Tuesday, June 8, 2010

“ඔය ලොකු වුණාම කවුරුන් වෙන්න ද හිතාගෙන ඉන්නේ?”


මේ කතාව කාටුනයක සඳහන් විහිළුවක් පාසල් දරුවෙක් තමන් ගේ තරමට විසි ගුණයක් විතර විශාල පොත් බෑගයක් මුළු කොඳු ඇට පේළියේම වැරෙන් පිට දිගට බෙල්ලේ එල්ලා ගෙන ඉස්කෝලේ යයි. අතරමඟ බස් හෝල්ට් එකක සිටි ඉස්කෝලේ ගියා දැයි නොදන්නා කෙනෙක් දරුවා ගෙන් මෙසේ අසයි.


ඔය ලොකු වුණාම කවුරුන් වෙන්න ද හිතාගෙන ඉන්නේ?


නාටාමි කෙනෙක් වෙන්න දරුවා පිළිතුරු දෙයි.


ඇත්තට ම ඒ දරුවාගේ බලාපොරොත්තුව නාටාමි කෙනකු වෙන්නට දැයි හරියටම කිව නොහැකි වුණත් ඇතැම් විට පිටකොටුවේ බර අදින නාටාමි මහත්වරුන් දැක එහෙම ආසාවක් ඇති වුණා විය හැකියි. එහෙම නැතිව තමන් දිනපතා ඔසොවා ගෙන පොත් මල්ලේ බර අනුව මේ රටේ අධ්‍යාපනයෙන් එහෙව් බර අදින ජොබ් එකකට පුරුදු කරනවා වෙන්නට ඇතැයි දරුවා උප කල්පනය කළා නොවිය හැකි ද නො වේ. සමහර විට මෙච්චර පුංචි සන්දියේ මෙහෙව් බරක් පිටේ එල්ලා ගෙන යන්නට වෙනවා නම් තව ලොකු මහත් වනවිට දොස්තර මහත්තයකු, ඉංජිනේරු මහත්තයකු ගණකාධිකාරිවරයකු, මහාචාර්යවරයකු, ඇමැතිවරයකු වීමට නම් ලොරියක් උස්සාගෙන යන්නට වුණොත් කියා කොලුවාට බය සිතුණා වෙන්නත් පුළුවන.


එහෙම නැත්නම් රටේ ම ළමයින් නාටාමිලා වෙනවා නම් හොඳ යැයි ළමයා සිතුවා වෙන්ටත් බැරි නැත. අනිත් අතට දැන් කාලයේ හැටියට ළමන් නිසා මවුපියන් උහුලා ගෙන ඇද ගෙන යන බර දුටුවා ම, ඒ බර හරියට ම තේරුම් අරගෙන අඩු ම ලංසුවෙන් බර ඇදීම පුහුණු වීම සඳහා ගොනා සහ කරත්තය කතාවට සිතින් පිවිසුණා ද විය හැකි ය. ඒ සේරම කතා නිකම් විහිළුවට වුණත් අනාගත බලාපොරොත්තුව නාටාමි කෙනෙක් වීම යැයි කියා ඇත්තේ වෙනින් කවුරුවත් නොව මේ රටේ ඉස්කෝලේ යන දරුවෙකි.


වර්තමානයේ මොන්ටිසෝරි යන පොඩි එවුන් දිහා හොඳ හැටි බැලූවොත් පෙනෙන කාරණයක් තිබේ. ඒ කියන්නේ මොකක් හෝ පිට කොන්දේ ආබාධයක් නැත්නම් ඒ ළපැටියන් කොන්ද කෙලින් තබාගෙන අපූරුවට ගමන් කරන ආකාරයයි. එහෙත් ඉස්කෝලේ යන්නට පටන් ගත්තාම මේ කොන්ද ටිකෙන් ටික නැමී යන හැටියක් තුනේ හතරේ පංතිවල සිට ඉහළට පෙනී යන ගතියක් තිබේ. සමහර විට මේ කොන්ද නැමී යන ස්වභාවය දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමට අම්මලා තාත්තලා සමහර ලොකු ලොකු තැන්වලට පමණක් නොව පොඩි පොඩි තැන්වලටත් කොන්ද නමන ආකාරයටත් වඩා ප‍්‍රබල ය.


ළමයින් පාසල්වලට ඇතුළත් කිරීමේදී සිද්ධ වන ඒ ඒ කාරණා නැති කර දැමීම කොහොම වුණත් අඩු කර ගැනීමට අධ්‍යාපන ඇමැතිතුමන්ලා දරන නො පසුබට උත්සාහය සත්‍ය වශයෙන් ම අභියෝගාත්මක කි‍්‍රයාවලියකි. එහෙත් දරුවන් පාසල් ගියාට පසු ටිකෙන් ටික කොන්දේ අමාරු බෙල්ලේ අමාරු හට ගැනීම ලොකු මහත්වන විට ජාතියේ දරුවන් බෙල්ල වටා ප්ලාස්ටර් ඔතා ගත්, කොන්දට ආධාරක දරා ගත් තත්ත්වයට පත් වන ලකුණු පහළ වනවා නම් ඒ ගැනත් අවධානය යොමු කළ යුතුය.


දරුවකු ගේ පොත් බෑගයක බර කිලෝ තුනකට වඩා වැඩි නොවිය යුතුයැයි වෛද්‍ය මතය යි අද බැලුවාම පාසල් යන දරු දැරියන් ගේ පොත් බෑගයේ බර කොඳු නාරටියට කරන බලපෑම දිනපතා කිලෝ පහළොවක් තරම් ය. මෙය විදේශගත වන කෙනකුට ගෙන යා හැකි බරට කිට්ටු ප‍්‍රමාණයකි. හැබැයි රට යනවිට මේ බර දරන් යන්නේ කරත්තයක තබා ගෙන ය. හෝ රෝදවලින් ඇද ගෙන ය. දරුවන් ඇති අම්මලා අනේ අපේ දුව පුතා කුදු වෙනවා යැයි ළමයින් හත අට පන්තිවලට එන කොට මැවිසිලි නඟන්නේ නාටාමි ගෝනිය දරුවන්ගේ කර පිටට වඩම්මන පාසල් කාල සටහන් නිසා බව පෙනෙයි.


මේ වහාම පිළියම් යෙදිය යුතු පැනයකි. උහුලා ගෙන යා හැකි බරක පොත් ටිකක් අතට ලැබෙන පරිදි පාසල් විෂය කාල සටහන් සකස් කිරීමට කාගේත් අවධානය යොමු විය යුතු ය. දරුවන් පාසල් අරන් යන පොත් බෑගයේ බර තරම නොදන්නේ නම් එක දවසකට හෝ ලොක්කන් එකතු වී, ඒ වගේ බරක් පිටේ එල්ලා ගෙන ඉස්කෝලේ යනවා නම් හොඳ ය.

No comments:

Post a Comment

Related Posts with Thumbnails Related Posts with Thumbnails