Saturday, July 17, 2010

ආදරය කිරීම යනුවෙන් හැඟෙන්නේ කුමක් ද?

ඇතැම් විට නිදහස යනු කුමක්දැයි සමස්ත වශයෙන් ඔබට අවබෝධ වී නොමැති විය හැකි ය.

එහෙත් නව අදහස්වලට හා ඔබ පළපුරුදු නො වී සිටින යම් කිසිවකට නිරාවරණය වීම ය, වඩාත් වැදගත් වනුයේ, සෞන්දර්ය යනු කුමක් දැ යි තේරුම් ගැනීම යහපත් දෙයකි.

එහෙත් ජීවිතයෙහි අප‍්‍රසන්න දෑ ගැන ද එසේ ම ඔබ දැනුම් තේරුම් ඇති ව සිටිය යුතු ය. එනම් ඔබ මේ සියල්ලට ම සංවේදී විය යුතු ය. ඇතැම් විට ඔබට මුළුමනින් ම තේරුම් ගත නොහැකි දේවල් ද තිබිය හැකි නමුත් ඒ සඳහා ඔබ විවෘත ව සිටිය යුතු ය.

ඒ ඔබට තරමක් දුරවබෝධ විය හැකි මේ කරුණු පිළිබඳ ව වඩාත් ගැඹුරින් විමසා බැලීමකි. එසේ ම එය ඔබේ අපූර්ව හැකියාවක් ද වන්නේ ය.

හිමිදිරි උදෑසන ගංගාව මතුයෙහි වැතිර තිබූ අරණලු ඔබෙන් කිසිවකු හෝ දැක තිබිණි දැයි නො දනිමි. වටින් ගොඩින් එළිය වැටී ගෙන එන එවේලෙහි තුරු හිස් මුදුනින් අහස් කුස දිස් වූයේ පහන් තරුව පමණකි.

සුමුදු ව වැටුන අරුණලු සැබැවින් ම සිත්කලු විය. නැඟෙන රළ රැළි ඇති මඳඳුරෙහි ගිලුණු දිය කඳ ය.

ඔබ එබඳු යමක් කවර දා හෝ දැක තිබේ ද? එසේ නැතහොත් පහසුවෙන් ම අමතක වන ස්වභාවයෙන් යුතු ව, ඔබ සුපුරුදු දින චරියාවෙහි දැඩි ලෙස හසු ව, එහි ඇලී ගැලී මේ මිහි මත එනම්, අප සියල්ලන් ම ජීවත් විය යුතු ව ඇති මේ මිහි මත පිරී ඉතිරී පවතින සෞන්දර්යය පිළිබඳ ව කවරදාකවත් හැඟීමකුදු නොමැති ව හෝ සිටින්නෙහි ද? සමාජවාදීන්, ධනවාදීන්, හින්දූන්, බොදුනුවන්, මුස්ලිමුන් හා කිතුනුවන් වශයෙන් අප විසින් ම අප හඳුන්වා ගනු ලැබූ ව ද, අප අන්ධයන් හෝ ආබාධිතයන් හෝ සතුටින් හා සනීපයෙන් සිටින්නවුන් හෝ වුව ද, මේ මහ පොළොව අප ගේ ය.

ඔබට එය වැටහෙනවා ද? එය අප ගේ පොළොව මිස වෙනත් යම් කිසිවකුට අයත් වූවක් නොවේ. එය ධනවතා ගේ පොළොව පමණක් නො වේ. එය හුදෙක් බලසම්පන්න පාලකයන්ට හෝ රටේ වංශාධිපතියන්ට හෝ අයත් වූවක් ද නො වේ.

මේ මහ පොළොව අප හැමට ම අයත් වූවකි. එනම්, එය ඔබේ සහ මගේ ය. අපි කිසිවකුත් නො වෙමු. එසේ ම අපි තවදුරටත් මේ පොළොව මත ම ජීවත් වෙන්නෙමු. එහෙයින් අප සියල්ලන්ට ම එකමුතු ව ජීවත්වීමට සිදු ව ඇත.

එය පොහොසතුන් ගේ මෙන් ම දිළින්දන් ගේ ද, උගතුන් ගේ මෙන් ම නූගතුන් ගේ ද ලෝකය ය. මේ අපේ ලෝකය යි. මා කල්පනා කරන්නේ ඉඳහිට සන්සුන් උදැසනක නො ව, හැම විට ම මේ පිළිබඳ ව දැනුම් තේරුම් ඇති ව සිටිමින් මිහිකතට ආදරය කිරීම අතිශයින් ම වැදගත් වන බව ය.

අපට එය අපේ ලෝකය බවත්, අප එයට ආදරය කළ යුතු බවත් වටහා ගත හැකි වනුයේ නිදහස යනු කුමක් දැයි හරිහැටි අවබෝධ කර ගැනීමෙන් පමණි.

එබඳු නිදහසක් අද නැත. නිදහස යනු කුමක් ද? කියාවත් අපි නො දනිමු. අපි නිදහස් ව සිටීමට කැමැත්තෙමු. එහෙත් ගුරුවරයා, මව නැතහොත් පියා, නීතිවේදියා, පොලිස් භටයා, යුද සෙබළා, දේශපාලනඥයා, සහ ව්‍යාපාරිකයා, යනු විසින් හැම කෙනෙක් ම ඒ නිදහස වළකනු පිණිස තමා ගේ ම වූ කුඩා කොනක සිට යම් කිසිවක් කරමින් සිටිති.

නිදහස යනු හුදෙක් කැමැති දෙයක් කිරීම හෝ ඔබ බැඳී සිටින බාහිර කරුණුවලින් වෙන් ව සිටීම හෝ නො ව, එල්බගෙන සිටින සමස්ත ගැටලුව ම අවබෝධ කර ගැනීම ය. එල්බ ගැනීම යනු කුමක් දැයි ඔබ දන්නෙහි ද? ඔබ එල්බ ගෙන සිටින සමස්ත ගැටලුව ම අවබෝධ කර ගැනීම ය.

එල්බ ගැනීම යනු කුමක් දැ යි ඔබ දන්නෙහි ද? ඔබ එල්බ ගෙන සිටිනුයේ මාපියන් වෙත ය. නැතහොත් ඔබේ ගුරුවරුන්, අරක්කැමියා, ලියුම් බෙදන්නා, කිරිකාරයා යනාදි වශයෙන් තවත් අය වෙත ද ඔබ එල්බ ගෙන සිටින්නෙහි ය.

එබඳු එල්බ ගැනීමක් කෙනකුට පහසුවෙන් තේරුම් ගත හැකි ය. එහෙත් කෙනකුට නිදහස් වීමේ හැකියාවට පෙරාතුව අවබෝධ කර ගත යුතු බරපතළ එල්බ ගැනීමක් ද ඇත්තේය. එනම්, කෙනකු ගේ සතුට පිණිස තවත් අයකු වෙත එල්බ ගැනීම .

ඔබේ සතුට පිණිස යම් කිසිවකු වෙත එල්බ ගැනීම යනුවෙන් කුමක් අදහස් වන්නේ දැයි ඔබ දන්නෙහි ද? එය අති මහත් බන්ධනයක් වන අනෙකකු මත හුදෙක් කායික ව එල්බ ගැනීම පමණක් නො ව, ඔබට එබඳු සතුටක් ගෙන දෙන ආභ්‍යන්තරික වශයෙන් වූ මානසික ව ද එල්බ ගැනීම ය.

තව ද එලෙස අනෙකකු මත එල්බගෙන සිටින විට ඔබ වහලකු බවට ද පත් වන්නෙහි ය. ඔබ වයසින් මුහුකුරා යන විට ඔබේ මාපියන් හෝ ඔබේ බිරිය නැතහොත් සැමියා හෝ ආගමික පූජකයකු හෝ කිසියම් සංකල්පයක් හෝ වෙත ඔබ එල්බ ගෙන සිටින්නෙහි ය.

ඒ වන විට පවතිනුයේ බන්ධනයෙහි ආරම්භය ය. අප මෙය තේරුම් ගෙන නැත. එසේ වුව ද විශේෂයෙන් ම අපේ තුරුණු වියෙහි දී අප වැඩි දෙනකුට වුවමනා කරනුයේ නිදහස් ව සිටීමට ය.

නිදහස් වනු පිණිස ආභ්‍යන්තරික වූ මානසික එල්බ ගැනීම් සියල්ලට ම එරෙහි ව අප නැඟී සිටිය යුතු ය. එසේ ම අප එල්බ ගෙන සිට්නුයේ කවර හෙයින් දැ යි අවබෝධයක් නොමැති නම්, එලෙස නැඟී සිටින්නට ද අපට නො හැකි ය. සියලු ම මානසික වූ එල්බ ගැනීම් අවබෝධ කොට ගෙන, ඇති සැටියෙන් ම ඉන් මිදෙන තුරු අපට කවරදාවත් නිදහස් විය නො හැකි ය.

නිදහස උදාවිය හැක්කේ අවබෝධය මඟින් පමණක් ම වන බැවිනි. එහෙත් නිදහස යනු හුදු ප‍්‍රතිකි‍්‍රයාවක් නො වේ. ප‍්‍රතිකි‍්‍රයාව යනු කුමක් දැ යි ඔබ දන්නෙහි ද? සිත පෑරෙන යමක් ඔබට කිවහොත් හෝ අශෝභන නමකින් ඔබ ඇමතුව හොත් හෝ ඔබ උරණ වන්නෙහි ය.

ඒ එයට ප‍්‍රතිකි‍්‍රයාව යි. ප‍්‍රතිකි‍්‍රයාව මතු වනුයේ එල්බගෙන සිටීම හේතු කොට ගෙන ය. එසේ ම ස්වාධීනත්වය යනු ද තවදුරටත් ප‍්‍රතිකි‍්‍රයාවක් වන්නේ ය. එහෙත් නිදහස යනු ප‍්‍රතිකි‍්‍රයාවක් නො වේ.

එහෙයින් ප‍්‍රතිකි‍්‍රයාව යනු කුමක් දැ යි අවබෝධ කොට ගෙන ඉන් ඔබ්බට යන තුරු අපට කවරදාවත් නිදහස් විය නො හැකි ය.

කෙනකුට ආදරය කිරීම යනුවෙන් අදහස් වනුයේ කුමක් දැ යි ඔබ දන්නෙහි ද? ගසක් හෝ කුරුල්ලකු හෝ සුරතල් සතකු හෝ රැක බලාගෙන, ආහාර පාන ද දෙමින් සාත්තු සප්පායම් කළ ද, ඇතැම් විට ප‍්‍රත්‍යුපකාර වශයෙන් කිසිවක් ම නො ලැබිය හැකි ය.

එසේ ම ඒ හේතුවෙන් ඔබට රැකවරණයක් හෝ ඔබ අනුගමනය කිරීමක් හෝ ඔබ වෙත එල්බ ගැනීමක් හෝ නොවිය හැකි ය. එහෙත් එලෙස ගසකට හෝ කුරුල්ලකුට හෝ සුරතල් සතකුට හෝ ආදරය කිරීම යනුවෙන් හැඟෙන්නේ කුමක් ද? අපි බොහෝ දෙනෙක් එලෙස ආදරය නො කරමු.

අපේ ආදරය හැම විට ම අසහනයෙන්, ඊර්ෂ්‍යාවෙන් භීතියෙන් වට කරනු ලැබ ඇති බැවින් එහි තේරුම කුමක් දැ යි කියාවත් අපි නො දනිමු. එනම්, එයින් හැඟෙනුයේ අප අනෙකකු වෙත මානසික වශයෙන් එල්බ ගෙන සිටින බව ය.

අපට ආදරය කරනු ලැබීම අවශ්‍ය වී ඇති බව ය. අපි සැබෑ ලෙස ආදරය නො කරමු. එසේ ම අපි සැබෑ ආදරය බැහැර කොට ඇති නමුදු ප‍්‍රතිකි‍්‍රයා වශයෙන් ද යම් කිසිවක් අපේක්‍ෂා කරමු. එය අපේක්‍ෂාව ම එල්බ ගැනීමක් බවට පත් වෙයි.

එහෙයින් නිදහස හා ආදරය එකතුව ම පවතින දෙයකි. ආදරය යනු ප‍්‍රතිකි‍්‍රයාවක් නො වේ. මා ඔබට ආදරය කරන්නේ ඔබ ද මට ආදරය කරන බැවිනි. එය හුදෙක් වෙළෙදාමකි.

වෙළෙඳ පොළෙහි මිලට ගැනීමට ඇති දෙයකි. එය ආදරය නො වේ. ආදරය කිරිම යනු යම් කිසිවක් ආපසු ඉල්ලා සිටීම නො වේ. ඔබට යමක් දෙතැ යි සිතා ගැනීමක් ද නො වේ. නිදහස යනු කුමක් දැ යි තේරුම් ගත හැකි වනුයේ එබඳු ආදරයකට පමණි.

එහෙත් ඔබට වැටහෙනුයේ මේ පිළිබඳ ව ඉගෙනුමක් ඔබ ලබා ගෙන නැති බව ය. ඔබ අධ්‍යාපනය ලබා ගෙන තිබෙනුයේ ගණිතය, රසායන විද්‍යාව, භූගෝල විද්‍යාව හා ඉතිහාසය වැනි විෂයයන් ඇසුරෙනි.

ඔබේ දෙමාපියන් ගේ ද එක ම අපේක්‍ෂාව වනුයේ හොඳ රැකියාවක් ලබා ගෙන ජීවිතය සාර්ථක කර ගනු වස් ඔබට සහායවීම හෙයින් ඒ ඉගෙනුම එතැනින් ම අවසන් වෙයි. මුදල් හදල් ඇති නම්, ඔවුනට ඔබ පිටරටකට ද පිටත් කර යැවිය හැකි ය.

එහෙත් සෙසු ලෝකයා මෙන් ඔවුන් ගේ ද එක ම අභිප‍්‍රාය වනුයේ, ඔබ වත්පොහොසත්කම් ඇති අයකු විය යුතු බව ය; සමාජයෙහි වැගදත් තත්ත්වයක් ඔබට තිබිය යුතු බව ය. එලෙස ඉහළ ම තත්ත්වයට නඟින ඔබ අනෙකුත් අයට අති මහත් පීඩාවක් ද, දුක් වේදනා ද ඇති කරයි.

එහි දී තරග කිරීමට ද, අනුකම්පා විරහිතවීමට ද ඔබට සිදු වන හෙයිනි. මෙලෙස මුදුන් පත් කර ගැනීමේ දැඩි ආසාව හා තරගය පවතින, එසේ ම කිසිදු දයානුකම්පාවක් නොමැති පාසල්වලට දෙමාපියෝ සිය දරුවන් පිටත් කර හරිති.

නිරන්තර අරගල හේතුවෙන් අපේ සමාජය දිගින් දිගට ම පිරිහෙමින් පවතිනුයේ එහෙයිනි. එසේ ම රටේ සිටින දේශපාලනඥයෝ, විචාරකයෝ සහ ඊනියා ප‍්‍රභූවරු ද කොතෙකුත් සාමය ගැන කතා කරයි. එහෙත් එය අර්ථවත් දෙයක් නොවේ.

අපි නිදහස පිළිබඳ වූ මේ සමස්ත ගැටලුව අවබෝධ කර ගත යුතු වෙමු. ආදරය යනුවෙන් අදහස් වනුයේ කුමක් දැයි අනාවරණ කර ගත යුතු ව ඇත්තේ අප විසින් ම ය. අප තුළ ආදරයක් නොමැති නම් අපට කවරදාවත් එළැඹ සිටි සිහියෙන් සිටිය නො හැකි බැවිනි; සැලැකිලිමත් ව සිටිය නොහැකි බැවිනි.

සැලකිලිමත් වීම යනුවෙන් අදහස් වනුයේ කුමක් දැයි ඔබ දන්නෙහි ද? පාවහන් නොමැති ව බොහෝ දෙනකු ඇවිද ගෙන යන අඩි පාරක තිබෙන රළු ගල් කැටයක් දුටු විට, ඔබ එය ඉවත් කරන්නෙහි ය. ඔබ එසේ කරනුයේ ඔබට කියා දී ඇති නිසා නො වේ.

එසේ ම ඇතැම් විට ඔහු ඔබට කවරදාවත් හමු නොවන්නට ද පුළුවන. පැළයක් සිටුවීමට හා එය ආදරයෙන් යුතු ව රැක බලා ගැනීමටත්, ගංගාවක් දෙස නෙත් යොමු කොට, මිහි මත පිරිපුන් බව විඳ ගැන්මටත්, ඉගිලෙන කුරුල්ලකු ගේ සුන්දරත්වය දැක ගැනීමටත්, සංවේදීත්වයෙන් යුතු ව ජීවිතය නම් වූ මේ අපූර්ව කි‍්‍රයාකාරිත්වය වෙත විවෘත වීමටත් යන මේ සියල්ලට ම නිදහස තිබිය යුතු ය.

එලෙස නිදහස් වනු පිණිස ඔබ තුළ ආදරයක් තිබිය යුතු ය. ආදරයෙන් තොර වූ නිදහසක් නොමැත. එසේ ම ආදරයෙන් තොර වූ නිදහස කිසිදු තේරුමක් නැති හුදු අදහසක් පමණි.

එබැවින් මානසික වූ එල්බ ගැනීමෙන් වියුක්ත ව ආදරය යනු කුමක් දැයි ඇති සැටියෙන් අවබෝධ කොට ගත් අයට පමණි, නිදහසක් තිබිය හැක්කේ, නව ශිෂ්ටාචාරයක් ද, වෙනස් ලෝකයක් ද උදා කරනුයේ ඔවුන් පමණි.

අප මේ සමාජයේ ජීවත් වන තුරු එල්බ ගැනීමකින් තොර ව නිදහස් ව සිටිය හැක්කේ කෙසේ ද?

සමාජය යනු කුමක් දැ යි ඔබ දන්නෙහි ද? සමාජය යනු මිනිසා හා මිනිසා අතර පවතින සබඳතාව නො වේ ද? එය පටලවාගතයුතු නොවේ.

ඒ ගැන ඉතාමත් සරල ව සිතන්න. එවිට සමාජය යනු ඔබ, මා හා අනෙකුත් අය අතර ඇති සබඳතාව බව ඔබට වැටහෙනු ඇත. සමාජය ඇති වනුයේ මිනිස් සබඳතා හේතු කොට ගෙන ය.

එසේ ම අපේ වත්මන් සමාජය ගොඩ නැඟී තිබෙනුයේ, තණ්හාවෙන් උත්සුක ව ඇති කර ගත් සබඳතාවක් මතුයෙහි නො වේ ද? අප බොහෝ දෙනකුට වුවමනා කරන්නේ මුදල් හදල් හා දේපොළ ය; බලය හා ආධිපත්‍ය ය.

ඒ හැර තත්ත්වය ද, ගරු නම්බුව ද අපට අවශ්‍ය වී ඇත. මෙලෙස අප ගොඩ නගා ගෙන සිටිනුයේ තණ්හාධික සමාජයකි. අප තණ්හාවෙන් සිටින තුරු ද, අපට තරාතිරම, ගරු නම්බුව, බලතල හා ඒ හා සබැඳි අනෙකුත් සියල්ල අවශ්‍ය වන තුරු ද, අප අයත් වනුයේ මේ සමාජයට ය.

අප එහි එල්බගෙන සිටිනුයේ ද එහෙයිනි. එහෙත් කෙනකුට මේ කිසිවක් ම අවශ්‍ය නොවෙමින් වඩාත් නිහතමාන ව, අල්පේච්ඡතාවෙහි රැඳී සිටිය හැකි නම්, හෙතෙම සමාජයෙන් බැහැර ව ම සිටිනු ඇත.

එයට එරෙහි ව නැඟී සිටිනු ඇත. මේ සමාජය හා පවතින සබඳතාව ද අත්හැර දමනු ඇත.

අවාසනාවකට මෙන් අධ්‍යාපනය යොමු වී තිබෙනුයේ මේ තණ්හාධික වූ සමාජයට අනුකූල ව, එයට ගැළැපෙන ලෙස ඔබ සකස් කරලීම කෙරෙහි ය. ඔබේ දෙමාපියන්, ගුරුවරුන් හා ඔබේ පොතපත ද සැලැකිලිමත් ව සිටිනුයේ ඒ අරමුණ වෙත ය.

යම් තාක් දුරට අනුකූල ව ද, දියුණුවීමෙහි නොතිත් ආසාවෙන් හා තණ්හාවෙන් යුතු ව සිටින තුරු ද, ඒ තාක් දුරට, වැදගත් පුරවැසියන් ලෙස සලකනු ලබන, තරාතිරම හා බලය ලුහුබැඳීම මගින් ඔබ අනෙකුත් අය දූෂණය කරමින් හා විනාශ කරමින් සිටින්නෙහි ය.

ඔබ අධ්‍යාපනය ලබා ගෙන තිබෙනුයේ සමාජයට ගැළපෙනු පිණිස ය. එහෙත් එය අධ්‍යාපනයක් නො වේ. ඒ හුදෙක් ආකෘතියකට අනුකූල වනු පිණිස ඔබ හැඩ ගස්වනු ලබන වැඩ පිළිවෙළකි.

අධ්‍යාපනයෙහි සැබෑ කාර්යභාරය වනුයේ, ඔබ ලිපිකරුවකු හෝ විනිසුරුවකු හෝ අගමැතියකු හෝ කිරිම නො ව, මේ දූෂිත සමාජයෙහි සමස්ත ව්‍යුහය අවබෝධ කර ගනු වස් ඔබට සහාය වීම ය;

මෙයින් බැහැර ව වෙනස් සමාජයක්, නව ලොවක් නිර්මාණ කරනු පිණිස නිදහස්ව වැඩෙන්නට ඔබට ඉඩ හැරීම ය. විප්ලවකාරී වූවන් සිටිය යුත්තේ පක්‍ෂග‍්‍රාහී ව නො ව, පැරැණි දෑට එරෙහි ව සමස්ත වශයෙන් ම විප්ලවකාරී ව ය. තණ්හාව, බලය හා ගරුත්වය මත නොරැඳුණු නව ලොවක් නිර්මාණය කළ හැකි වනුයේ එවැනි අයට පමණි.

එය නම් කවරදාවත් කළ නො හැකි යි. මනුෂ්‍ය ස්වභාවය එය යි. ඔබ කියා සිටින්නේ කිසිදු තේරුමක් නැති දෙයකැයි විය පත් මිනිසුන් කියනු මට ඇසිය හැකි ය. එහෙත් අපි කවරදාවත් විය පත් මනස පූර්ව හැඩගැසීමෙන් වියුක්ත කිරීම හා ළමයා පූර්ව නියමයන්ට අනුකූල නොකිරීම ගැන කල්පනා කොට නැත.

සැබැවින් ම අධ්‍යාපනය වූ කලී නිවැරැදි කිරීමක් හා වැලැක්වීමක් ද වන්නේ ය. වැඩිහිටි සිසුන් වන ඔබ දැනටමත් පූර්ව හැඩ ගැසීමකට හා සැකැසීමකට බඳුන් ව ඇත. ඔබ දැනටමත් දැඩි ආසාවන් ගෙන් හා අපේක්‍ෂාවන් ගෙන් පිරී සිටින්නෙකි. ඔබට වුවමනා කරනුයේ ඔබේ පියා හෝ ආණ්ඩුකාරයකු හෝ වෙනත් අයකු හෝ මෙන් අරමුණු ඉටු කොට ගැනුණු සාර්ථකත්වයකි.

එහෙයින් අධ්‍යාපනයෙහි සැබෑ කාර්යය වනුයේ, තමාට ම පූර්ව හැඩගැසීමෙන් තොරවීමට පමණක් නො ව, නිදහස් ව වැඩෙන්නට හැකි නව ලොවක් එනම්, වත්මන් ලෝකයට වඩා හාත්පසින් ම වෙනස් විය යුතු ලෝකයක් නිර්මාණය කරනු පිණිසත්, දවසින් දවස ම මේ සමස්ත කි‍්‍රයාදාමය අවබෝධ කර ගැනීමටත්, ඔබට සහායවීම ය. අවාසනාවකට මෙන් මේ සම්බන්ධයෙන් ඔබේ දෙමාපියෝ හෝ ගුරුවරු හෝ සාමාන්‍ය මහා ජනතාව හෝ කිසිදු උනන්දුවක් නො දක්වති. අධ්‍යාපනය යනු ශිෂ්‍යයා මෙන් ම ගුරුවරයා ද ශික්ෂණය වන කි‍්‍රයාමාර්ගයක් විය යුත්තේ එහෙයිනි.

No comments:

Post a Comment

Related Posts with Thumbnails Related Posts with Thumbnails