Friday, June 18, 2010

“කරුණාකර මා ගැන සිතා මට අනුකම්පා කරන්න”

එය ඉතා විශාල පැරැණි සියඹලා ගසකි. ගැඹුරු වූ ගංගාව අසබඩ දිය සීරාවෙහි සරුවට වැඩී තිබූ එය, අලුත හටගත්, මුදු මොළොක් ළදල්ලෙන් යුතු ව, පල බර ව තිබිණ. එසේ ම එය සතුන්ට හා මිනිසුන්ට අවශ්‍ය සෙවණ ලබා දුන්නේ ය.

ගස යට තොරතෝංචියක් නැති එක ම ගාල ගෝට්ටියකි. මිනිස්සු මහ හඩින් දොඩමලුවෙති.

නැතහොත් වසු පැටියකු තම මව වෙත කරන හඬ ගෑමකි. සිය ආරෝහ පරිණාහයෙන් සෞන්දර්ය පූර්ණ වූ වෘක්ෂය,

නිල් අහස් කුස පසුබිම් කොට ගෙන එහි හැඩයෙන් අත්‍යුත්කෘෂ්ට ද වූයේ ය.

ජීව ශක්තියෙන් සදා තාරුණ්‍ය විය. එසේ ම එය අප‍්‍රමාණ වූ ගිම්හාන කාලයන්හි බොහෝ දේවල් දැක බලා ගෙන තිබුණේ ය. ගංගාව ද එහි ඉවුරුවල නොයෙකුත් සිදුවීම් ද එහි නිරීක්ෂණයට හසු විය. ගංගාව චිත්තාකර්ෂණීය වූවකි; පුළුල් ය; පාරිශුද්ධ ය

ශුද්ධ වූ ජලය නාගනු පිණිස විවිධ පෙදෙස්වලින් වන්දනාකරුවෝ එහි පැමිණෙති. නිහඬ ව

ඔබිනොබ යාත‍්‍රා කරන ඔරුවල සතරැස් රුවල් දුර්වර්ණ ව තිබිණ.

රත් පැහැයට හුරු පුන් සඳ පායාගෙන එත් ම සැලෙන දිය රැළි සහිත ගං තලාවෙහි රිදී පැහැති මං පෙතක් මැවෙන අතර, අසල ගම්මානයේ ද, ගඟෙන් එගොඩහ ගම්මානයේ ද

උත්සව ශී‍්‍රයක් මතු වෙයි.

ආගමික දිනවල ගං ඉවුරට එන ගැමියෝ මහත් උද්දාමයට පත් ව තාලාන්විත ගී ගයති; කන බොන දෑ රැගෙන එති; කොතෙකුත් කතා කරති; සිනාසෙති; ගඟට බැස නා ගනිති; අනතුරු ව ඔවුහු ඒ මහා වෘක්ෂය පා මුල මල් දමක් තබා, රතු සහ කහ පැහැති අළු කඳ

වටා තවරති.

අනෙකුත් හැම වෘක්ෂයක් මෙන් ම එය ද ඔවුනට පූජනීය වස්තුවක් වන බැවිනි.

අවසානයෙහි නිමක් නැති බැණ දොඩාගැනීම් හා කෑ කෝ ගැසීම් නැවතිණ. කවුරුත් ගෙවල් දොරවල් බලා ගොස් සිටි අතර,

කිසියම් බැතිමත් ගැමියකු විසින් තබන ලද පහනක් හෝ දෙකක් දැල්වෙමින් එහි ඉතිරි ව තිබිණ.

පහන් තිරය ගෙදර දී සාදා ගත්තකි. එහෙත් ඒ තෙල් සහිත කුඩා මැටි පහන ඔහුට මිලට ගත හැකි වූයේ, එදිනෙදා යන්තම් පිරිමසා ගත් මුදලකිනි. ඉක්බිති වෘක්ෂය මහානුභාව සම්පන්න වෙයි.

මහපොළොව, ගංගාව, මිනිසුන් හා තාරකා යනාදී සියල්ල ම එහි අන්තර්ගත විණ. මේ වන විට එය සිටියේ තමා වෙතට ම වැද ගෙන ය; නින්දට පිවිසෙනු පිණිස ය; හිමිදිරි අරුණැලි

පහස ලැබෙන තුරු ය.

බොහෝ විට ගම්මුන් මළ මිනී රැගෙන එන්නේ ගං ඉවුරට ය. ඔවුහු ගඟ දිය සමීපයෙහි පිරිසිදු කොට ගෙන එහි අඩිතාලමක් පිළියෙල කර ගනිති. අනතුරුව සුදු රෙදි කඩකින් වසන ලද මළ මිනිය තැන්පත් කැරෙන්නේ අඩිතාලමෙහි ගොඩ ගසන ලද සැහැල්ලු ලී කෝටු මතුයෙහි ය.

ගිනි හුලක් අතට ගත් කිට්ටු ම නෑයකු විසින් සෑයට ගිනි තබනු ලැබේ. අන්‍ධකාරයෙහි බුර බුරා නැඟෙන අග්නි ජාලාවන් ගෙන් අසල ජල කඳ ද, සෑය අවට සෝබර ව හිඳ සිටින නෑසියන් ගේ හා හිතමිතුරන් ගේ නිසල මුහුණ ද එළිය වෙයි. ඒ එළියෙන් බිඳක් එකතු කර ගන්නා වෘක්ෂය වෙතින්, ඇවිළෙන ගිනි දැල් වෙත නිකුත් වනුයේ එහි ශාන්තිය ය; එහි සැනසුම ය.

මළ සිරුර දැවී හළුවීමට පැය කිහිපයක් ගත විය. එහෙත් දිලිසෙන ගිනි අඟුරු ද, නිවීමට ආසන්න ව පැවැති කුඩා ගිනි දළු ද හැර, අනෙක් කිසිවක් ඉතිරි නොවන තුරු ඔවුහු එහි ඇන තියාගෙන සිටිය හ. රැයෙහි ඒ මහා නිහැඩියාව බිඳහෙළමින් හදිසියෙන් ම බිළිඳකු හඬන්නට පටන් ගති. ඒ හා ම උදා වී තිබුණේ අලුත් දවසකි.

ඔහු තරමක ප‍්‍රසිද්ධියක් ඇති පුද්ගලයෙකි. තාප්පයට පිටුපසින් වූ කුඩා නිවසක හෙතෙම මරණාසන්න ව වැතිර සිටියේ ය. හොඳින් රැක බලා ගත් එහි කුඩා ගෙඋයන මේ වන විට

නොසලකා හැර තිබිණ.

ඔහු ගේ දරු මල්ලෝ ද කිට්ටුව ඥාතීහු ද ඔහු වටා රොක් ව සිටිය හ. ඒ වනාහි ඔහු මිය යන්නට මාස කිහිපයකට හෝ ඊට වැඩි කාලයකට හෝ පෙර දිනයක් විය හැකි ය. එහෙත් හැම දෙන ම ඔහු වට කොට ගෙන සිටිය හ. කාමරය ශෝකාකූල ව තිබිණ.

මා එහි පැමිණි විට ඔහු අනෙක් අයට කාමරයෙන් පිට ව යන ලෙස කියා සිටි බැවින් ඔවුහු නොකැමැත්තෙන් ම ඉන් ඉවත් වූ හ. ඉතිරි වූ කුඩා දරුවෙක් බිම වාඩි වී කෙළි බඩු සමඟ සෙල්ලම් කරමින් සිටියේ ය.

එහි වූ පුටුවක වාඩිවන ලෙස ඔහු මට අතින් සංඥා කෙළේ ය. කාමරයට ඇසෙන ගෙදර දොර ශබ්ද හා කඩ වීදිය දෙසින් එන ශබ්ද අතර තුර අපි ටික වේලාවක් නිහඬ ව සිටියෙමු.

ඔහු කතා කරන්නේ අසීරුවෙනි.

මා සෑහෙන කලක සිට රෝගී ව සිටින බැවින් අවුරුදු ගණනාවක් තිස්සේ මා නිරන්තර ව සිතා බැලුවේ ජීවත්වීම ගැන ය. ඊටත් වඩා මරණය ගැන ය. මරණය වූ කලී මහ අරුම පුදුම දෙයකි. මේ ගැටලුව නිරාකරණය කැරෙන නොයෙකුත් පොත පත මා කියවා ඇති නමුත්, ඒ සියල්ල හුදෙක් මතුපිට කරුණුවලට පමණක් සීමිත ව තිබිණි.

හැම නිගමනයක් ම මතුපිට කරුණුවලට සීමිත වීමක් නො වේ ද?... නොයෙකුත් මායාවන් නිර්මාණය කර ගැනීමේ හැකියාවක් මනසෙහි ඇත. එහි හසුවීම අනවශ්‍ය මෙන් ම ලද බොලඳ කි‍්‍රයාවකි.

මා ගත කළේ සෑහෙන යමක්කමක් ඇති ජීවිතයකි. මා විසින් කළ යුතු ව තිබූ වැඩ කටයුතු සියල්ල මම ඉටු කර ඇත්තෙමි. එහෙත් සැබැවින්ම මා මනුෂ්‍යයෙක්. කෙසේ වෙතත් ඒ ජීවිතය දැන් මුළුමනින් ම අවසන් ය. මගෙන් දැන් ඇති පලක් ද නැත.

එහෙත් වාසනාවකට මෙන් මගේ මනස තවමත් හොඳින් කි‍්‍රයා කරයි. පොත පත රාශියක් කියවා ඇතත්, මා තවමත් සිටින්නේ මරණින් පසු ව සිදු වන්නේ කුමක් දැයි දැනගැනීමේ කුතුහලයෙනි.

මරණින් පසු සිදුවනුයේ කුමක් දැයි දැන ගැනීමට ඔබ ඔතරම් උනන්දු වන්නේ ඇයි?

ඔය කොයි කාටත් එය දැන ගැනීම අවශ්‍ය වනවා නොවේද?

එය එසේ විය හැකියි. එහෙත් අප ජීවත්වීම යනු කුමක්දැයි හරි හැටි නොදැන, මරණය යනු කුමක්දැයි අපට කවදාවත් දැන ගත හැකිද? ඇතැම්විට ජීවත්වීම හා මරණය එකම දෙයක් විය හැකිය. මේ මහා දුක් කන්දරාවෙහි මූලාරම්භය වනුයේ, අප ඒ දෙක එකිනෙකින් වෙන් කොට ගැනීම විය හැකිය.

ඔබේ දේශනයන්හි දී මේ සම්බන්ධයෙන් ඔබ කියා ඇති සියලු කරුණු මට පැහැදිලියි. එහෙත් මා තවමත් සිටින්නේ එය දැන ගැනීමේ අවශ්‍යතාවෙනි. මරණයෙන් පසු සිදුවන්නේ කුමක් දැයි මට කරුණාකර කියා දෙන්න. මම එය කිසිවකුටත් හෙළි නොකරමි.

ඔබ එය දැන ගන්නට ඔතරම් උත්සාහ කරන්නේ ඇයි? ජීවිතය හා මරණය පිළිබඳ මහා සාගරයෙහි ඇඟිල්ල ඔබා බලන්නේ නැතිව ඊට පවතින්නට ඔබ ඉඩ නොහරින්නේ ඇයි?

මට මැරෙන්නට වුවමනාවක් නැත ඔහු මගේ අත අල්ලාගෙන කියයි. මා හැමවිට ම සිටියේ මරණයට බියෙන් - එසේ ම මා උත්සාහ කෙළේ තර්කයෙන් හා නොයෙකුත් විශ්වාසවලින් යුතු ව මා අස්වසා ගැනීමට ය.

එහෙත් මේ භය සන්ත‍්‍රාසයෙන් වෙළුණු මරණාන්තික දුඛ වේදනාව සම්බන්ධයෙන් එය වනාහි හුදෙක් මතුපිට ආවරණයකි. මරණය පිළිබඳ මගේ දැනුම් සම්භාරය මේ භීතියෙන් පලා යෑමට ද, ඒ සඳහා මංපෙතක් සොයා ගැනීමට ද කරන ලද පරිශ‍්‍රමයක් පමණි.

එසේ ම මේ ගැන මා දැනුම්වත් කරනු පිණිස ඔබෙන් දැනුදු බැගෑපත් ව ඉල්ලා සිටින්නේ ද ඒ කාරණය සඳහා ම ය.

පලා යෑමෙන් හිතේ ඇති භීතියෙන් නිදහස් විය හැකි ද? භීතිය ඇති වනුයේ පලා යෑම නිසා ම නො වේ ද?

... මරණින් පසු හඳුනාගත් අඛණ්ඩ ව පවතින ස්වභාවයක් තිබේ ද? නොයෙකුත් සැප සම්පත් හා දුක් වේදනාවන් විඳී, එසේ ම දැනුමෙන් ද පිරුණු මේ මම දිගට ම පවතින දෙයක් ද?

ඔබේ සිත දැඩි ව ග‍්‍රහණය කර ගෙන සිටින, එමෙන් ම ඔබට දිගට ම පවත්වාගෙන යෑමට ද වුවමනා වී තිබෙන මේ මම යනු කුමක් ද? කරුණාකර පිළිතුරු නො දී සන්සුන් ව සවන් දෙන්න.

මම හැඟීම පවතිනුයේ දේපළ, නම, පවුල, ජය හා පරාජය ඔබට සිදු වූ සහ සිදුවීමට අවශ්‍ය සියල්ල මගේ ය වශයෙන් ගෙන හඳුනා ගැනීමෙන් පමණිි. යම් දෙයක් සම්බන්ධයෙන් හඳුනා ගැනීමක් සිදු වී තිබේ ද, ඒ ඔබ ම ය.

ඔබ නිර්මාණය වී තිබෙන්නේ ඒ සියල්ලෙනි. එයින් තොර ව ඔබ යනුවෙන් කෙනකු නොමැත. මරණයෙන් පසු ව පවා දිගට ම පවත්වාගෙන යෑමට ඔබට වුවමනා වී තිබෙන්නේ, පුද්ගලයන්, දේපළ, අදහස් යනාදී වශයෙන් වූ මේ මමත්වයෙන් ගැනීම ද? එය ජීවමාන දෙයක් ද? එසෙ නැතහොත් එය සතුට යටපත් කොට ගත් දුඛ දෝමනස්සයන් හා බැඳුණා වූ ද, එකිනෙකට පටහැණි වූ ද, නොයෙකුත් ආසාවන්, ලුහු බැඳීම් තෘප්තවීම් සහ බලාපොරොත්තු කඩවීම් සමුදායයක් පමණක් ද?

එය ඔබ යෝජනා කරන දේ විය හැකි යි. එහෙත් කිසිවක් නොදැන සිටීමට වඩා එය හැමතින් ම යහපත් ය.

නොදන්නා බවට වඩා දන්නා බව යහපත් ද? නමුත් දන්නා දේවල් අල්පය. සුළු ය, වඩාත් සීමිතය. දන්නා දේ දුකකි. එසේ තිබිය දීත් ඔබේ තණ්හාව වී තිබෙන්නේ, එහි අඛණ්ඩ වූ පැවැත්ම යි.

කරුණාකර මා ගැන සිතා මට අනුකම්පා කරන්න. නම්‍යශීලී වන්න. මරණින් මතු සිදු වන්නේ කුමක් දැයි මා දැනගෙන සිටියහොත් මට සතුටින් මිය යා හැකි යි.

දැනගන්නට මෙතරම් වෙහෙස නොවන්න. දැන ගැනීමට ඇති සියලු ආයාසයන් නිම වූ විට පවතින්නේ සිතින් නිර්මාණය කොට නොගත් දෙයකි. නොදැන සිටීම දැන ගෙන සිටීමට වඩා අතිශයින් ම ශ්‍රේෂ්ඨ ය. දැනුම වනාහි නොදැනුම නමැති මහා සාගරයෙහි කුඩා ඔරු පියල්ලක් වැනි ය. එබැවින් සියල්ල බැහැරවීමට ඉඩ හරින්න.

.... සත්‍යය වූ කලී අපූර්ව දෙයකි. ඔබ එය පසු පස ලුහුබඳිත් ම, එය ඔබ ගෙන් තව තවත් දුරස් වනු ඇත. කොතරම් සියුම් වුව ද, කොතරම් කපටි වුව ද, ඔබට එය කිසිදු ක‍්‍රමයකින් ග‍්‍රහණය කර ගත නො හැකි ය. ඔබට එය ඔබේ සිතුවිලි දැලින් හසු කර ගත නො හැකි ය.

මෙය තේරුම් ගෙන සියල්ල අත් හැරෙන්නට ඉඩ හරින්න. ජීවිතය හා මරණය පිළිබඳ මේ ගමනේ දී ඔබ ඇවිදගෙන යා යුත්තේ තනි ව ම ය. ඒ ගමනෙහි දී දැනුමෙන් අත්දැකීමෙන් හා මතකයන් ගෙන් ලැබිය හැකි සැනසීමක් නොමැත.

සිය සුරක්ෂිත භාවයෙහි ලොල් ව මනස විසින් එක්රැස් කොට ගනු ලැබූ සියල්ලෙන් ම එය පවිත‍්‍ර විය යුතු ය. එහි දෙවිවරු හා සුචරිතය යනු සමාජය විසින් නිර්මාණය කරන ලද දේ බැවින් ඒවා සමාජයට ම ආපසු භාර කළ යුතු ය. පරිපූර්‍ණ වූ නොකිළිටි හුදෙකලාවක් ඇති විය යුතු ය.

No comments:

Post a Comment

Related Posts with Thumbnails Related Posts with Thumbnails