මා දැන් මාස කිහිපයක සිට අලුත් රැකියාවක නියලෙමි ඒ රහස් පරික්ෂකවරියක් වශයෙන් ඔත්තු බලමිනි. මේ රැකියාව මට සොයාදෙනුලැබුවේ මගේ සැමියා ධම්මික විසිනි. ඔහු ද මේ දිනවල වැඩි කාලයක් ගත කරන්නේ රහස්පරික්ෂකයෙක් ලෙස ඔත්තු බැලීම සඳහා ය. අප දෙදෙන මෙසේ ඔත්තු බලමින් සිටින්නේ අපේම වැඩ්මහල් දියණිය ගැණය
ධම්මික, ගෙදර සිට, දුව ලියන්නේ මොනවා ද, ටෙලිෆෝන් කරන්නේ කාට ද, එසේ කතා කරන්නේ මොනවා ද, ගෙදරට එන ඇගේ මිතුරියන් සමඟ කුමක් කතා කරන්නේ ද යනාදී වශයෙන් නිරන්තර සොදිසියෙන් හිඳින අතර ඉඳහිට ඇගේ පොත් පත් අවුස්සා බලමින් ද ඇගේ ඇඳුම්වල සාක්කු පිරිස්සමින් ද ඇය කන බොන, නාන, ඇවිදින, යන හැම අවස්ථාවක ම ඇගේ ඉරියව් පිරික්සමින් ද සිටින අතර, ඇය ගෙයින් පිට ගිය විට පරීක්‍ෂාවෙන් හිඳීම මට පවරා ඇත.
බස්රියෙන් ගොස් ඉෂාරා නගරයේ ටියුෂන් පන්තියට ඇරලීමෙන් පසු යළිත් වරක් ඇයට හොරා ගොස් පන්තියේ ඇය සිටින්නේ දැයි බැලීම, මිතුරියක ගේ ගෙදරක ගියහොත් හදිසියේ එහි ගොස් ඇය ඉන්නේ දැයි බැලීම වැනි කාරින් මම බාර ගෙන සිටිමි.
උසස් පෙළ විභාගයෙන් වරක් අසමත් ව සති අන්තවල ටියුෂන් පන්ති යමින් සිටින ඉෂාරා කිසියම් කොල්ලෙකු සමඟ හාද වී සිටින බවට ආරංචිය ලැබී ඇත්තේ ධම්මිකට ය.
එවැන්නක් ඇසීමෙන් මගේ සිත ද රිදුණ ද ‘ඔය වයසෙදි ඔහොම පොඩි පොඩි හාදකම් ඇති වෙනව. ඕව පවතින්නෙ නෑ. වැඩිය ගන්න නරකයි’ යනුවෙන් මා ධම්මිකට කීවේ බෝවෙන රෝගයක් හැදුණු කලෙක මෙන් ඔහු බිය වී සිටිනු දුටු බැවිනි. ‘එහෙම දෙයක් තියෙනව නං ඒක මුලදිම කඩා දාන්ඩ ඕන. ආරංචියෙ හැටියට අපට නොගැලපෙන කොල්ලෙක්’ යයි කී ධම්මික වහා ම ඔත්තු බැලීමේ වැඩ බෙදීම කළේය.
“එළියට ගියාම ඔයා බලන්ඩ. ගෙදරදි මං බලන්නං”
මේ රාජකාරිය කොතරම් අප‍්‍රසන්න එකක් දැයි මෙවැනි තත්වයකට මුහුණ දෙන දෙමාපියෝ දනිති යි මම සිතමි. මමත් ධම්මිකත් විවාහ වූයේ පාසල් වියේ ඇරඹුණු ප්‍රේම සම්බන්ධයකින් වීමත්, අපේ සම්බන්ධයට ඔහුගේ හා අපේ දෙමාපියන් තහංචි පනවන විට පන්ති යන පොත් බෑගයත් සමඟ ම අප දෙදනා පසු දින මානාලයෙක් සහ මනාලියක් වීමත් මතක් වන විට මේ ඔත්තු බැලීමේ රාජකාරියේ අප‍්‍රසන්නතාව දෙගුණ තෙගුණ වෙයි.
එහෙත් මම මගේ දියණියන් ඇති කරගෙන ඇතැ යි කියන පේර්ම සම්බන්ධයට විරුද්ධ ව දිගට ම ඔත්තු බලමින් සිටිමි.
ඊයේ මා අපේ නිවසේ සිට සැතපුම් දෙකක දුරින් පිහිටි නගරය පසුකර යමින් සිටියේ ඉෂාරා ගේ ටියුෂන් පන්තියට හොරෙන් එබිකම් කිරීමට ය. සේනපාල අයියා ඔත්පල ව රෝහල් ගත කර සිටින්නේ ය යන ආරංචිය මට ලැබුණේ මඟ දී මුණගැසුණු පරණ මිතුරියක වූ නිල්මිණීගෙනි.
ඇය යොවුන් වියේ දී ලැබූ උදව්වලට කෘතගුණ සැලකීමට සේනපාල අයියා බලන්නට රෝහලට යමින් සිටියේ ය. මා යමින් සිටින්නේ කුමන රාජකාරියකට දැයි කියන්නට ලජ්ජා වූ මම “මටත් එහෙම එකක් දැනගන්ඩ ලැබිල තමයි ආවේ” යයි කියමින් ඇය සමඟ රෝහලට ගියෙමි.
සේනපාල අයියා රෝහල් ගත ව සිටිතැ යි දැනගත් විට ඔහු නොබලා ඉන්නේ කෙසේ ද? මගේත් ධම්මිකගේත් යොවුන් පේර්මය මල්පල ගත්තේ සේනපාල අයියා ගේ උදව්වෙනි. නිල්මිණී ද තරුණ වියේ දී මා මෙන් ම සේනපාල අයියා ගේ සෙවණ යට පෙම් කළ තැනැත්තියකි. අප මෙන් සේනපාල අයියා ගේ උදව් ලැබූවන් සංඛ්‍යාව ගැනිය හැක්කේ සිය ගණනිනි.
අප පාසල් වියේ සිටිය දී ද සේනපාල අයියා වැඩිහිටියෙකි. විවාහකයෙකි. පියෙකි. එකල බස් නැවතුම්පොළේ අසල තේ කඩය කළේ ඔහු ය. අපේ පාසල පිහිටි නගරයේ බස් නැවතුම්පොළ වඩා ඉඩ නැති කුඩා එකක් වුවත් එහි කදිම, සුන්දර තැනකි
බස් නැවතුම්පොළේ හා තේ කඩයයේ ලොක්කා සේනපාල අයියා ය. පෙම්වතුන් වූ අපේ දෙයියා ඔහු ය. අපට අතිශයින් ම විශ්වාසවන්ත වූ පණිවුඩකරුවා ඔහු ය. අපි ඔහුට නොසෑහෙන්නට ගරු කෙළෙමු. ඔහු ගේ උපදෙස් පිළිපැද්දෙමු. ඔහුට අවනත වීමු.
ගනුදෙනුකරුවන් ඇතත් නැතත් සේනපාල අයියා නිතර සිටින්නේ තේ කඩයයේ දොරකඩ ය. එසේ සිටින ඔහු ගේ දෑස බස් පොළ සිසාරා යයි. නියමිත බස් රථය එනතුරු තේ එකක් බොන්නට කඩෙට ගොඩවදින මගියකු මේසයකට වාඩිවී බනිස් ඉල්ලූ විට සේනපාල අයියා ඔහු ඉදිරිපිට ලැවරිය පිඟානක් තබන්නට බැරි නැත.
තේ එකට සීනි නොදමා හෝ දෙවරක් සීනි දමා දෙන්නට බැරි නැත. මගියකු ඉල්ලන දෙයක් වීදුරු අල්මාරියක පෙනෙන්නට තිබිය දී ඒවා නැතැ යි කියන්නට බැරි නැත. එහෙත් කිසි ම විටක අපේ පණිවිඩයක් අදාළ කෙනාට කීම නම් ඔහුට මඟ හැරෙන්නේ නැත. කිසි ම විටෙක කිසි ම පණිවිඩයක් අදාළ තැනැත්තාට හෝ තැනැත්තියට මිස වෙනකෙකුට යෑමේ වැරදීමක් සේනපාල අයියා ගෙන් සිදුවන්නේ නැත.
අහවලා බස් හෝල්ට් එකට ආවේ කීයට ද? එයින් පිටවී ගියේ කීයට ද? නැංඟේ කුමන බසයකට ද? ඇඳ සිටි ඇඳුමේ පාට කුමක් ද? මේ ඕනෑ ම තොරතුරක් සේනපාල අයියා ගෙන් නොවැරදී ම දැනගන්නට පුළුවන. එපමණක් නො වේ, අද අහවල් තැනැත්තා හෝ තැනැත්තිය සිටියේ සතුටින් ද, දුකෙන් ද, කනස්සල්ලෙන් ද? ආදී දේ ද ඔහු ගෙන් දැනගත හැකි ය.
අපේ ආදර කතාවේ වැඩි කොටසක් ලියැවුණේ සේනපාල අයියා ගේ පණිවිඩ සේවාවේ පිහිටෙනි.
ධම්මික ගේ දෙමාපියන් වැට බඳින්නට පටන් ගත් පසු අපි වැඩිපුර ම කතා බහ කළේ ලියුම්වලිනි.
ඒ ලියුම් එහා මෙහා ගියේ සේනපාල අයියා ගේ කඩේ මේස ලාච්චුව හරහා ය. එක දවසක දී ඒ ලාච්චුව හරහා අඩු ම වශයෙන් ලියුම් හත අටක් වත් එහා මෙහා ගිය බව අපි දනිමු.
පෑනක්, පැන්සලක් හෝ ටොෆියක් ගන්නට සේනපාල අයියා ගේ කඩේ කවුන්ටරය වෙත යන කෙල්ල තමා මිල දී ගන්නා දේට මුදල් ගෙවන අතර ම හතරට පහට නැවූ ලියුම සේනපාල අයියා අතට පත් කරන්නී ය. අපි කඩේ ඇතුළට ම ගොස් වඩයක් කා ප්ලේන්ටියක් බී අපට නියමිත ලියුම ඉල්ලා ගන්නෙමු.
අපට නියමිත ලියුමක් සේනපාල අයියා ගේ ලාච්චුවට ලැබී නැති දවසක එවැන්නක් අපේක්‍ෂාවෙන් අප බස් හෝල්ට් එකට ගොඩවැදුණහොත් දුර දී ම අප දකින ඔහු යටිතොල පෙරලා පෙන්වන්නේ ‘අද නෑ’ කියන්නට ය. එවිට අපට ඔහු ගේ වඩ ද ප්ලේන්ටි ද එපා වෙයි. අපි විරහ ගී ගයමින් ආපසු හැරී එන්නෙමු.
“ලබන ඉරිදා පන්ති ආවම මාත් එක්ක යන්න ලෑස්ති වෙලාම එන්න” යන ධම්මිකගේ තීරණාත්මක පණිවිඩය ද මා වෙත ආවේ සේනපාල අයියා ගේ මේස ලාච්චුව හරහා ය.
අපි දැන් හතලිස් වියට ආසන්නව හිඳිමු. සේනපාල අයියා හැට පහ පන්නා ඇතැ යි මම අනුමාන කරමි. අවුරුදු පහ හයක සිට බස් නැවතුම්පොළේ තේ කඩය කරන්නේ සේනපාල අයියා ගේ ලොකු පුතා බවත් තම ව්‍යාපාරය පුතාට බාර දුන් නමුත්, සේනපාල අයියා ද නිතර කඩයට එන බවත් මම දැන සිටියෙමි.
එහෙත් වැඩිය ගමන් බිමන් නොයන මට නගරයට ගියත් සේනපාල අයියාගේ කඩයට ගොඩවදින්නට අවශ්‍යතාවක් මෑතක දී ඇති නොවීම නිසා බොහෝ කලකින් සේනපාල අයියා දකින්නට නොලැබිණ.
රෝහල් ගත ව සිටින ඔහුට දැන් හරි හැටි වචන උච්චාරණය කළ නො හැකි ය. එක් අතක් එහා මෙහා කළ නොහැකි ය. කකුලක් ද අප‍්‍රාණික බව ඔහු මටත් නිල්මිණීටත් කීවේ එහා මෙහා කළ හැකි අතින් ඒ කකුල පිරි මැද පෙන්වීමෙනි.
නිල්මිණීත් මාත් රෝහලට යන විට සේනපාල අයියා ගේ ඇඳ ළඟ සිටියේ ඔහු ගේ ලොකු පුතා බව හැඳිනගන්නට මට හැකි විය. ඔහු තාත්තා ගේ කපාපු පලුවකි. දවසේ ආදායම අහිමි වීම නිසාදෝ ඔහු සිටියේ නොරුස්නා මුහුණින් යුතු ව ය.
ටික වේලාවක් අපට ඉඩ දී පසෙකට වී සිටි ඔහු මමත් නිල්මිණීත් තම පියා දෙස කම්පාවෙන් බලා සිටිනු දැක අප කිට්ටුවට ආවේ ය.
“මෙයාට කොච්චර කිව්වත් වැඩක් නෑ. ලෙඩ වෙන්ඩ පටන් ගත්තට පස්සෙ මම කඩේ බාර ගත්ත. ගෙදරට වෙලා ඉන්ඩ කිව්වට අහන්නෙ නෑ. කඩේට ඇවිත් ඉස්සරහින් මේසයක් පුටුවක් දාගෙන උදේ ඉඳන් පුරුදු රාජකාරිය. ගිය සුමානෙ ඒ පුටුව උඩ සිහි නැති උනා”
පුතා ගේ කතාවට සේනපාල අයියා අපහසුවෙන් සිනාසෙන අන්දම දුටු මගේ සිතෙහි මහත් වේදනාවක් හට ගත්තේ ය. කතා කරන්නට හැකි වූයේ නම් ඔහු කුමක් කියනු ඇත්ද? ඔහු ගේ මුහුණේ වූයේ අසනීපය නිසා හටගත් වේදනාවක් මිස පසුතැවිල්ලක ලකුණු නො වේ.
යමක් කියාගත නො හැකි කෙනකු දෙස වැඩි වේලාවක් බලා සිටිය නො හැකි ය. ඔහු ගේ අප‍්‍රාණික අත අල්ලා තදින් මිරිකා සමුගත් මම ඒ වේදනාව සිත දරාගෙන රෝහලෙන් පිට ව ආවෙමි.
සේනපාල අයියා අසනීපව රෝහලේ සිටින බව ධම්මිකට කියන්නට බැරි චකිතයක් මා තුළ විය. රාති‍්‍රයේ මා තද නින්දේ පසුවෙද්දී මගේ දෑස් ඉදිරිපිට සේනපාල අයියා මිය ගියේ ය. ඔහුට අවසන් ගරු බුහුමන් දක්වන්නට විශාල පිරිසක් පැමිණ සිටියහ. ඔහු ගේ නිසල දේහය වටා මල්වඩම් දහස් ගණනක් විය.
මමත් ධම්මිකත් ගෙන ගිය ලොකු මල්වඩම කොතැන තබන්දෝ යි වට පිට බලන විට අප මෙන් ම මල්වඩම් අතැති ව සිටින සිය ගණනක පෝළිමක් දක්නට ලැබිණ. පෝළිමේ සිටින මගේ මිතුරියන් සියලු දෙන ම පාසල් නිල ඇඳුම් හැඳ ටයි පටි පැලඳ සිටිති. මහ පිරිස් මැද තෙරපෙමින් සිටි මම අපහසුවෙන් ගෙල හරවා ධම්මික දෙස බැලුවෙමි. ඔහු හැඳ සිටින්නේ සුදු කමිසයක් සහ සුදු කලිසමකි. ඔහුගේ උරහිසේ පොත් බෑගයකි.
මල් වඩමක් දෑතින් ඔසවාගෙන පිරිස අතර තෙරපෙමින් සිටින අපේ දුව ඉෂාරා දැකීමෙන් මම තිගැස්සුණෙමි. මගේ ඇස් වහා ම ධම්මික දෙසට හැරිණි. ඔහු මා දෙස බලා සිටියේ අවතාරයක් දුටු කලෙක මෙනි.
“අපි යමු”
ඔහු මගේ අතින් අල්ලා අදිමින් ආපසු හැරුණේය. මම මල්වඩමත් ඔසවාගෙන ධම්මික පසුපස දුවන්නට පටන් ගත්තෙමි.
වර්ථමානය යනු අතීතයේ තවත් එක මුහුනතකි..වෙනස් වන්නේ ඉතා සුලුවෙනි සිදිවීම් එසේමැයි,.....හොඳට කතාව ලියල තියනවා....ඔයා සහ සැමියට අද වැහිල ඉන්නෙ එදා ඔයාලගෙ දෙමාපියන්ට වැහිල තියෙන යකාමැයි.....එයා අඳුනගන්න උත්සාහ ගන්න....
ReplyDeleteආදරයක විරුද්ද වෙනවාට වඩා ...දෙමාපියන්ගේ යුතුකම ඒපිලිබදව ලමයින්ට කියාදිමය...පාසල් වියේ දී දරුවන්ට තරවටු කිරිම් හා නිදහස අහිමි කිරිම නිසා ......ධම්මික සෙනෙපාල අය්ය අත එවු ලිපියක් සේ "පන්තී එනවිට මාත් සමග යන්න බලාගෙන එන්න " එවැනි තිරන්යක පැමියහොත් ....ඔබ දන් විදින අපහසු තවයට වඩා ..විදීමට සිදුවනු ඇත......(මටද දවසක් ඔබසෙම අපහසු තාවයට මුහුන දීමට සිදුවීමට බැරිකමක් නැත.....)
ReplyDeleteඅක්කා ඔයාලා කරපු දේ දුව කරයි කියලද බය වෙන්නේ, ඔත්තු බැලීමට වඩා මේ ගැන දුවත් එක්ක කෙලින් කතා කරලා විසද ගන්න එක හොදයි. ඒක කරගන්න එක ඉතාම වටිනවා. මොකද බුද්ධිමත් නොවුනහොත් ඔවුන් පාලන කිරීම ඉතාමත් අපහසු වෙන්න පුලුවන්, එතකොට අවසානය ගොඩාක් දුක්බර වේවි. හොද හිතන්න දෙයක් මේ අදසස ගැන මමත් ලියින්න ඕනේ.
ReplyDeleteඅක්කෙ, ඔයාල හදන්නෙ ඔයාල කරපු දේ කරන තැනට ඔයාලගෙ දුවත් තල්ලු කරන්නද..?
ReplyDeleteඔයාල දෙන්න එයාගෙ හිතේ විශ්වාසය හදාගෙන එයාට ඔයාල කරපු දේ නොකරන්න පැහැදිලි කරල දෙන්න පුළුවන්කම තියෙද්දි ඇයි ඔය වගේ දෙයක් කරන්නෙ... හරිම පුදුමයි එදා පෙම්වතුන් අද දෙමව්පියන් වුනාම හැසිරෙන හැටි නම්..