ආදරය යනු කිමෙක්‌දැයි විමසුව හොත් නොයෙකුත් දෙනා නොයෙක් ආකාරයෙන් පිළිතුරු දෙනුද, විග්‍රහ කරනුද ඇත. කෙනෙකුට අතිශය සුන්දර දෙයක් වන ආදරය LOVE තවකෙකුට ඉතා දුක්‌බර වේදනාත්මක දෙයකි. සමහර කෙනෙකුට විනෝදාත්මක සහ තාවකාලික තෘප්ත බවක් ලබන දෙයකි. එසේම තවත් අය පවසනුයේ එයද අනෙකුත් හැඟීම් මෙන් ම සාමාන්‍ය හැගීමක් පමණක් බවය. එකිනෙකාගේ පෞද්ගලික අත්දැකීම් සහ අවබෝධයන් මත එසේ පවසන බවක් පෙනේ. ඇත්තෙන් ම ඔවුන් දෙනු ලබන එම නිර්වචනයන් තුළින් ම තම තමන්ගේ අභ්‍යන්තරයන් විදහා දැක්‌වෙන බවද පැවසිය යුතුය. එසේ වන්නේ ආදරය ජිවිතයද ජීවිතයම ආදරයද වන බැවිනි. මව් කුසින් බිහිවන කුඩා බිළිදා ගෙන් ඇරඹි ජීවිතයෙහි අග කොටසෙහි පසුවන මහළු බව දක්‌වාම ද, මිය යන තුරුමද ආදරය මිනිස් දිවිය හා නොයෙක් අයුරින් බැඳී පවතී.
නමුත් අද සමාජය දෙස බලන කල ආදරය බොහෝ සෙයින් ම ලුහුඬු දෙයක් බවට පත්ව ඇති අයුරු මනාව දැකගත හැකිය. මුලින් ම සඳහන් කළ යුත්තේ ආදරය ජීවිතයේ විවිධ පැති ඔස්‌සේ පැතිර ගිය දෙයක් බවය. එසේ ම මෙම වදන සංකීර්ණ ජීවන හැගුමන් සමුදායකට භාවිත කරන තනි වචනයක් ලෙසද පැවසිය හැකිය. සෙනෙහස, ආලය, ප්‍රේමය වැනි විවිධ විශේෂණ පැවසෙන්නේද ආදරය මූලික කොට පවතින තත්ත්වයන්ට ම බව පැහැදිලි ය.
එමෙන් ම මිනිස් සමාජයේ සෙනෙහසේ අතීතය ඔස්‌සේ ඈතට පියමනින විට ටාඡ් මහල් වැනි විස්‌මිත සිහිවටනයන් ද, සිය දිවිනසාගත් පෙම්වතුන්ගේ සොහොන් කොත්ද, රජ කිරුළු හැරයාම්ද, ආදරයේ නාමයෙන් ජීවිතයේ තනි වූවන්ද, රටවල් අතර ප්‍රේමය මුල් කොට ඇතිවී ඇති යුද්ධයන්ද, සෙනෙහස සපුරා ලියූ මහා කාව්‍යද, ආදරණීය ස්‌මාරක ලෙස අපට දැකගත හැක.
එසේම ආදරය වෙනුවෙන් මිනිසුන් හෙලූ කඳුළු
එක්‌රැස් කළහොත් එය ලෝකයේ දිගම ගංගාවටද වඩා දික්‌වනු ඇතැයි වරෙක එක් ලේඛකයකු පවසා තිබිණ. මේ සෑම දෙයකින් ම කියෑවෙන්නේද, දැකගත හැකි වන්නේද කිමෙක්‌ද, එනම් ආදරය හා ජීවිතය එක්‌වන්ව ගමන් කරන බව ය.
මෙසේ සනාතන ජිවන දහමක් ලෙසින් සෙනෙහසින් බැදුනු දෙදෙනකු විවාහය නැමති බැම්මෙන් තහවුරු කොට පවුල් සංස්‌ථාවක් ඇතිකර සමාජයක් ගොඩනැගීමේ ඇරඹුමද ආදරයේ අත්තිවාරම මත ඉදිවන්නේ ය.
මිනිස් සන්තානයෙහි ඇතිකර ගන්නා සුවහසක් බලාපොරොත්තුද, සොඳුරු පැතුමන්ද, සුන්දර හැඟුමන්ද ජීවිතය නැමති බිම මත ආදරය නම් වෘක්‌ෂයේ හටගන්නා මල් සහ ඵල ලෙසින් හැදින්විය හැක. එමෙන්ම එම රුකෙහි මල් හටගැනීමද ඵල දැරීමද ගසට කරනු ලබන නිසි පෝෂණය මතම රදා පවතිනු ඇත.
මෙහිදී පැවසිය යුත්තේ අද සමාජය තුළ බහුල ලෙසින්ම ආදරයේ පිරිපුන් බව සහ උත්තරීතර තත්ත්වයද, යථාර්තයද, මා කලින් සඳහන් කළ පරිදි ඉතා සරලව ද ලුහුඩින්ද , සැලකීම නිසා ම අකාලයේ වියකී යන බවකි. මේ නිසාම අද කතා බහට ලක්‌වන දෙයක් නම් යොවුන් වියේ ආදරය නිසි ලෙස හඳුනා ගෙන තිබේද යන්නය. එසේ හඳුනා නොගැනීමට හේතු වන සාධක රැසක් ම සමාජය දෙස පියවි ඇසින් බලන කෙනෙකුට දැකගත හැකිවනු ඇත.
මානසික කරුණ අනුව සලකා බලන විට සුප්‍රකට මනෝවිද්‍යාඥයකු පවසා ඇති කරුණක් ඉතා වැදගත්වේ. එනම් මව්තුරුලේ නිදන කුඩා බිළිඳුන්ගේ දෑතම මිට මොලවාගෙන සිටිනු කවුරුත් දැක ඇත. මෙම බිළිදුන්ගේ එක් අතක ඇත්තේ තමන් සමාජයෙන් බලාපොරොත්තු වන ආදරයයි. අනෙක් අතෙහි ඇත්තේ සමාජයට පිරිනමන ආදරයයි. ඇත්තෙන් ම එය මොනතරම් සත්‍යද. කුඩා කල නිසි පරිදි දෙමාපිය සෙනෙහස නොලබන සහ දරුවාගේ සෙනෙහස මව්පියන් ආදි අන්‍ය සමාජයට දැක්‌විය නොහැකි පරිසරයක් තුළ දරුවකු "ඉච්චාභංග" අපේක්‌ෂා භංගත්ව මානසිකත්වයට පත්වීම සිදුවේ. එම තත්ත්වයන් තුළ වැඩිවියට පත්වන යෞවනයා සමාජයට ද්වේෂ කරන්නෙක්‌ද, ආදරය වැනි ජීවිතයට සමීප සියුම් මානසික තත්ත්වයන්ගෙන් පිරිපුන් අයෙකුද විය හැකිය. (මෙය දෙමාපිය ගුරුවරුන්ද, වැඩිහිටියන්ද, මනාව අවබෝධ කොට ගත යුතු තත්ත්වයකි.)
එලෙසින් ම සඳහන් කළ යුතු තවත් කරුණක් නම් බොහෝ යොවුන් විය ගෙවන්නන් ආදරයේ යථාව නිසිලෙස අවබෝධ කොට ගෙන නොමැති බවය. කෙනෙකු තුරුණු වියට එළබෙන විට වයස අවුරුදු 12 පමණ පසු ශරීරයේ හෝමෝන ක්‍රියාත්මක වීම සිඝ්‍රව සිදුවේ. මෙහිදී සිරුරේ ලිංගික ඉන්ද්‍රියන්ගේ පිබිදීමද මනසෙහි විරුද්ධ ලිංගිකයන් වෙත ඇදීයාමේ ප්‍රවනතාවය වැඩිවීමද සිදුවේ. මෙහිදී මෙම තත්ත්වයට ආදරය ලෙස රැවටීම සිදුවේ. (එය බස් රථවල අසුන් තුළද, අඳුරුස්‌ථානවලද තුරුළුව සිටිනා තරුණ , තරුණියන් ගෙන් පැහැදිලිවේ.)
මෙහිදී තුරුණු වියේදී පිබිදෙන හැඟුමන් අයාලයේ යා නොදී නිසි අරමුණු මත රදවා ගැනීමට සුදුසු මානසිකත්වයක් පරිසරයේ හැඩගැස්‌සවීම මාපිය, ගුරුවරුන්ගේද යුතුකමකි. රටක ජීවනාලිය වන තරුණ පරපුර බොලද හරසුන් හැගීම් වලින් මත් වූවන් නොකිරීමට මාධ්‍යය සතුවද (විශේෂයෙන් රූපමාධ්‍ය) T.V වගකීමක් ඇත. යොවුන් වියේ වගකීමද ආදරයේ වටිනාකමද, හඳුනාගත් තරුණ පෙලක් රටකට භාග්‍යයකි.
No comments:
Post a Comment