Thursday, June 17, 2010

ඔබ හා බිරිය අතර පවතින සබඳතාව හුදෙක් ඉන්ද්‍රිය විෂයක කාම සන්ථවයක් ද?


නිතරම පුවත් පත්වල කියවන්නට ලැබෙන්නේ මිනීමැරුමක් හෝ එසේ නැතහොත් බිහිසුණු ත‍්‍රස්තවාදයක් ගැන ය. ඒ අතර කිසියම් පැහැර ගැනීමේ පුවතක් ද සඳහන් වේ.

මෙවැනි පුවත් හැමදාමත් කියවන ඔබට ඒ සම්බන්ධයෙන් ඇති වනුයේ ඉතාමත් සුළු අවධානයකි. එහෙත් එය ඔබට පෞද්ගලික ව සිදු වුවහොත් ඔබ කලබල වෙයි. මහත් දුකටත්, සිත් තැවුලටත් පත් ව වෙනත් කෙනෙකුගෙන් හෝ රජයෙන් හෝ පොලිසියෙන් හෝ පිළිසරණක් සොයමින් ඔබ ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටියි.

දුප්පත්කම, අධික ජනගහණය, භාෂා පිළිබඳ වෙනස්කම් කිසිදාක විසඳෙන සැටියක් නොපෙනේ. එක් ජාතියකට වුවමනා වී තිබෙනුයේ අනෙක් ජාතීන් ගෙන් වෙන් ව සිටීමට ය. ඒ හැර ආගමික වෙනස්කම් ද ඇත. මේ වනාහි ඇති සැටිය යි.

මෙහි දී අප සාකච්ඡා කරනුයේ ඇත්ත වශයෙන් ම පවතින කරුණු ය. නො එසේ ම මේ සම්බන්ධයෙන් ඇති මතවාද හෝ සංකල්ප හෝ නො වේ.

අප ජීවත් වනුයේ සිතුවිලි අනුසාරයෙනි. සිතීමෙහි කි‍්‍රයාකාරීත්වය හෝ පිළිවෙල හෝ කුමක් ද? එහි අන්තර්ගතය කුමක් ද? සියලු ම ආගමික ස්ථාන, ප‍්‍රතිමා, පූජා විධි හා උත්සව ආදිය ද සිතීමෙහි ප‍්‍රතිඵල ය. ආගමික පොත පත ද එසේ ම ය.

එහි ඇත්තේ ද වෙනත් කෙනකු ගේ අත්දැකීම් හා ඔහු ගේ සිතුම් පැතුම් ය. වචනවල ඇති පූජනීයත්වයක් නැත. ලෝකයේ ඇති අනෙකුත් පොත පත ගැන ද කිව යුතු ව ඇත්තේ එය ම ය. ඒ සියල්ල හුදෙක් මිනිස් සිතුවිලි වන බැවිනි.

අප වැඳුම් පිදුම් කරනුයේ බුද්ධියට ය. ඔබෙන් හා මගෙන් වෙන් වුවන් සේ පෙනෙන බුද්ධිමතුන් වනාහි බුද්ධිමත්හු නො වෙති. අපි ඔවුන් ගේ මති මතාන්තරවලට ද, බුද්ධියට ද ගරු කරන්නෙමු. බුද්ධිය යනු සිතුවිලි ය. සිතීමෙන් ගැටලු විසඳ්‍ර ගත නො හැකි ය.

ඒ වනාහි සිරුරෙහි සෙසු කොටස්වලට සමානුපාතික ව අවයවයන් පිහිටා ඇති නමුදු ඒ අතර වූ එක් අතක් වර්ධනය කර ගැනීමක් බඳු ය. බුද්ධියෙන් හෝ හැඟීමෙන් හෝ විසිතුරු භාවාත්මක වූ කල්පනයෙන් හෝ පිහිටිවහලක් ලද නොහැකි ය.

අප විසින් යථාර්ථයට මුහුණ දිය යුතු වනුයේ, එය වඩාත් සමීපව දැක බලා ගනු පිණිස ය.; ඒ සම්බන්ධයෙන් වහා ම යමක් කිරීමෙහි අවශ්‍යතාව වටහා ගැනීමට ය; විද්‍යාඥයන්ට හෝ දේශපාලනඥයන්ට හෝ බුද්ධිමතුන්ට හෝ ඒ සඳහා අවකාශයක් නොදීමට ය.

අපේ ඇති සැටිය වූ කලී සිතෙහි පවතින දෑ වන බැවින් පළමුවෙන් ම අපි මිනිස් සිත යනු කුමක් දැයි විමසා බලමු. සිතෙහි අන්තර්ගතය වනුයේ, ඔබේ සිතුම් පැතුම් හා හැඟුම් ය. එසේ ම ඔබේ බියපත් වීම්, අසතුට, කලකිරීම්, ආදරය, වේදනාව, දුක් කරදර හා අවසානයෙහි මරණ බය ද එහි ඇත්තේ ය.

එය ඔබේ ඇති සැටිය යි. ඔබ විසින් නිර්මිත වූ ඒ ඇති සැටිය වූ කලි මනුෂ්‍ය ස්වභාවය ය. එය අවබෝධ කොට ගෙන ඉන් ඔබ්බට ද යන තුරු සිතෙහි විප්ලවයක් ඇති වනු පිණිස ගැඹුරින් හා අවශ්‍ය පරිදි අපට කටයුතු කළ නො හැකි ය.

එබැවින් පළමු ව අපි සිතීම යනු කුමක් දැයි විමසා බලමු සිතෙහි ව්‍යූහය වනාහි සිතුවිලි පදනම් කොට ගත්තකි. සිතීම හා සිතුවිලි යනු කුමක් ද? මෙහි දී මා වචන මගින් යමක් ඉදිරිපත් කරනු විය හැකි වුව ද, එය ඔබ විසින් ඔබ තුළින් ම අවබෝධ කර ගත යුත්තකි.

සිතීම යනු කුමක් දැයි වටහා, නොගෙන අපේ ඇති සැටිය වූ සිතෙහි අන්තර්ගතය අවබෝධ කර ගැනීම උගහට ය. මා සිතන සැටි, හැසිරෙන සැටි, මගේ බියපත්වීම්, දුක් වේදනා, සිත්තැවුල්, නොයෙකුත් මතවාද හා විශ්වාස යනාදිය තේරුම් නොගතහොත් මා කරන්නේ තව තවත් අවුල් ඇති කිරීමකි.

සිතීම යනුවෙන් ඔබට හැඟෙන්නේ කුමක් ද? කෙනකු විසින් ඒ ප‍්‍රශ්නය ඔබ වෙත ඉදිරිපත් කැරෙන විට ඔබේ ප‍්‍රතිචාරය කුමක් ද? සිතීම යනු කුමක් ද? ඔබ සිතන්නේ ඇයි? අපි බොහෝ දෙනෙක් අනුගාමිකයෝ බවට පත් ව සිටිමු.

අපි විශාල වශයෙන් පොත පත කියවීමු. විශ්ව විද්‍යාලයට ගොස් අති මහත් දැනුම් සම්භාරයක් ද, අනෙකුත් අය සිතන, කියන දෙයින් ලැබෙන තොරතුරු ද, එකතු කර ගන්නෙමු. මෙහි කිසිදු නවතාවක් නොමැත. අප කරන්නේ එය ම නැවත නැවතත් කියා පෑම ය. එබැවින් සිතීම හා සිතුවිලි යනු කුමක් දැයි කෙනකු විමසන විට, ඊට පිළිතුරු සැපැයීමට අපි අපොහොසත් වෙමු.

සිතීම යනු අත්දැකීමෙන් හා දැනුමෙන් මතුවන කි‍්‍රයාවලියකි. ඔබේ සිතිවිලිවලට සන්සුන් ව සවන් දෙන්න. එය සත්‍යයක් නො වේ දැයි බලන්න. එවිට මෙහි දී අප විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු, කිසිදු විකෘති කිරීමකින් තොර ව, තත්ත්වානුකූල ව, ඔබට ම ඔබ දැක බලාගත හැකි කැටපතක් මෙන් කි‍්‍රයා කරන බව අනාවරණය කර ගත හැකි ය.

සිතීම ඇරැඹෙන්නේ මතකය ලෙස මොළයෙහි සෛල තුළ තැන්පත් ව, දැනුම බවට පත් අත්දැකීමෙනි. එබැවින් සිතීම හා කි‍්‍රයාව ඇති වනුයේ මතකයෙනි. කරුණාකර මා කියන දෑ පුනරුච්චාරණය නොකොට මෙය ඔබ තුළින් ම වටහා ගන්න.

මේ අනුක‍්‍රමය වූ කලී යථා තත්ත්වය ය. එනම් අත්දැකීම, දැනුම, මතකය, සිතීම හා කි‍්‍රයාව වශයෙනි. අනතුරු ව ඒ කි‍්‍රයාවෙන් ඔබ තව තවත් උගන්නෙහි ය. එහෙයින් අප බැඳී සිටිනුයේ මේ චකී‍්‍රය කි‍්‍රයාවලියට ය.

මේ වනාහි අප ජීවත් වන සැටි ය. අප කවරදාවත් මේ ක්ෂේත‍්‍රයෙන් බැහැර වී නොමැත. අපේ සිතුවිලි මතු වනුයේ යථෝක්ත චෛතසික ස්වභාවයෙනි. මා තුළ දෙවියකු සිටිතැ යි මට සිතෙනවා විය හැකි ය. එනම් එය යළිදු සිතීමෙහි ම ප‍්‍රතිඵලයකි.

අපි අපේ සිතෙහි අන්තර්ගතය දෙස බලමු. අපි බොහෝ දෙනෙක් ළමා වියේ සිට ම සිත් වේදනාවටත්, කලකිරීමටත් පත් ව සිටිමු. මෙලෙස ගෙදර දොර දී පමණක් නො ව, පාසලේදීත් විශ්වවිද්‍යාලයේදීත් අප පීඩනයට ලක් ව ඇත.

ජීවිතයේ පසු කාලයේ දී ද අපි සිතින් දුක් විඳ ඇත්තෙමු. ඉදින් දුකට පත් ව සිටින විට ඔබ කරන්නේ තමා වටා පවුරක් ඉදිකර ගැනීම ය. එහි ප‍්‍රතිඵලය නම් වඩාත් දුකටත්, බියටත් පත් ව තව දුරටත් සිත් වේදනා ඇති නොවනු පිණිස වෙනත් මං පෙත් සොයා බැලීම ය.

සිත් වේදනා හේතුවෙන් ඇති වන ඔබේ කි‍්‍රයාවලිය නිසැකයෙන් ම ව්‍යාකූල ය. එබැවින් අපේ සිතෙහි එක් අන්තර්ගතයක් වනුයේ ඒ ව්‍යාකූලත්වය ය. එසේ නම් සිත් වේදනාව යනු කුමක් දැයි සොයා බලමු. එය ඔබට ඔබ ගැන ම ඇති සංකල්පයක් හෝ චිත්ත රූපයක් හෝ නො වේ ද? අප සියල්ලන්ට ම අප ගැන සංකලප හෝ චිත්ත රූප හෝ තිබේ.

ඔබ උසස් තැනැත්තෙකි. නැතහොත් ඔබ අතිශයින් ම නිරහංකාර ය. හෙතෙම බලයෙන් හා අභිමානයෙන් යුතු ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙකි. ඒ හැඟීම නොහොත් ප‍්‍රතිරූපය නිර්මාණය වනුයේ, ඔබට ඔබ ගැන ම ඇති ප‍්‍රතිරූපය හේතුවෙනි.

ඉදින් ඔබ ආචාර්ය උපාධියක් ඇති කෙනකු නම්, එසේ නැතහොත් ගෘහිනියක නම්, අදාළ වූ මානසික ප‍්‍රතිරූපයක් ඔබ තුළ ද ඇත්තේ ය. හැම කෙනකුට ම තමා ගැන ප‍්‍රතිරූපයක් හෙවත් මමත්වයක් ඇත. ඒ වනාහි අවිවාදිත සත්‍යයකි.

ප‍්‍රතිරූපය නිර්මාණය වනුයේ සිතීමෙනි. අනතුරු ව සිත් වේදනා විඳිනුයේ ද ඒ ප‍්‍රතිරූපය ම ය. එබැවින් එබඳු ප‍්‍රතිරූපයකින් තොර ව සිටින්නට කවර හෝ හැකියාවක් ඔබට තිබේ දැයි සොයා බලමු.

ප‍්‍රතිරූපයක් ඇති විට ඔබ හා අනෙකා අතර බෙදීමක් නිර්මාණය වෙයි. අන්‍යොන්‍ය සම්බන්ධතාව යනු කුමක් දැයි ගැඹුරින් වටහා ගැනීම වැදගත් වනුයේ මෙහි දී ය. ඔබේ සබඳතාවට ඔබේ බිරිය, දරුවන් හා අසල්වැසියන් මතු නො ව, සමස්ත මනුෂ්‍ය වර්ගයා ද අයත් වන්නේ ය.

ඔබ හා බිරිය අතර පවතින සබඳතාව හුදෙක් ඉන්ද්‍රිය විෂයක කාම සන්ථවයක් ද? නැතහොත් විසිතුරු කාල්පනික ලෝකයක අතරමං වූ සුඛ විහරණයක් ද? ඇය ඉවුම් පිහුම් කටයුතුවල යෙදෙන අතර, දරුවන් ද බිහි කරමින් ගෙදර දොර බලා කියා ගනියි.

කාර්යාලයට පිටත් ව යන ඔබ වයස අවුරුදු හැටක් පිරෙන තුරු හෝ විශ‍්‍රාම යනතුරු හෝ උදේ සිට හැන්දෑ වන තුරු එහි රාජකාරි කටයුතුවල නියැලෙයි. ජීවත් වීම යනුවෙන් හඳුන්වනු ලබනුයේ මේ කි‍්‍රයාවලියට ය.

එබැවින් සම්බන්ධතාව යනු කුමක් දැයි ඉතාමත් නිරවුල් ව ද, සිහිබුද්ධියෙන් යුතු ව ද, ඔබ සොයා බැලිය යුතු ව ඇත. ඔබේ සබඳතාව සිත් වේදනාව මතුයෙහි ගොඩනැඟුණක් නම්, එවිට ඔබ විසින් අනෙකා යොදා ගනු ලබන්නේ ඒ සිත් වේදනාවෙන් පලා යනු පිණිස ය. ඒ සබඳතාවෙහි පදනම වී තිබෙනුයේ, ඔවුනොවුන් පිළිබඳ ප‍්‍රතිරූප ද? ඔබ ඇය ගැන ප‍්‍රතිරූපයක් මවා ගෙන සිටියි.

ඒ අතර ඇයට ද ඇත්තේ ඔබ ගැන එබඳු ම ප‍්‍රතිරූපයකි. මේ අනුව මේ ප‍්‍රතිරූපයන් දෙක අතරැති සබඳතාව වනාහි සිතීමෙන් නිර්මිත වූවකි. එබැවින් ආදරය යනු සිතීම හෝ ආසාව හෝ ආස්වාදය හෝ දැයි කෙනකුට ප‍්‍රශ්න කළ හැකි ය.

ඇතැම් විට එය එසේ නො වේ යැයි ඔබ කියනු ඇත; එහෙත් ඔබ කවරදාවත් එහි යථාර්ථය සොයා බලන්නේ නැත; ගැඹුරින් විමසා බලා එය අවබෝධ කර ගන්නේ නැත.

සබඳතාවෙහි දී කිසිදු ගැටුමක් නොමැති ව සිටිය හැකි ද? අප උදේ සිට රෑ වනතුරු ජීවත් වනුයේ නොයෙකුත් ගැටුම් මැද ය. එය අපේ සහජ ගතියක් ද? එසේ නැතහොත් අපේ සම්ප‍්‍රදායේ හෝ ආගමෙහි හෝ අංගයක් ද? අපි සියල්ලෝ ම ප‍්‍රතිරූප තුළ ජීවත් වන්නෝ වෙමු.

ඇයට ඇත්තේ ඇගේ දියුණුව පිළිබඳ ආසාවකි; බලාපොරොත්තුවකි; ඒ හා බැඳුණු ප‍්‍රතිරූපයක් හා තවත් එබඳු ම ප‍්‍රතිරූප ය. ඔබට ද එසේ ම ය. ඔබ දෙදෙන ම කිසි විටෙකත් එකට හමු නොවෙමින් සමාන්තර ව දිවෙන රේල් පීලි දෙකක් බඳු ය. එය මහත් ශෝකාන්තයක් බවට ද පත් ව ඇත්තේ ය.

අපේ සබඳතාවන් දෙස බැලීම බෙහෙවින් වැදගත් වනුයේ මේ නිසා ය. මෙහි දී ඔබේ සමීප සබඳතාවන් ගැන පමණක් නො ව, සෙසු ලෝකයා සමඟ ඇති සබඳතාවන් ගැන ද අපේ විමසුමට භාජනය විය යුතු ව ඇත. බාහිර ලෝකය වනාහි අන්‍යොන්‍ය වශයෙන් එකට බැඳී පවතින්නකි.

ඔබ ද සෙසු ලෝකය ම වන්නේ ය. මිනිස්සු කොතෙකුත් දුක් විඳිති. ඔවුන් සිටිනුයේ මහත් අසහනයෙනි. භීතියෙනි. ඔබ මෙන් ම ඔවුහු ද යුද ගැටුම් හේතුවෙන් තැතිගෙන සිටිති; ඔවුනොවුන් විනාශ කර ගනු පිණිස යුද අවි රැස් කර ගනිති.

මා බෞද්ධයකු වන අතර, ඔබ කිතුනුවෙකු විය හැකි ය. මගේ සම්ප‍්‍රදාය ද කියනුයේ මා බෞද්ධයකු බව ය. පරිගණකයක් ලෙස මා පෙර සිට ම සැලැසුම් කොට, හැඩ ගස්වා තිබෙනුයේ එලෙස පුනරුච්චාරණය කිරීමට ය.

ඔබ කිතුනුවෙකු බව කියා සිටින්නේ ද ඒ අයුරින් ම ය. සිතුවිලි විසින් කරනු ලැබ ඇති සරිය ඔබට වැටහේ ද? අනෙකුත් අය හා ඇති ඔබේ සබඳතාව කුමක් දැයි අනාවරණය කර ගනු වස් කරුණාකර ඔබේ සිත හා හදවත යොමු කර බලන්න. එය ගොඩ නැඟී තිබෙනුයේ හැඟීම්, ප‍්‍රතිරූපයන් හා මතකයන් මතුයෙහි නම්, ගැටුමක් ඇති වනු නොවැලැක්විය හැකි ය.

මේ හැර ඔබේ සිතෙහි අන්තර්ගතය වූ වේදනාවෙහි නිරවුලක්, මුලිනුපුටා දැමීමක් නොමැති විට ඉතිරි වනුයේ මහත් කලකිරීමකි; බියකි. ඒ හේතුවෙන් ඔබ අවසානයෙහි යොමු කැරෙනුයේ තනිවීමට ය. ආගමික සම්ප‍්‍රදායයෙන්, අධ්‍යාපනයෙන් හා කිසියම් අභිමතාර්ථයක් ඉටු කර ගනු පිණිස නිරන්තර ව වෙහෙසිය යුතු ය යන අදහසින් ද අපි පුද්ගලයෝ වශයෙන් තනි කරනු ලැබ සිටිමු.

එසේ ම කුලුපග ව හෝ වෙනත් විදියකට හෝ පවතින අපේ අන්‍යොන්‍ය සබඳතාවන් ඔබ්බෙහි දී ලොව කොතැනක වුව, අපි එකෙකා හා බැඳී සිටිමු. ලෝකය යනු ඔබ ය. එසේ ම ඔබ ද ලෝකය වන්නේ ය.

ඔබට වෙනත් නමක්, පෙනුමක් හා තරාතිරමක් ද, වෙනස් විදියක අධ්‍යාපනයක් ද තිබිය හැකි ය. එහෙත් කිසිදු මෙත් සිහිලක් හෝ දයාවක් හෝ නොමැති ව අපි සියල්ලෝ ම ඇතුළතින් දුක් විඳිමු. කටුක වූ සිත් වේදනාවන් හා දුක් කඳුළු දරාගෙන සිටිමු; මරණය ගැන බියපත් ව සිටිමු. ඒ හැර අප තුළ අති මහත් අනාරක්ෂිත වූ හැඟීමක් ද ඇත්තේ ය.

මා කියා සිටිනුයේ වඩාත් ගැඹුරින් සලකා බලන විට ඔබ වනාහි අනෙකුත් මනුෂ්‍ය වර්ගයා ම වන බව ය. ඔබ කළු පැහැති සමක් ඇත්තකු හෝ මිටි පුද්ගලයකු හෝ විය හැකි ය. එසේ නැතහොත් ඔබ හැඳ සිටිනුයේ සාරියක් විය හැකි ය.

එහෙත් ඒවා හුදෙක් මතු පිට කරුණු ය. මා ඇමෙරිකානුවකු හෝ රුසියානුවකු හෝ ඉන්දියානුවකු හෝ ලාංකිකයකු වුව ද ආභ්‍යන්තරික වශයෙන් වූ චිත්ත ප‍්‍රවාහයෙහි කිසිදු වෙනසක් නැත්තේ ය. එහි දී සමස්ත මනුෂ්‍ය කි‍්‍රයාකාරිත්වය ම එක හා සමාන ය. ඔබ ලෝකය ද, ලෝකය ඔබ ද වනුයේ එහෙයිනි. ඒ වනාහි යථා තත්ත්වය යි.

මේ අනුව සබඳතාව යනු කුමක් දැයි අවබෝධ කර ගැනීමේ ඇති වැදගත්කම ඔබට වැටහෙනු ඇත. මෙහි දී මවිසින් අවබෝධය යන වචනය යොදා ගනු ලබන්නේ. එය නිරීක්ෂණය කිරීමේ හා එහි යථාර්ථය දැකීමේ හැකියාවක් ඔබට තිබිය යුතු ය යන අර්ථයෙනි.

එහෙයින් නිරීක්ෂණය කරන්නේ කෙසේ දැයි යනුවෙන් ප‍්‍රශ්නයක් පැන නඟියි. ඔබේ බිරිය දෙස හෝ සැමියා දෙස හෝ ඔබ බලන්නේ කෙසේ ද? ඔබ යම් කිසිවකු කිසියම් වචනයකින් හෝ ප‍්‍රතිරූපයකින් හෝ තොර ව නිදහස් ව හා විවෘත ව දැක තිබේ ද? සුළඟින් සැලෙන පත් ඇති ගසක සෞන්දර්යය ඔබ දැක තිබේ ද? ඉදින් ඔබේ සිත වෙනත් කිසිවක නිරත ව ඇති නම්, ඔබට යමක් දෙස බැලිය නො හැකි ය.

අප බොහෝ දෙනකු ගේ සිත් සතන් මෙන් ඔබේ සිත ද පසු දිනට ලිවිය යුතු ව ඇති ලිපියක හෝ ඉවුම් පිහුම් කටයුත්තක හෝ රැකියාවෙහි හෝ ලිංගික හැඟීමක හෝ භාවනා කළ යුතු ආකාරයෙහි හෝ නිමග්න ව තිබිය හැකි ය.

උදේ සිට රෑ වන තුරු කුමන හෝ දෙයක ග‍්‍රහණය වී ඇති එබඳු සිතක් යමක් දෙස බලන්නේ කෙසේ ද? මා කතාබහ කරන විට මගේ සිත එහි නියැලී තිබේ. එසේ ම මා යමක් ලියන විටත් වෙනත් කාර්යයක යෙදෙන විටත් එය එසේ ම ය.

එහෙත් ඉතිරි කාලයෙහි දි ද මා මගේ සිත එලෙස යොදවා ගෙන සිටිනුයේ කුමට ද? මනුෂ්‍යයන් වන අප පෙර සැකැසුම් ව සිටින අයුරින් ම පරිගණකය ද අවශ්‍ය ලෙස සැලැසුම් කොට ගත හැකි ය. එහෙත් මිනිසාට වඩා ඉතාමත් වේගයෙන් හා වඩාත් නිවැරැදි ව ඉගෙනුමටත්, සිතන්නටත් පරිගණකයට පිළිවන. චෙස් කී‍්‍රඩාවෙහි අති දක්ෂයකු වුව තරග කොට පරාජය කිරීමේ හැකියාවක් එයට ඇත.

පරිගණකයට අපූර්ව දෑ කළ හැකි ය. බුද්ධියෙහි අග‍්‍ර ඵලය නිර්මාණය කිරීමට ද එයට හැකි බව කියනු ලැබේ. ඉදින් මිනිසා ගේ සියලු කටයුතු පරිගණකය විසින් පවරා ගනු ලැබූ දා ඔහුට කුමක් සිදු වේ ද? බි‍්‍රතාන්‍ය විශ්ව කෝෂයෙහි ඇති අති විශාල දැනුම් සම්භාරය කුඩා පතුරක් වැනි (Chip) දෙයක අන්තර්ගත කළ හැකි ය. මේ අනුව මනුෂ්‍ය ජීවිතයෙහි දැනුමට හිමිවන තැන කුමක් ද?

අපේ මොළය හැම විට ම පවතිනුයේ යම් කිසිවක නිරත වෙමිනි. එය කවර විටෙකත් නිශ්චල නැත. ඔබේ බිරිය ඔබේ අසල්වැසියා, ඔබේ ආණ්ඩුව, දුගී බවෙහි අමානුෂිකත්වය සහ යුදයෙහි බිහිසුණු බව දැක ගනු පිණිස දැකීමෙහි නිදහසක් තිබිය යුතු ය. එසේ වුව ද, නිදහසටත්, හුදෙකලාවටත් අපි බිය වෙමු. අපි නිදහසට එරෙහි වෙමු.

ඔබ මෙතෙක් කියැවූ දෑ වචන හා අදහස් වශයෙන් ග‍්‍රහණය කොට ගත්තෙහි නම්, අවසානයෙහි දී එය කිසිදු තේරුමක් නැති දෙයක් වනු ඇත. අප කියා සිටියේ, කිසි විටකත් සිත් වේදනාවක් නොමැති ව සිටීමේ ඇති වැදගත්කම ය.

සිතෙහි ඇති ප‍්‍රතිරූප අවබෝධයට බාධාවක් බව ය. තව ද අන්‍යොන්‍ය සම්බන්ධතාව යථාර්ථයෙන් ම යුතු ව අවබෝධ කර ගැනීමෙහි හා සිත යම් කිසිවක නිරත ව නොතිබීමෙහි ඇති වැදගත්කමත්, එහි අවශ්‍යතාවත් අපි පැහැදිලි කෙළෙමු.

කිසිවක ග‍්‍රහණය නො වූ සිත අසාමාන්‍ය ලෙස නිදහස් ය. එය දකින සෞන්දර්යය අසිරිමත් ය; අසීමිත ය. එහෙත් ළඳ බොළඳ වූ ද, අනුගාමික වූ ද වැදගැම්මකට නැති සිත නිරතුරු ව ම පැළපදියම් වී සිටිනුයේ සිය දැනුමෙහි ය.

සිය අභිමතාර්ථයෙහි ය. එබඳු සිතක් ප‍්‍රශ්න කරමින් ද, සාකච්ඡාවල හා වාද විවාදවල යෙදෙමින් ද හැම විට ම යම් කිසිවක නිරත ව ම සිටියි. එය කිසි විටෙකත් සන්සුන් නැත; නිදහස් ද නැත. සියල්ල වහා වැටහෙන ප‍්‍රඥාව පහළ වනුයේ එලෙස නිරතවීමක් නොමැති නිදහස් සිතෙහි ය. එහෙත් එය කිසිසේත් ම තව දුරටත් සිතීම නො වේ.

2 comments:

  1. ඔයාගෙ ලිපිය නම් හුඟක් හොඳයි...ඔයාගෙ ලිපි මම මීට පෙර කියවා නැහැ. දිගටම ලියන්න..

    ReplyDelete
  2. "සිතීම ඇරැඹෙන්නේ මතකය ලෙස මොළයෙහි සෛල තුළ තැන්පත් ව, දැනුම බවට පත් අත්දැකීමෙනි. එබැවින් සිතීම හා කි‍්‍රයාව ඇති වනුයේ මතකයෙනි. "
    මොලයෙහි සෛල තුල මතකය තැන්පත් වී ඇත්නම් පෙර භව ගැන සිහි කරන, පවසන දරුවන්ගේ මතකය තැන්පත් වී තිබුනේ කොහේද? මිනිස් සිත ඉතාමත් අසීමිතය. විද්‍යාත්මකව සිදු කරන ලද සමීක්ෂනයකින් තොරව ඔබ පවසන අදහස් ඔබේ පුද්ගලික අදහස් විනා ඔබ සාකච්ඡා කරන මාතෘකාවට අදාල බව පිලිගත නොහැක. විද්‍යාත්මක බව රඳා පවතින්නේ ඔබේ සාම්පලය, ඔබ සමීක්ෂනයට අනුකූලව, සමීක්ෂනය විස්තර වශයෙන් ඉදිරිපත් කලහොත් පමනි. අවම වශයෙන් දස දෙනෙක් ගතහොත් විවාහ ජීවිතයක ගැබ් වී ඇති කරුනු විශ්වාසයෙන් යුතුව කී දෙනක් පවසයිද? ඒ පැවසුවත් ඒ දස දෙනාගේ අදහස් එකිනෙකට වෙනස් වනු ඇත. මිනිස් සිතේ හැටි එසේය.
    පුහුණු නොකරන ලද සිතක් ඇලෙන්නේ "සැප" ඇති තැනකය. සැප යනුවෙන් හඳුන්වන්නේ ලෞකික වශයෙන් නමුත් අවසානයේ දුකෙන් කෙරවල වන දේවල්ය.
    තවද පරිගණකය උපකරනයක් පමනි. එයට සිතීමට නොහැකිය. එය ක්‍රියා කරන්නේ විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන වෙනත් උපකරනයක් ලෙසටය. ඉතා ඉක්මනට ගනිතමය ගැටලු විසඳීමට නම් පරිගනකයට පිලිවන. කවදාවත් ප්‍රඥාවක් පරිගනකයට ඉපදවීමට නොපිලිවන.

    ReplyDelete

Related Posts with Thumbnails Related Posts with Thumbnails