Sunday, June 6, 2010

රාජ්‍යය සේවය වනාහී .............?


දොස්තර මහත්තුරුන්... හෙදියන් සිය වෘත්තීය ප‍්‍රශ්නයකට විසැඳුමක් ලබා ගැනීම සඳහා බෙල්ලෙන් අල්ලා ප‍්‍රශ්නය මැද්දට තල්ලු කරන්නේ අසරණ රෝගියා ය.


පෞද්ගලික බස් මුදලාලිලා තමන් ගේ ප‍්‍රශ්නයක් පැන නැඟුණු විට බෙල්ලෙන් අල්ලා ප‍්‍රශ්නයට මැද්දට වීසි කරන්නේ දුප්පත් මගියා ය.


දැන් පාසල් ගුරු මහත්තුරුන්ට නෝනා මහත්වරුන්ට පි‍්‍රන්සිපල් මහත්තුරුන්ට ප‍්‍රශ්නයක් ඇති වූ විට ද සිතා හෝ නොසිතා උපක‍්‍රමයක් ලෙස හෝ බෙල්ලෙන් අල්ලා ප‍්‍රශ්නය මැද්දට තල්ලු කරන්නේ අහිංසක ශිෂ්‍යයා ය.


රෝගියා අසරණ ය; මගියා දුප්පත් ය; ශිෂ්‍යයා අහිංසක ය. ඒ නිසා ඔවුන් වෙනුවෙන් එවැනි විශේෂණ පද පාවිච්චි කිරීම පිළිබඳ ව දොස්තර මහත්තුරුන්, හෙදියන් මෙන් ම බස් මුදලාලිලා සහ ගුරු මහත්වරුන් ද කේන්ති ගන්නට කාරණාවක් නැත.


පාසල් ගුරු මහත්වරුන්ට සහ නෝනා මහත්වරුන්ට ප‍්‍රශ්න ඇති බව ඇත්ත ය. පැරැණි ජන සමාජය කලාකරුවා, වෙද මහත්මයා මෙන් ම ගුරුවරයා ද රැකබලා ගත්තේ ය.


කලාකරුවා, වෙද මහත්මයා මෙන් ම ගුරු මහත්මයා ද එකල කෙළේ සේවාවකි. එහෙත් මේ හැමදෙනා ම දැන් කරන්නේ රස්සාවල් ය.


වෙද මහත්තයා ළඟට යනවිට බුලත් කොළයක් ගෙන යාමේ සම්ප‍්‍රදාය දැන් දැන් අහෝසි වෙමින් පවතී. පඬුරු පාවිච්චි වීම දැන් දක්නට නොලැබෙන බැවිනි.


(ලැබෙන තුටු පඬුර පමණක් ගන්නා උත්තම ඝණයේ වෙද මහත්තුරුන් තවමත් අතරින් පතර හෝ සිටින බව ද ගෞරවයෙන් සිහිපත් කරමු.)


ගුරු මහත්මයා ද එ සේ ම ය. ඉස්කෝල මහත්මයා සහ ඉස්කෝල හාමිනේ සංකල්පය දැන් නැත. දැන් සිටින්නේ සර් ලා සහ ටීචර් ලා ය. නැත්නම් මිස් ලා ය.


ලොකු මහත්මයා දැන් නැත. සිටින්නේ පි‍්‍රන්සිපල් ය. ඉස්කෝල මහත්තුරුන් කෙළේ සේවාවකි. සර් ලා කරන්නේ රැකියාවකි.


ඒ ගැන කිසිවකුටත් දෙස් පැවැරිය නො හැකි ය. තමන් සමාජය රැක බලා නොගන්නා විට ජීවත්වීම සඳහා රැකියාවක් කළ යුතු ය.


ආර්ථිකය ඉදිරියේ සමාජය වෙනස් වෙයි. එකල වික්කේ කෙසෙල් කැනක් ය. කෙසෙල් ඇවරියක් ය, කෙසෙල් ගෙඩියක් ය. දැන් විකුණන්නේ කෙසෙල් කිලෝ වශයෙනි.


වෙළෙඳ පොළ ආර්ථිකයේ හැටි එහෙම ය. දිනෙන් දින වෙනස් වෙයි. මිල ගණන් පමණක් නො ව ගනුදෙනුවේ හැඩතල ද වෙනස් වෙයි.


සර් ලා සහ ටීචර් ලා ජීවත් වන්නේ ද මේ වෙළෙඳ පොළ ආර්ථිකය ඇසුරේ ය. ඔවුන් ද බස්වලින් යා යුතු ය. හාල් කිලෝවක්, එළවළු කිලෝවක් ගත යුතු ය.


පෑනක් පොතක් ගත යුතු ය. ඔවුන් ගේ දරුවන් රක්‍ෂා කළ යුතු ය. පිරිසුදුවට හොඳට ඇඳගෙන විදුහලට යා යුතු ය. මේ සඳහා අවශ්‍ය වන කාසි ප‍්‍රමාණය දිනෙන් දින වැඩි වෙයි.


ඒ නිසා වැටුපක් වෙනුවෙන් සටනක් කිරීමට ඇති අයිතිය අපි ප‍්‍රතික්‍ෂේප නො කරමු.


ගුරු සේවය යන්න අවලංගු වෙමින් ගුරු රැකියාව යන්න ස්ථාපිත වෙමින් පවතින නමුත් එදා ඉස්කෝල මහත්වරුන් මෙන් ම අද සර් ලාත් හදන්නේ මැටි ගඩොල් හෝ කොන්කි‍්‍රට් ගල් නො වේ.


දරුවන් ය. හෙට දවසේ පුරවැසියන් ය. මෙය තවදුරටත් ගුරු පරපුර ගොනාට ඇන්දවීම උදෙසා කරන ලද ප‍්‍රකාශයක් නො වේ. යථාර්ථය එය යි.


ගුරු මහත්වරුන් ගේ දරුවන්ට ද උගන්වන්නේ තවත් ගුරු මහත්වරුන් පිරිසකි. වෙනත් රැකියාවකට වඩා මෙහි දී දැකිය හැකි සුවිශේෂත්වය එය යි.


දරුවන් සමඟ කටයුතු කරන පිරිසක් නිසා ම අතිශයින් ම සංවේදී සදාචාර ධර්ම පද්ධතියක් ගුරු සේවය හෝ ගුරු රැකියාව සමඟ අදටත් බද්ධ ව පවතී.


නිවාඩුවෙන් පසු බුලත් හුරුල්ලක් ගෙන යෑමේ චාරිත‍්‍රය අද වන විට නැත්තට ම නැති වී නැතත්, බොහෝ සෙයින් අඩු වී ඇති බව ඇත්තකි. එහෙත් ගුරු ගෞරවය තවමත් නො නැසී පවතී.


දිසාපාමොක් ගුරු සංකල්පය නැත්තට ම නැති වී නැත. අදටත් අපි කවුරුත් අපේ ගුරු මවුවරුන් පියවරුන් දුටු විට අසුනින් නැඟිට බසයේ අසුන ඔවුන් වෙත පුද කිරීමට මැළි නො වෙමු.


ධනවතුන් යන පෞද්ගලික රෝහල්වල වර්ජන නැත. පෞද්ගලික වාහන ඇති නිසා බස් වර්ජන ධනවතුන්ට බලපාන්නේ නැත. ධනවත් දූ පුතුන් යන පෞද්ගලික විදුහල් වැසෙන්නේ නැත. ඔවුහු සිත් සේ සිප් සතර හදාරති.


ඒ නිසා සිතා මතා නො ව නොසිතා හෝ දුප්පත් මාපියන් ගේ අහිංසක දරුවන් තමන් ගේ ප‍්‍රශ්නය මැදට තල්ලු කිරීම ගැන තවත් වරක් නො ව කිහිපවරක් සිතා බැලීම වටී.


එහෙයින් තමන් ගැන මෙන් ම රට ගැන ද විශේෂයෙන් බාල පරපුර ගැන ද අවධානය යොමු කිරීම වටී.


අත පය පමණක් නො ව ජීවිතය ද පරිත්‍යාග කල රණවිරුවන් සිටින දේශයක අප, අපේ ප‍්‍රශ්න ඉදිරිපත් කළ යුත්තේ, අරගල කළ යුත්තේ, කෙසේ දැයි අපේ ගුරු මහත්වරුන්ට අමුතුවෙන් පහදා දීම අවශ්‍ය යැයි නො සිතන්නෙමු.


මන්ද සත්‍ය වශයෙන් ම ඔවුන් අපේ සමාජයේ පෙර ගමන්කරුවන් ලෙසින් අප තවමත් සලකන බැවිනි.


2 comments:

  1. මේ නොනෝ ඔයා ගේ බ්ලොග් එක නම් ලස්සනයි එත් ඔපන් කර ගන්න හරිම අමාරැයි.

    ReplyDelete
  2. මම මේකට පිලිතුරක් ලියනවා මගේ බ්ලොග් එකේ. මේ ගැන මට කියන්න තියෙන දේ කමෙන්ට් එකක් විදිහට දානවට වඩා පෝස්ට් එකක් විදිහට දාන එක වටිනව කියල හිතෙනවා...

    ReplyDelete

Related Posts with Thumbnails Related Posts with Thumbnails