විමලසේන තම සේවා කාලය දීර්ඝ කර ගැනීමට අදාළ ලියකියවිලි සකසා නිම කොට, පුටු ඇන්දට බර දී සැනසුම් සුසුමක් හෙළී ය. ඔහු ගේ මුළු හිස ම රිදී වනින් බබළයි. කාලවර්ණ ආරෝහ පරිණාහ දේහයකින් හෙබි විමලසේන ගේ හිත තාම ජව සම්පන්න ය; තරුණ ය. පාසලේ තරුණ ගුරුවරුන් හා උරෙනුර ගැටී කි‍්‍රයාශීලී ව කටයුතු කරන්නට ඔහු සමත් ය.
විමලසේනගේ මේ සූදානම වරුවක නිවාඩු පිට කලාප කාර්යාලයට යෑමට ය. ඔහු ගේ ගුරු භූමිකාවෙහි ඔහු අකැමැති ම කටයුත්ත කලාප කාර්යාලයට යෑම ය. එහෙත් සේවා දිගුව සඳහා අදාළ ලියකියවිලි රැගෙන අද එහි යා යුතු ම ය.
මාර්ගයේ දිවෙන එක ම බසය පැමිණෙන්නට තව පැයක කාලයක් ඇත. ‘’ඕෆ් පීරියඩ්’’ එකක් කාල සටහනෙහි සටහන් ව ඇති බැවින් විමලසේන පුටු ඇන්දට බර වී අතීතය ස්මරණය කරන්නට විනි.
විමලසේනට තම මුල් ම පාසල සිහියට නැඟිණ. එකල භද්‍ර යෞවනයෙහි සිටිමින් ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියෙහි නියුක්ත තමා ඒ පාසලෙහි සිටි ජනපි‍්‍රයතම ගුරුවරයා වූ අයුරු විමලසේන මහත් සොම්නසින් සිහිපත් කෙළේ ය. ඔහු සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධිධාරියකු වූවා පමණක් නො ව, ඒ විෂය ධාරාව පිළිබඳ ප්‍රවීණයකු ලෙසද ප‍්‍රකට විය.
ඔහු ඉඳහිට කවි, කෙටිකතා ආදිය ද ලියා පුවත්පත්වල පළ කරවා ගත්තේ ය. උසස් පෙළ පංතියෙහි සිංහල විෂය භාර ව කටයුතු කළ විමලසේන ගේ හඬ පාසැල පුරා රැව් පිළිරැව් දුන්නේ ය.
ඔහු මිහිරි සරින් කව් ගී ගැයුවේ ය. නාට්‍ය කොටස් රඟ දක්වා පෙන්වී ය. සිසු සිසුවියෝ ඔහු ගේ හඬට වසඟ වූවාක් මෙන් මුව අයාගත් වන ම සවන් දුන්හ. ඇතැම්විට ඒ පංති කාමරය අසලින් යමින් සිටි විදුහල්පතිතුමා ද ගමන නවතා විමලසේනගේ මුවගින් ගිලිහෙන වදන්වලට වශීකෘතව සිටියේය.
‘’ විමලසේන පුතා කදිමයි... කදිමයි... ඔයා නම් හැබෑම දක්ෂයෙක්’’ විදුහල්පති තුමා ඔහු ගේ පිටට තට්ටු කොට ප‍්‍රසාදය පළ කෙළේ ය. උසස් පෙළ පංතියට අතිරේක පංති ද පවත්වමින් විමලසේන තම මංගල ඉගැන්වීම් අස්වනු නෙළා ගැනීමට උත්සුක විය. ඒ වසරේ විභාගයට වාඩිවූ විසිදෙනගෙන් පස් දෙනෙකු ම සරසවි වරම් ලැබීම විදුහල ලැබූ මහත් ජයග‍්‍රහණයක් විය.
ඉන් දස දෙනකු ම සිංහල විෂයට ‘ඒ’ සාමාර්ථ්‍ය ලබා ගැනීම විමලසේන ලැබූ මහත් ජයග‍්‍රහණයක් විය. පස් දෙනෙක් ම සරසවියට ගියෝ ය. ඉන් දක්ෂතම, සුන්දරතම ශිෂ්‍යාව විමලසේනට මහත් ‘අවැඩක්’ කොට සරසවියට ගියා ය. ඒ, ඇගේ හිත විමලසේන ළඟ තබා විමලසේන ගේ හිත සොරාගෙන යෑම ය. එකී පටලැවිල්ලේ අවසාන ඵලය වූයේ ඔවුන් දෙදෙන ගේ විවාහය යි.
‘’ විමලසේන මහත්තයා බර කල්පනාවක වගේ...’’
සරත් විමලසේන අසලට එමින් අසයි.
‘’අන්න සුනිල් පැදුරටත් හොරාම ගිහින්...’’ සරත් කී ඒ ආරංචිය විමලසේන නොදැන සිටියක් නො වේ.
‘’ඕවා ඉතිං ඔහොම තමයි..කාලෙ වැරැද්ද...’’ විමලසේන උපේක්ෂාවෙන් කීවේ ය.
විමලසේන දසක ගණනාවක් පුරා දිවයිනෙහි විවිධ පාසල්වල සේවය කොට පැසුණු හිස ඇත්තෙකි. අතිශය ජනපි‍්‍රය ජාතික පාසල්වල මෙන් ම අතිශය දුෂ්කර පාසල්වල ද සේවා කොට කීර්තිය දිනා ගත්තෙකි. ඔහු සෑම අවස්ථාවක ම සේවාව නොපිරිහෙලා ඉටු කළේ, ඉගැන්වීම සඳහා ඔහු තුළ වූ සහජ කුසලතාව මෙන් ම අපමණ ආශාව නිසා ය.
විමලසේන, තමාට ලැබුණ ගුරු උපදේශක, වැඩ බලන විදුහල්පති වැනි තනතුරු එක හෙළා ම පිළිකෙව් කෙළේ ඉගැන්වීමට ඇති මහත් අභිරුචිය හේතුවෙනි. ඔහු උගන්වා, සිසුන් අතර හිඳ මහත් තෘප්තියක් අත් වින්දේ ය. එහෙත් මෑතක සිට ඔහුට පාසල තුළ ශිඝ‍්‍ර වෙනසක් පෙනෙයි.
සිසු පරපුර ඉතා වේගයෙන් කොහාටදෝ දුවන වග විමලසේන මහත් දුකින් සිහි කෙළේ ය. පස්ස පැත්තෙන් පහළට රූටා වැටෙන හිරිකිත කලිසම, අමුතු අමුතු කොණ්ඩා මෝස්තර, විකාර රූපී ආකාරයට ඉනට බැඳෙන ගවුම් පටිය, ජංගම දුරකතන ආදි මෙකී නොකී සියල්ල විසින් පාසලෙහි අමුතු ම වටපිටාවක් නිර්මාණය වන අන්දම විමලසේන දිටී ය. එහෙත් ඔවුහු සියල්ලෝ ම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ය; හික්මවිය යුත්තෝ ය; ඉගැන්විය යුත්තෝ ය. එබැවින් සේවාව දිගුකොට විශ‍්‍රාමය පළවා හැරීමට ඔහු කැමැති ය.
‘’ විමලසේන මහත්තයා මෙහාට ඇවිත් දැන් අවුරුදු පහක් විතර ඇති නේද?’’ සරත් විමලසේන කතා සංලාපයකට පටලවා ගැනීමට මාන බලයි.
‘’ඔව් එහෙම වෙනවා...’’
රට වටේ ශිල්පදානය දුන් විමලසේනට අවසානයේ දී තමා ඉගෙන ගත් ගමේ පාසලට පැමිණීමට අවකාශ උදා විය. ඔහු එය මහත් භාග්‍යයක් කොට සැලැකුවේ රට වටේ ගොස් ගෙට ආවා’ වැනි හැඟීමකිනි. පාසල් බිමට පිවිසෙත් ම තමා විසි වසරකින් තරුණ වූවා සේ ඔහුට දැනිණ. එතෙක් සාමාන්‍ය පෙළ දක්වා පංති පැවැති ගමේ පාසලෙහි ඉගෙනුම් ඉගැන්වීම් එකොළහ ශ්‍රේණියෙන් අවසන්වීම විමලසේනයන්ට මහත් අඩුපාඩුවක් විය.
එබැවින් ඔහු විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය සමඟ ගෙන ගිය ‘අරගලයේ’ ප‍්‍රතිඵලයක් ලෙස උසස් පෙළ පංති ඇරැඹීමේ අවසරය ලබා ගත්තේ ය. එහෙත් ඊළඟ ඇබැද්දිය වූයේ උසස් පෙළ පංතියට සිසුන් රඳවා ගැනීම ය.
සාමාන්‍ය පෙල සමත් සියල්ලෝ ම වෙනත් පාසල් කරා ගියෝ ය. මහත් දොම්නසට පත් විමලසේන දවස් ගණනක් නිවාඩු දමා ගෙදරට වී සිටීමට උත්සාහ කෙළේ ය. එහෙත් ඔහුට එසේ සිටීමට හැකි වූයේ එක් දිනක් පමණි. ඉගැන්වීමෙන් තොර තම සිත හිස් කළයක් බඳු යැයි විමලසේනට සිතිණ.
අවසානයේ දී ගණිතය අසමත් ‘ණයට කරන’ සිසු සිසුවියන් දස දෙනකු ගෙන් හෝ උසස් පෙළ පංතිය ආරම්භ වීම විමලසේනට මහත් අස්වැසිල්ලක් විය. ‘ණය කාරයන්ට’ ගණිතයෙන් තල්ලුවක් දී ‘ගොඩ දැමීමේ’ මහා ව්‍යාපෘතියට අත ගසන ලද්දේ ද විමලසේන විසිනි. අවසානයේ දී දහයෙන් අටක් ගොඩ ය.
විමලසේන සාහිත රසය බෙදමින් සිසුන් ‘ඒ’ සාමර්ථ්‍යයට තල්ලු කිරීමට මහත් උනන්දුවෙන් කටයුතු කෙළේ ය. එහෙත් ඔහු ගේ හිතට කෙණෙහිලිකම් අපමණ ය.
අතිරේක පංතියක් ඇරැඹීමට කතිකා කරගත් විමලසේන පාසල ඇරුණ විගස ගෙදරින් ගෙනා බත්මුල ලිහාගෙන කන්නට විය. පාසල ඇරෙන මොහොතේ ම එක් බසයක් යයි. අනෙක යන්නේ සවස හතරට පමණ ය. එබැවින් පැය දෙකක් පමණ ඔහුට නිස්කාන්සුවේ සිසුන්ට ඉගැන්විය හැකි ය. ලොකු පුතා ගේ වැඩ කටයුත්තක් ද අතපසු කොට ඔහු එදින අතිරේක පංතිය දමාගත් බැවින් පුතු ගේ සිත රිදෙන්නට ඇතැ යි සිතමින් බත් කෑවේ ය.
ඒ අතරතුර ඔහු පාඩමට ප‍්‍රවේශය ලෙස යොදා ගත යුතු කවිය සිහියට නඟා ගත්තේ ය. පාඩම අතරතුර ඉදිරිපත් කළ යුතු සිය සුප‍්‍රකට විහිළුව සිහිපත් වීමෙන් විමලසේන ගේ මුවගට සිනාවක් ද නැඟිණ. ඒ විහිළුවෙන් මුළු පංතිය ම පෙරළි පෙරළී සිනාසෙනු ඇත. කවදත් වූයේ එසේ ය.
බත් පතෙහි තිබූ ඉතා සිහින් කටුවක් ඇනී විමලසේනට වේදනාවක් ඇති විය. ඔහුට සක්විති සිහි විය. ප‍්‍රදේශයේ අති විශාල සිසු දරු දැරියන් පිරිසකට සිප් පෙළහර පානා ටියුෂන් ගුරුවරයා ඔහු ය. ඔහු ගේ මුවගින් නිබඳ වෑහෙන අසැබි විහිළු තහළු සිසුන් අමන්දානන්දයට පත්කරලීමට සමත් වී ලු! විමලසේන අසා ඇති ආකාරයට සක්විති විසින් සන්ධි ආදී ඇතැම් වියරණ ක‍්‍රම ලිංගික කි‍්‍රයාවලි සිහිපත් වන ආකාරයට උගන්වන්නේ ලු! දැන් දැන් තම පංතියේ සිසුන් අතර ද සක්විති ගේ විචිත‍්‍රවත් නිබන්ධයන් බහුල ය.
ඇතැම් එකක අඩ නිරුවත් කාන්තා රූපයෙන් යුතු පිට කවර පවා ඇති වග යටැසින් විමලසේන දැක ඇත. පෙර දිනවල නම් එබඳු රූ සටහනක් පාසලෙන් දුටු කල දැඩි දඬුවම් පැමිණ වූ තමා, දැන් එබන්දක් දුටු විගස ඉවත බලා ගන්නට හුරු වූයේ කෙසේ දැයි විමලසේන ට ම සිතා ගත නො හැකි ය. දිවා ආහාරයෙන් පසු විමලසේන වහ වහා පංති කාමරයට ඇදුණේ ය. පංති කාමරය හිස් ය. විමලසේන බලවත් විමතියෙන් යුතු ව වට පිට බලන්නට වූයේ විවර වූ මුවින් යුතුව ය. කොහේ දෝ සිට කමල් මතු විය.
‘’ කමල් කෝ ළමයි...’’
‘’සර්... එයාලා ගියා...’’
‘’ඒ මොකද?’’
‘’සර්... එයාලට අද ටියුෂන්ලු...’’
‘කාගෙද?’’
‘’සක්විති සර්ගේ...’’
විමලසේන කතරක් මැද අතරමං වූවකු පරිද්දෙන් හිස් පංති කාමරය දෙස බලා සිටියේ ය.
බොහෝ හිත් වේදනා දැනුණ ද විමලසේන ඉතා සාර්ථක ලෙස ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු කරගෙන ගියේ ය. සිසුන් ගේ දුබලතා හඳුනා ගනිමින්, පියවරෙන් පියවර ඒ සියල්ල අකා මකා දමමින් ඔහු ඉගැන්වීමෙන් මහත් තෘප්තියක් අත් වින්දේ ය. ගමේ පාසලේ මුල් ම උසස් පෙළ අස්වැන්න!
සිසුහු සියල්ලෝ ම සමත්.
‘’දෙවියනේ මොන තරම් දෙයක් ද?’’ විමලසේන සිතුවේ එසේ ය.
දෙදෙනකු විශ්වවිද්‍යාලය ප‍්‍රවේශයට සුදුසුකම් ලබා ඇත. විමලසේන තාරුණ්‍යයේ දොරකඩට ආවා සේ ය සුනිල්., ලලිතා, ඔවුන් කොතරම් අගනේ ද? පාසලට මහත් ගෞරවයක් එක් කරමින් සරසවියට තේරී ඇත්තෝ ය. විමලසේන මහත් තෘප්තියෙන් අතීතයෙහි සැරිසරයි. එහෙත් ප‍්‍රතිඵල බැලීමට සුනිල් පාසලට ආවේ නැත.
‘’සර් එයා කල්තියාම ඉන්ටනෙට් එකෙන් බලලා...’’
විමලසේනට ‘ඉන්ටනෙට්’ යන්න මහා අමිහිරි වදනක් සේ හැඟී ගියේ ය.
‘’ සුනිල් ඊයේ උදේ ඉස්කෝලෙ ඇවිත් පි‍්‍රන්සිපල්ගෙන් ඉල්ලුම්පත‍්‍ර අස්සන් කරගෙන ගිහින්... ඔය ළමයා නිකමට ඇවිත් උගන්නපු ගුරුවරුන්ට කතා කරලා ගියාද?’’ සරත් කියයි. විමලසේන ගේ චිත්තා’භ්‍යන්තරය කලකිරීමකින් පිරී යයි. එහෙත් ලලිතා එසේ නොවනු ඇත. ලලිතා සිනාවකින් වත සරසාගෙන දොරකඩින් එබෙයි.
‘’ආ... දරුවා.. ඉතිං?’’
‘’සර්... මං ඉල්ලුම්පත‍්‍රයට ලොකු සර්ගෙන් අස්සන් ගත්තා.... සර්ට කතා කරල යන්න ආවේ...’
‘’බොහෝම හොඳයි... බලන්ඩ සරත් මහත්තයා ආකල්පවලින් සරු ළමයි...’’ විමලසේන ඇගේ හිස පිරිමදිමින් කියයි
‘’ සුනිල් වගේ නෙමෙයි. ඒ ළමයගෙ නම් හොඳ ගතිගුණ තියෙනව නේද? නික්ම යන ලලිතා දෙස බලමින් සරත් කියයි. සේවාව දීර්ඝ කිරීමේ ලියවිලි අතට ගත් විමලසේන කලාපයට යෑම සඳහා වහ වහා පාරට බැස්සේ ය.
විමලසේන බස් නැවතුමට සේන්දු විය. ඈත මාවතේ මහත් හඩින් වායුගෝලය කළඹමින් බස් රථය කඩාගෙන බිඳගෙන එනු පෙනෙයි. බස් නැවතුමේ ලලිතාත් ඇගේ මවත් සිටිති. ලලිතා තමාට උසුලා ගත නොහෙන තරමේ පෙට්ටියක් බදා ගෙන බසය පැමිණෙන තුරු බලා හිඳින්නේ මහත් නොඉවසිල්ලෙනි. ඇගේ මව ඊට නොදෙවැනි පෙට්ටියක් ඔසවාගෙන සිටීමට මහත් ආයාසයක් දරයි.
‘’මේ බර උස්සාගෙන නෑගම් යනවා වගේ...’’ විමලසේන ළෙන්ගතු හඩින් අසයි.
‘’අනේ නෑ මහත්තයෝ...’’ මව හිස නවා යටහත් පහත් ව දොඩයි.
‘’අපේ සක්විති සර් මුණ ගැහෙන්ඩ... මේ දරුවට ටියුෂන් දුන්නෙ ඒ සර් නොවැ... මේ දරුවට සිංහලවලට ‘ඒ’ සාමර්තෙ අරන් දෙන්ඩ ඒ සර් නොසෑහෙන්ඩ මහන්සි වුණා. කීප විටක්ම අපේ ගෙදරත් ආවා... අනේ රත්තරං මහත්තයා... එහෙම කෙනෙකුට කළගුණ සලකන එක යුතුකමක් නේද මහත්තයෝ...?’’
වේගයෙන් ආ බසය දූවිලි අවුස්සා මහත් සේ ඝෝෂා කොට බ්රේක් හැප්පුවේ ය. ලලිතාත් මවත් බර පෙට්ටි ඔසවාගෙන වැටි වැටී බසයට නැංගෝ ය. සේවා දිගුව අතේ ම ගුලි කර ගත් විමලසේන විවර වූ මුවෙන්, කිසිදු හැඟීමකින් තොර ව, සෙල්රුවක් සේ බසය දෙස බලා උන්නේ ය.
‘’ඉක්මනට නඟින්ඩ මහත්තයෝ...’’ කොන්දොස්තර තරුණයා ගේ උස් හඬ විමලසේනට නෑසුණ ගාණ ය.
‘’බීරෙක්!’’
යටිගිරියෙන් කෑ ගසාගෙන බසය විමලසේන පසු කර ගෙන මහත් වේගයෙන් පියඹා ගියේ ය. දූවිලි සහ දුම්වලාව අතර විමලසේන අතරමං ව බලා සිටින්නට විය.
නියමයි . . . ඉතා රසවත් හා කුතුහලය රැඳෙන ලෙස ලියා තිබෙනවා.
ReplyDeleteපැන මඩ කඩිති වැව් තාවුළු වැහි කාලේ.....
ReplyDeleteහිතට වදින කතාවක්...
ඇසට කදුළු ඉනූ සටහනක්!
ReplyDeleteහරිම සංවෙදි...
ReplyDeleteමමත් ටියුශන් නම් ගියා...
එත් තාම සම්බන්දකම් තියෙන්නෙ පාසැලෙ ගුරුවරු සමග තමයි..
මට තාම එ අය මගෙ අම්මයි තාත්ටයි වගෙ..
හැමොම නෙමෙයි...
මගෙ පාසල තාම මට ගෙදර වගෙ...