ක පමණ කාලයක් ලංකාවේ මුහුදුබඩ පෙදෙස් පාලනය කළ ප‍්‍රතිකාල්වරු සිංහල සංස්කෘතිය ඇසුරෙහි වෙසෙස් ලකුණු දෙකක් තැබූහ.

ඒවා නම් ස්වකීය ආගම හා ඔවුන් ගේ පුද්ගල නාමයන්ය. මෙහිදී සඳහන් කළයුතු තවත් විශේෂිත කරුණක් වන්නේ කතෝලික ආගම වැළඳගත් සිංහලයන් පමණක් නො ව බෞද්ධයන් ද පෘතුගීසි නම් හා වාසගම් වැලැඳ ගැනීම යි. අදත් බොහෝ සිංහල කතෝලිකයන් මෙන් ම බෞද්ධයෝ ද මේ පෘතුගීසි පෙළපත් නාම සිය පාරම්පරික උරුමයන් ලෙස සුරැකීමට මහත් කැමැත්තක් දක්වති.

ගෞරවාර්ථයක් ඇඟවෙන දොන් හා දෝන යන අභිධාන සිය නම්වලට ඉදිරියෙන් තිබීම අභිමානයක් ලෙස සැලැකේ. ඊට අමතර ව සිල්වා, පෙරේරා, ප‍්‍රනාන්දු, පීරිස්, සොයිසා, කුරේ, කොරයා, කොස්තා ආබෲ ආදී කොට ඇති විශාල පෙළපත් නම් ප‍්‍රමාණයක් සිංහලයෝ භාවිත කරති. ජාතිකත්වයට ගරු කරන දැඩි දේශපෙ‍්‍ර්මයෙන් යුතු බෞද්ධයන් පවා මේ පෘතුගීසි නම්වලට දක්වන්නේ දැඩි කැමැත්තකි.

සමහර පෘතුගීසි පෙළපත් නාමයන් පෘතුගාලයට වඩා ලංකාව තුළ ව්‍යාප්ත වී තිබෙන බවට ද මතයක් පවතී. මගේ මිතුරකු වරක් පැවැසූයේ ලිස්බන් (පෘතුගාලයේ අගනුවර) නගරයේ දුරකථන නාමාවලියේ පෙරේරා, ප‍්‍රනාන්දු හා සිල්වා යන නම් සඳහා වෙන්වී ඇති පිටු ගණනට වඩා වැඩි පිටුගණනක් මහ කොළඹ දුරකථන නාමාවලියේ ඇති බව යි.

ලන්දේසීන් ගේ රෙපරමාදු ආගම හෝ ඉංග‍්‍රීසීන්ගේ එංගලන්ත සභාව මෙන් නො ව පෘතුගීසින් ගේ කතෝලික ආගම සිංහලයන් තුළ විශාල වශයෙන් ව්‍යාප්ත ව, ස්ථාවර ව පවතී. මේ නිසා ම කතෝලික ආගම හා සම්බන්ධ වදන් රැසක් පෘතුගීසීන් ගෙන් සිංහලයට ලැබී ඇත්තේ ය.

බෞතීස්ම, මඤ්ඤා, පඤ්ඤා, අල්තාරය, අන්දෝරුව, පාදිලි, නත්තල, ස්පීතු ශාන්ත, සන්තුවිස්කන් එවැනි වචන කිහිපයකි.

එසේ ම සිංහලයට ආගන්තුක වූ සමහර භාණ්ඩ හා කෑම බීම සඳහා යෙදෙන වදන් රාශියක් ද පෘතුගීසි භාෂාවෙන් සිංහලයට ලැබී ඇත. එවැනි සමහර වදන් සිංහලය තුළ කොතෙක් තහවුරු වී ඇද්දැ යි කිවහොත් අපි බොහෝ විට සිතන්නේ ඒවා අපේ ම වදන් ලෙසට යි. කසාද, තුවා, සබන්, විනාකිරි, සපත්තු, අරක්කු, කබාය, කලිසම, බැනියම, සාය, බොස්තරක්කය, සලාද, අච්චාරු, කජු, බෝංචි, ලිංගුස්, සීනි එවැනි වදන් කිහිපයකි.

අල්මාරිය, පෙනේරිය, දිවාන්, අලවංගු, කල්දේරම්, ගුදිරි, තාච්චි, පෝරණු, බන්දේසි, බාල්දි, බුජ, බස්තම්, ලේන්සු, මේස යන වදන් ද අපට ලැබුණේ පෘතුගීසින් ගෙනි. ඔවුන් අතර භාවිත වූ ආෂ්කයක් වූයේ කුමේ, බෙබේ, මෙරේ (කමු, බොමු, ප‍්‍රීතිවෙමු) යන්න යි. පෘතුගීසි ආභාසය ලද සිංහලයෝ ද හරක් මස් අනුභව කොට අරක්කු බී, කපිරිඤ්ඤා ගයා බයිලා නටා (බයිලා යනු නැටුම් විශේෂයකි.) ගෙවන කෙළිලොල් ජීවිතයකට පුරුදු වූහ.

පෘතුගීසීන් ගෙන් පසු ව අප රට ආක‍්‍රමණය කළ ලන්දේසීහු (ඕලන්ද දේශවාසීහු) ආගමික හා භාෂාත්මක වශයෙන් පෘතුගීසීන්ට බොහෝ දුරස් වූහ. කතෝලික ස්පාඤ්ඤ පාලනයෙන් මිදුණු ඕලන්දය, ස්පාඤ්ඤයට මෙන් ම පෘතුගීසින් කෙරෙහි ද දැක්වූයේ දැඩි විරසක භාවයකි.

පෘතුගීසීන් අල්ලාගෙන සිටි යටත් විජිතවලින් ඔවුන් පන්නා දමා සිය අණසකට නතු කර ගැනීමට ලන්දේසීන් පෙලැඹුණේ එකී විරසක භාවය හේතුවෙනි. එහෙත් ශ‍්‍රී ලංකාව යටත් කොට ගත් ලන්දේසීහු සිය පාලන කටයුතු සිදුකර ගෙන යෑම සඳහා ඒ වන විටත් තහවුරු ව පැවැති පෘතුගීසි භාෂාව යොදා ගත් බවට වාර්තා ඇත.

පෘතුගීසීන්ට වඩා සංයත ජාතියක් වූ ලන්දේසීහු අධ්‍යාපනික හා තාක්‍ෂණික අතින් ද, ඉහළ තත්ත්වයක පසු වූහ. අවුරුදු 150 ක පමණ කාලයක් ලන්දේසීහු මෙරට මුහුදුබඩ පෙදෙස් පාලනය කළ ද සිංහල සමාජය තුළට ඔවුන් ගේ ආගම සේ පුද්ගල නාම ව්‍යාප්ත වීමක් සිදු නො වී ය. ශ‍්‍රී ලංකාවට ප‍්‍රථම වරට විධිමත් අධිකරණ පද්ධතියක් හඳුන්වා දුන්නේ ලන්දේසීන් ය.
ඒ නිසා නීතිය හා අධිකරණ කටයුතුවලට අදාළ ලන්දේසි වදන් සමූහයන් සිංහල බසට එක්වී ඇත්තේ ය. අද පවා භාවිත වන ඇස්තීසි, අද්වකාත්, සිතාසි, කොමසාරිස්, පෙරකලාසි, සෙකරදාරින්, තෝල්ක, රපෝර්තු, කුවිතාන්සිය වෙන්දේසි, කන්තෝරු, දාතම, නොතාරිස් බංකොලොත් යන වදන් ලන්දේසි වදන්වලින් බිඳී ආ ඒවා ය.

ලන්දේසීන් විසින් අපට ආගන්තුක වූ පළතුරු හා රසකැවිලි කිහිපයක් ද හඳුන්වා දෙන ලදී. පේර, ගඩුගුඩා, මැංගුස්ටීන්, රඹුටන්, දූරියන් වැනි පලතුරු ද, කොකිස්, දොදොල්, සූකිරි ලෑතර වැනි රස කැවිලි ද ඉන් සමහරෙකි.

බාල්ක, කලම්ප, තරප්පු, සොල්දර ඉස්තෝප්පු, බරාද, සාලය, ලැටිස්, බෝක්කුව, ඉස්කුරුප්පුව, රාක්ක වැනි ගොඩනැඟිලි ආශි‍්‍රත වදන් ද කේතල, පෝච්චි ලන්තෑරුම්, බක්කි, සාස්පාන, ඉස්ති‍්‍රක්කය වැනි භාණ්ඩ නාම ද අපට ලන්දේසින් ගෙන් ලැබුණු ඒවා ය.

කඩදාසි කුට්ටමේ වංශ හතර හඳුන්වන ඉස්කෝප්ප, හාරත, රුයිත, කලාබර යන වදන් ද ඊට ම අදාළ ආසියා, හේරා, පොරොව, බූරුවා වැනි වදන් ද ලන්දේසි ප‍්‍රභවයකින් යුක්ත ය. අද වන විට සිංහල භාෂාව ඇසුරෙහි තහවුරු වී ඇති ලන්දේසි හා පෘතුගිසි වදන් සංඛ්‍යාව කොපමණ දැයි කිවහොත් සාමාන්‍ය ව්‍යවහාරයේ දී ලන්දේසි, පෘතුගිසි වදන් රහිත ව අපට භාෂාව භාවිත කළ නො හැකි තරම් ය.

යට සඳහන් වාක්‍ය බලන්න.
ඉස්පිරිතාලේ කක්කුස්සියට බාල්ක රීප්ප හොයන්න ගිහින් පානුයි සම්බෝලයි කකා රස්තියාදු වුණා.


ඉහත වැකියේ කහපාට පද සියල්ල ම පෘතුගිසි හෝ ලන්දේසි වදන්වලින් බිඳී ආ ඒවා ය.

2 comments:

  1. අගනා ලිපියක්!

    භාෂාවක පරිණාමය/ වර්ධනය යනු මෙයයි. භාෂාවක වත්මන් සීමාවන් ගෙන් පරිබාහිරව පවතින දේවල් එම භාෂාව තුලට උකහා ගැනීමෙන් (අවශෝෂණය කිරීමෙන්) භාෂාවක් වර්ධනය වේ. එසේ නොකල හොත් එය ඒ භාෂාවේ පැවැත්මට හානියක් වේ. උදාහරණයක් ලෙසට ඉංග්‍රීසි භාෂාව තුල ලොව බොහෝ විවිධ භාෂාවන්ගෙන් උකහා ගත් වදන් අති මහත් තොගයක් තිබේ.

    නමුත් කණගාටුවට කරුණ නම් අද වන විට අපේ මිනිස්සු අපේ භාෂාව වර්ධනය කරනවා වෙනුවට එය වෙනත් භාෂාවකින් (ඉංග්‍රීසියෙන්) ප්‍රතිෂ්ඨාපනය කරමින් පවතිනවා. උදාහරණයකට බලන්න ඉහත ඔබේ ලිපියේ සඳහන් වචන සියල්ලම වෙනත් බසකින් ලබා ගත්තත් සිංහල උරුවට ගැලපෙන ලෙස සකස් කරගෙන තිබෙනවා. අමුත් අද එසේ නොවේ. කෙලින්ම අමුවෙන්ම ඉංග්‍රීසි වදන් සිංහල අස්සේම භාවිතා කරනවා(සිංග්ලිෂ්). මෙයින් අපේ භාෂාව නොබෝ දිනකින්ම අභාවයට යාමේ අවධානමක් තියෙනවා.

    වෙලාවක් තිබුනොත් මේකත් බලන්නකෝ:
    http://trueorcrazy.blogspot.com/2010/06/blog-post_10.html

    ReplyDelete
  2. වටිනා කියන ලිපියක්. මේ විදිහට කරුණු කාරණා ගැන අපිව දැනුවත් කරන එක කොච්චර දෙයක්ද ?

    ReplyDelete

Related Posts with Thumbnails Related Posts with Thumbnails