ඈ සොඳුරු යුවතියකි. ඒ සොඳුරු බව තුළම යම් වියපත් බවක්‌ද දිස්‌වුණි. සළෙලුන් ඇයගේ ගත උරා බීමෙන් ඒ වියපත් බව ඇයට උරුම වෙමින් තිබුණි. ඉදුණු මී අඹ ගෙඩියක් වවුලන් උරා බීමෙන්පසු අඹය ගැන කවර කතාද...?
ඇයගේ කතාව ඇය මා ඉදිරියේ දිග හැරියාය.
" අක්කේ මම ගමේ කෙල්ලෙක්. නම දම්මි අපේ තාත්තා ගොවියෙක්. තාත්තා අසනීපෙන් සිටියත් කුඹුරු හේන් වගා කළා.ඒත් අලින්ට කොටසක් ගියාම අපිට ඉතිරි වුණේ හැමදාම අස්‌වනුවලින් සුළු කොටසයි. වෙලාවකට මහ නියඟෙට හේන් කුඹුරු පුළුස්‌සලා දාලා යනවා. අපි කෑ වේල් ගණනට වැඩියි නොකෑ වේල් ගණන. එහෙම තියෙද්දීත් මම ගෙවල් ළඟම තිබ්බ පාසලට ගියා. තිබ්බ එකම සුදුගවුම කහපාට වෙලා. පොඩි වෙලා,ඉරිලා.
සපත්තු දාගෙන එන්න කියලා හැමදාම සර්ලා ගහනවා. බඩට රොටී කෑල්ලක් වත් නැති අපට, කකුලට සපත්තු කොයින්ද අක්කේ ...?
ඉතින් මට පාසලත් එපා වේගෙන ගිහින් තිබුණේ... මම ටිකක් ලොකු මහත් වෙලා හින්දා මට හිතුණා ළඟම තිබුණු නගරයේ ගාමන්ට් එකකට යන්න... ඇත්තටම කෙල්ලෙක්‌ගේ ජීවිතේ,මුදලක් අතට ගන්න පුළුවන් විදියේ ජොබ් එකක් තමයි ගාමන්ට් ජොබ් එක. මම හුඟාක් මාන්සි වෙලා වැඩ කරලා මට ඇඳුනුයි,කණකර ආයිත්තම් අරගෙන අම්මාට සල්ලිත් දුන්නා. මට හිතුණා දැන් දැන් අපට හොඳ කල දවසක් එනවා කියලා."
" එහෙම ඉද්දී තමයි මට බස් නැවතුම් පොළේදී ගාමිණී හම්බු වුණේ. එයා මම පසු පස්‌සේම දවස් ගණන් ඇවිත් ආදරය ඉල්ලුවා.අවසානයේ මම ඔහුට ආදරය ප්‍රකාශ කළා. ඉන් පස්‌සේ අපි කුරුලු ජෝඩුව වාගේ එහෙ මෙහෙ ගියා."
" ඔහොම කල් ගත වන විට එයා දවසක් ගමනක් යාමට මට කතා කළා. මමත් ගියා. එයා මාව රැගෙන ගියේ මටත් සැක එක්‌තරා නවාතැනකට... ඒකේ කෙල්ලෝ වගයක් එහෙන් මෙහෙන් අපිදැකලා හිනාවෙලා දිව්වා. මම කිව්වා ආපහු යමු කියලා. ගාමිණීකිව්වා දැන් ආපහු යන්න බෑ. හෙට උදේ යමු කියලා. මම රැවටුණා එදා රාත්‍රියේ මම මගේ පවිත්‍රත්වය ගාමිණී ඉදිරියේ පිදුවා.
මා පහුවදා උදේ අපි ගෙදර යමු කීවා. ගාමිණී කීවේ දැන් ඔයා මෙහි ඉන්න. මං ඉක්‌මනට ටවුමට ගිහින් එන්නම් කියලා... මමත් රැවටුණා. පස්‌සේ මම කිව්වා මමත් එන්නම් කියලා. එයා මාත් එක්‌ක බොරුවට රණ්‌ඩු වුණා. මාව දාල ගියා. මම එයා යනවාදිහා බලන්න කාමරයේ දොර රෙද්දෙන් එබී බැලුවා. කවුදෝ මිනිහෙක් එයාගේ අතට සල්ලි කොළ කීපයක් දුන්නා. එයා ඒකත් අරගෙන ගියා.
මං බලා හිටියා වරුවක්... එයා ආවේ නෑ. ඒ අතරෙ අර මනුස්‌සයා ආවා. මං ඇහුවා මගේ ගාමිණී කොහෙද ගියේ කියලා. එයා ඇත්තම කිව්වා... ගාමිණී මාව මෙහේට විකිණූ බවත්, දැන් මෙහේ අනිත් ගෑණු ළමයිනුත් එක්‌ක මට සිටීමට සිදුවන බවත්, කෑම බීම,ඇඳුම් පැළඳුම් දී සල්ලි දිනකට පන්සීය බැගින් ලබා දෙන බවත් පැන යාමට හැදුවොත් ගණිකාවක් කියා පොලිසියට අල්ලා දෙන බවත් කිව්වා.
මගේ සියලු බලාපොරොත්තු අහස කඩා වැටුණාක් මෙන් වැටුණා. මං හැඬුවා හැපි හැපී ඇඬුවා. රෑ වනතුරු ඇඬුවා. රෑ වෙන කොට අක්‌කා කෙනෙක් ආවා. "නංගී උඹටයි, අපිටයි උරුම මේක තමයි. දැන් ඉතින් ළිං කටෙන්ම ගොඩ වෙමු..." කියලා කිව්වා.එදා රාත්‍රියේ මම බයටම ගුලි වෙලා නිදා ගත්තා. පහුවදා ඇඳුම් හම්බ වුණා. හොඳ කෑම වේලක් ලැබුණා. දවල් මට එහෙ හිටි ගෑණු ළමුන් අට දෙනෙක් හමුවුණා. අපි සුහදව කතා කළා. ඔවුන්විනෝදෙන් හිටියේ.
" එක් කෙනෙක් හිටියා අම්මා කෙනෙක්. එයා සතියකට සැරයක්‌ගමට ගිහිල්ලා ළමයින් බලලා අඩු පාඩු සපුරලා එනවාලු... එයා කොළඹ රස්‌සාව කරනවා කියලයි ගෙදරට කියලා තියෙන්නේ.
" මට ගාමිණී ගැනත් පිරිමින් ගැනත් වෛරයක් ආවා. මම සූදානම් වුණා වෙන ඕනෑම දේකට. ගෙදර අම්මා, තාත්තා, ඥතීන් මතක් වුණත් මට මුළු ලෝකෙම එපා වුණා. එක හිතකින් මේ වැඩේට බැස්‌සා. එදා රාත්‍රියේ අපි කට්‌ටිය පෝළිමට තියලාගනුදෙනුකරුවන්ට තෝරන්න කියද්දී මට ඉල්ලුම් කාරයෝ පස් දෙනෙක් පොර කෑවා. ඉතින් හැමදාම මම නන්නාඳුනන පිරිමින්ගේ ග්‍රහණයට නතු වුණා. හැඟීමකින්, දැනීමකින් තොරවම... මාව විකුණලා දහ පහළොස් දාහක් හොයද්දී මට දවසකට රුපියල් පන්සීය ගානේ ලැබුණා. කෑමබීම ඇඳුම් ලැබුණා. මම නිහඬවම අවුරුද්දක් මේ කරුමය උරුම කරගෙන හිටියා. මාස ගණනකට පස්‌සේ නිවාඩු එන පොලිස් නිලධාරීන්,හමුදා සෙබළුන් මගෙ ගත උඩ වැටුණේ හරියට ගෙවල් දොරවල්නැතිව වගේ... මට ඒ අය ගැන වෛරයක්‌ද, අනුකම්පාවක්‌ද ඇති වුණා. සමහර අය මේකට පුරුදු වෙලාම ඉන්න අය. සමහර අය ගෙවල් වල ප්‍රශ්නත් කතා කරනවා. නෝනා අසනීප කාරයෙක්‌ලු.වෙන කෙනෙක් ගේන්නත් බෑලු. ළමයින් ලොකු වෙලා නිසා තමන්ගේ අවශ්‍යතාවය මෙහෙම පිරිමහ ගන්නවලු. සමහරු කියනවා ගෑනි කටු බැල්ලි වගේ කියලා... අපි තරම් වත් ආදරේ නැහැල්ලු සමහර ගෑනු,.. මං ඉතින් මූණටම කියනවා "යකාගේ හැටියට තමයි විමානේ" කියලා.
අපේ බොස් දවසක් අපි ඔක්‌කොම කට්‌ටිය දාගෙන කතරගම වන්දනාවේ ගියා. සමහර විට එයාගේ පව් හේදෙන්න වෙන්න ඇති. අපේ පවු හෝදන්න බැරි වුණත් අපිත් විනෝදෙට ගියා එකම ගුහාවේ ඉන්න බැරි නිසා. එදා කතරගමදි එකපාරටම සෙනඟ අස්‌සෙන් දුවගෙන ආවා අපේ ඥති නංගී කෙනෙක්. "අක්‌කේ අපි හිතුවේ ඔයා මැරිලා කියලයි. ඔයා ඉන්නවා එහෙනම්" කියලා. අපි දෙන්නා පැත්තකට ගිහින් ඇති වන තුරාමේ සිද්ධිය ගැන කියලා ඇඬුවා. කවුරුත් දැක්‌කේ නැහැ... මං කිව්වා මටත් මේ නරා වළෙන් ගොඩ එන්න ඕනි කියලා... මං නැතිවුණා කියලා තාත්තා පොලිසියේ පැමිණිල්ලක් දාලා...තාත්තා හිතලා තියෙන්නේ මං පැනලා ගිහින් හරි මැරිලා හරි කියලයි.
" එදා ආපු නංගී විස්‌තරේ තාත්තාට කියලා තාත්තා පොලිසියත් සමග ඇවිත් මාව රැගෙන ගියා. මාව විනාශ කරලා ගණිකා නිවාසයට දුන්නු ගාමිණීත් අත්අඩංගුවට ගත්තා. එයාට මාස් පතාම මං හින්දා මුදල් ලැබිලා. මාව විකුණලා ඒ පාහරයා දැන් හොදට දීග කනවා. ඔන්න ඔකයි අක්කේ මගේ කතාව, රට පුරා ඉන්න නංගිලාට
කියන්න ඔය දකින දකින පිරිමි ඇසුරු කරන්න එපා. හැඟීම් වලට වහල් වෙන්න එපා. අම්මා, තාත්තා වැඩිහිටියෝ හරි දැනුම් තේරුම් ඇති අයගෙන් උපදෙස් අරගෙන නිවැරදි මාර්ගයේ යන්න කියලා. නැතිනම් වෙන්නේ මං වගේ එක් එක් සල්ලාලයන්ගේ බේබද්දන්ගේ හපයක් බවට පත් වෙන්න. “දැන් මට ඉතිරි සුසුමයි, කඳුළයි, වේදනාවයි ශාපයයි විතරයි."
අනුවේදනීය කතාවක්. ආදරය හා බැඳුන විශ්වාසය තමයි ඔහු විකුනා තියෙන්නේ.
ReplyDeleteමැණික්
මාර දේවල්නෙ අද කාලෙ තියෙන්නෙ. දැනගත්ත එකත් හොඳයි.
ReplyDelete