Thursday, July 1, 2010

ඒ චිත්තාකර්ෂණීය හැන්දෑවේ පායා තිබූ දේ දුන්න !


පසු ගිය දා හැන්දෑවේ පායා තිබූ දේ දුන්න දැක තිබුණේ කී දෙනකු දැ යි නො දනිමි. හදිසියෙන් ම නෙත ගැටුණු ඒ දෙස කොතෙකුත් බලා සිටිය හැකි ය.

එය එතරම් ම චිත්තාකර්ෂණීය විය. එය ඔබ සිත පහන් කොට නිවා සනහනු පමණක් නො ව, මේ මහා අනන්ත වූ අප‍්‍රමාණයත්, මිහිකත ගේ සෞන්දර්යයත් පිළිබඳ ව අප දැනුම්වත් කරයි.

එබඳු වූ ආහ්ලාදයක් කෙනකු වෙත හෙළිදරව් කරනු වස් වාග් විෂය, එහි රිද්මය හා ලාවන්‍යය පිළිබඳ දැනුමක් තිබිය යුතු නො වේ ද? එහෙත් වඩාත් අර්ථවත් වනුයේ, ප‍්‍රසන්න වූ යම් කිසිවක් පිළිබඳ යථාවබෝධයෙන් යුතු ව මතු වන දයාන්විත අනුභූතිය ම ය: නිරාමිස සැහැල්ලුව ය. හුදෙක් දැනුම හෝ මතකය හෝ කැණ බැලීමකින් මෙබඳු ප‍්‍රතිභාන්විත හැඟීමක් අවදි කොටගත නො හැකි ය.

යම් කිසිවක් ගැන කතාබහ කර ගනු පිණිස අපට දැනුමක් තිබිය යුතු බව ඔබ ද දන්නා කරුණකි. එ සේ ම දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා මතකය ද අවශ්‍ය ය. දැනුමකින් තොර ව මෝටර් රථයක් ධාවනය කරවීම හෝ පාලමක්, නිවසක් ඉදි කිරීම හෝ මං මාවත් තැනීම හෝ කළ නො හැකි ය.

ඒ හැර ගස් කොළන් රැක බලා ගැනීම හා සතුන්ට උවටැන් කිරීම යනාදි ශිෂ්ට සම්පන්න මිනිසා විසින් කළ යුතු තවත් බොහෝ දේවල් ද දැනුමක් නැති ව කිරීම උගහට ය. විදුලිය උත්පාදනයට හා නොයෙකුත් විද්‍යාත්මක කටයුතුවල යෙදීමට ද, වෙදකමින් මිනිසාට උපකාර කිරීමට ද, මතකය, දැනුම හා තොරතුරු ද අවශ්‍ය වන්නේ ය.

එසේ වුව ද, සිත හසුරුවන සම්ප‍්‍රදායයක් හා විශ්වාසයක් බවට දැනුම පත් වූ විට එය බාධාවක් වෙයි. ලොව පුරා මිනිසුන් වෙන් වී සිටිනුයේ, හින්දු, මුස්ලිම්, බොදුනු හා කි‍්‍රස්තියානි යනු විසින් තමන් හඳුන්වා ගනිමිනි.

ඔවුන් එලෙස වෙන් කොට ඇත්තේ විද්‍යා පර්යේෂණයන් හෝ කෘෂිකාර්මික දැනුම හෝ නො වේ. එසේ නැතහොත් පාලම් ඉදි කිරීමේ හෝ ගුවන් යානා පියාසර කරවීමේ හෝ ක‍්‍රමවේදයන් ද නො වේ. කිසියම් නිශ්චිත ආකෘතියකට අනු ව, මනස සකස් කරනු ලැබ ඇති සම්ප‍්‍රදායයක් හා නොයෙකුත් විශ්වාසයන් ද හේතු කොට ගෙන ය.

මේ අනුව සම්ප‍්‍රදායයක් බවට පත් ව ඇති විට, දැනුම යනු බාධකයකි, අවහිරයකි. සම්ප‍්‍රදායයෙන් කැරෙනුයේ මනස කිසියම් ආකෘතියකට අනු ව හැඩ ගැස්වීම ය. එහෙයින් දැනුම හේතුවෙන් මිනිසුන් බෙදී වෙන් ව ගොස් ඔවුන් අතර වෛරය ද මතු වෙයි. එපමණක් නො ව, සත්‍යය, ජීවිතය හා දෙවියන් පිළිබඳ තත්ත්වාකාර වූ අනාවරණය ද එයින් වැළැකී යන්නේ ය.

අධ්‍යාපනයෙහි වගකීම වනුයේ, මිනිස් ප‍්‍රයත්නයන් හා බැඳුණු විවිධ ක්‍ෂේත‍්‍රයන්හි පුළුල් දැනුමක් සිසුවාට දෙන අතර ම යමක් අනාවරණය කොට, එය විමසා බැලිය හැකි වනු පිණිස සම්ප‍්‍රදායයන් සියල්ලෙන් ම ඔහු ගේ මනස නිදහස් කරලීම ය.

එ සේ නොවුවහොත් දැනුමෙහි යාන්ති‍්‍රකත්වයෙන් මනස ද යාන්ති‍්‍රක වනු ඇත: දැනුමෙන් ම බර වනු ඇත. සම්ප‍්‍රදායයෙහි ග‍්‍රහණයෙන් තිර ව නිදහස් නොවන තුරු සදාතනික වූ නිරාමිස සුවය අනාවරණයෙහි ලා මනස අසමත් වනු ඇත.

එසේ වුව ද පැහැදිලි ව ම, මිනිස් අවශ්‍යතාවන් සහ මිනිසා විසින් නිපදවිය යුතු දෑ හා කටයුතු කළ හැකි වනු පිණිස පුළුල් වන දැනුම පමණක් නො ව තොරතුරු ද මනස විසින් අත් කර ගනු යුතු ව ඇත්තේ ය.

මෙලෙස දැනුම එනම්, මතකය වැඩි දියුණු කර ගැනීම එක්තරා අවස්ථාවක දී ප‍්‍රයෝජනවත් වන අතර, එය අත්‍යවශ්‍ය ද වේ. එහෙත් තවත් විටෙක එය හානිකර දෙයක් බවට ද පත් වෙයි. මේ වෙනස හඳුනා ගැනීම එනම්, දැනුම හානිකර වන අවස්ථාව හා එය බැහැර කිරීමත්, එය අවශ්‍ය වන විට හැකි උපරිම අයුරින් එහි දී එය කි‍්‍රයාත්මක වීමට ඉඩ හැරීමත් වනාහි ප‍්‍රඥාවෙහි ආරම්භය ය.

මෙකල අධ්‍යාපනයෙහි සිදු වෙමින් තිබෙනුයේ කුමක් ද? විවිධ වූ විෂයයන් පිළිබඳ ව ඔබට දැනුමක් ලැබෙයි. විශ්වවිද්‍යාලයට ගිය පසු ඇතැම් විට ඔබ ඉංජිනේරුවකු හෝ දොස්තර කෙනකු හෝ නීතිඥයකු හෝ බවට පත් වනු ඇත.

ගණිතයෙන් හෝ වෙනත් විෂයයකින් හෝ ආචාර්ය උපාධියක් ද ලබනු ඇත. එසේ නැතහොත් ඔබ ඇතැම්විට ගෙදර දොර මනා ව තබා ගන්නා සැටිත්, උයන පිහන සැටිත් ආදී කරුණු ඉගෙනුම පිණිස ගෘහ විද්‍යාව හදාරනු විය හැකි ය.

එහෙත් ඔබේ සිත නැවුම් ව, උද්යෝගයෙන් හා උනන්දුවෙන් පවත්නා, එහෙයින් ම නිරතුරු ව පිරිපුන් නවතාවයෙන් ම යුතු ව යමක් අනාවරණය කොට ගත හැකි ආරම්භක අවස්ථාවෙහි දී ම, සම්ප‍්‍රදායයෙන් නිදහස් වනු පිණිස ඔබට පිළිසරණ වන කිසිවකුත් නොමැත. ඔබ විසින් පොතපතින් ග‍්‍රහණය කර ගනු ලබන දර්ශනවාද, මූල ධර්ම හා විශ්වාස යනාදිය ඔබේ සම්ප‍්‍රදායයන් බවට පත් වෙයි.

මේ සියල්ල මනස විසින් සිය ආරක්ෂාව පිළිබඳ පරමාර්ථයෙන් යොදා ගනු ලබන බැවින් ම එය මනසට අවහිරයකි. මනස ද ඒ අනුව හැඩ ගැසෙයි: සකස් වෙයි. එබැවින් සියලු සම්ප‍්‍රදායයන් ගෙන් ද ඒ සමඟ ම දැනුම හා ශිල්පීය හැකියාව ලුහු බැඳීමෙන් ද යන දෙකෙන් ම නිදහස් වීම අවශ්‍ය ය. අධ්‍යාපනයෙහි කාර්යභාරය වනුයේ මෙය යි.

නිරතුරු ව නවමු ස්වභාවයෙන් ම යමක් අනාවරණය කර ගැනීමෙහි ලා ඇති බලවත් දුෂ්කරතාවක් නම්, දැනුමෙන් මනස නිදහස් කර ගැනීම ය. වරක් ශ්‍රේෂ්ට ගණිතඥයකු කියා සිටියේ, කිසියම් ගැටලුවක් සම්බන්ධයෙන් තමා දින ගණනාවක් තිස්සේ වෙහෙසුණු නමුදු, විසැඳුමක් ලද නො හැකි වූ සැටි ය. එහෙත් එක් උදෑසනක ඔහු සුපුරුදු පරිදි ඇවිදගෙන යන විට එකවර ම අවශ්‍ය පිළිතුර ඔහුට අවබෝධ වී තිබිණ.

එහි දී සිදු වූයේ කුමක් ද? ඔහු ගේ මනස සන්සුන් ව තිබීම හේතුවෙන් ගැටලුව දෙස නිදහස් ව බැලිය හැකි වූ අතර, පිළිතුර අනාවරණය කරනු ලැබ තිබුණේ ගැටලුව විසින් ම ය. කෙනකුට ගැටලුවක් පිළිබඳ තොරතුරු අවශ්‍ය ය. එහෙත් ඒ සඳහා මනස ද නිදහස් ව තිබිය යුතු ය.

අප බොහෝ දෙනකු ඉගෙන ගන්නේ ඇති සැටියෙන්ම පවතින කරුණු ය. ඒ අතර තොරතුරු හා දැනුම ද අපි එකතු කර ගන්නෙමු. එහෙත් අප කවරදාවත් මනස නිසල වන සැටිත්, ජීවිතයේ අවුල් වියවුල්වලින් හා ගැටලුවල මුල් විහිද ගිය විෂය භූමියෙන් ගැලැවෙන සැටිත් තේරුම් ගන්නේ නැත. අපි නොයෙකුත් සමිති සමාගම්වලට එකතු වෙමු. කිසියම් විශ්වාසයකින් යුතු ව එක්තරා දර්ශනවාදයක ද ග‍්‍රහණය වී සිටිමු.

එහෙත් මේ සියල්ල අවසානයෙහි නිරර්ථක වනුයේ එයින් අපේ මිනිස් ගැටලු නොවිසැඳෙන හෙයිනි. එපමණක් නො ව, ඒ හේතුවෙන් තව තවත් දුක්ඛ දෝමනස්සයන් ද, සෝ තැවුල් ද හට ගන්නේ ය. අපට අවශ්‍ය වනුයේ දර්ශනවාදයක් හෝ විශ්වාසයක් හෝ නො ව, නිදහස් සිතින් යුතු ව විමසීම ය; අනාවරණය කර ගැනීම ය; එ සේ ම නිර්මාණාත්මක වීම ය.

ඔබ විභාග සමත් වනු පිණිස බොහෝ වෙහෙස මහන්සි වී පාඩම් කරන්නෙහි යි. විස්තර, තොරතුරු රැසක් ද එකතු කොට ගන්නෙහි ය. ඉක්බිති ව උපාධියක් අත් කර ගනු පිණිස ඔබ ඒ සියල්ල ලියන්නේ, හොඳ රැකියාවක් ලබා පසු ව විවාහයක් ද කර ගැනීමේ අපේක්ෂාවෙනි. එහෙත් ජීවිතය යනු එපමණක් ද? ඔබ දැනුම හා ශිල්පීය හැකියාව අත් කර ගෙන ඇති නමුදු, ඔබේ මනස නිදහස් නැත. එබැවින් ඔබ මේ පවතින ක‍්‍රමයෙහි ම වහලෙකු බවට පත් වන්නෙහි ය.

එනම්, සැබැවින් ම ඔබ වනාහි නිර්මාණාත්මක මනුෂ්‍යයෙක් නො වේ. ඇතැම් විට ඔබට දරුමල්ලන් සිටිය හැකි ය; එ සේ ම ඔබ සිතුවම් කිහිපයක් ඇඳීම හෝ ඉඳහිට කවියක් ලිවීම හෝ කරනු විය හැකි ය.

එහෙත් නිසැකයෙන් ම නිර්මාණාත්මක වීම යනු එය නො වේ. පළමුවෙන් ම නිර්මාණාත්මක වනු පිණිස මනසෙහි නිදහසක් තිබිය යුතු ය. අනතුරු ව ඒ නිර්මාණකත්වය ප‍්‍රකාශ කරනු වස් ශිල්පීය හැකියාව භාවිතයට ගත හැකි ය.

එහෙත් නිර්මාණාත්මක මනසකින් තොර වූ ශිල්පීය හැකියාවෙහි කිසිදු අර්ථයක් නැත. පෙර නො වූ විරූ නිර්මාණාත්මක මනසක් පහළ වනුයේ සත්‍යය යනු කුමක් දැ යි අනාවරණය වීමත් සමඟ ය.

අවාසනාවකට මෙන් අපි බොහෝ දෙනෙක් මේ නිර්මාණාත්මක ස්වභාවය ගැන දැනුම් වත් ව නො සිටිමු. අපි දැනුමෙන්, සම්ප‍්‍රදායයෙන් හා මතකයෙන් බර වී සිටිමු. ශංඛරාචාර්යයන් හෝ බුදුරදුන් හෝ කාල්මාක්ස් හෝ වෙනත් ඇතැම් පුද්ගලයකු හෝ කර ඇති ප‍්‍රකාශයන් කර පින්නා ගෙන සිටිමු.

එහෙත් සත්‍යය හෙළි වනු පිණිස මනස නිදහස් ව පවතින විට, ඔබ වෙත නිරාවරණය වනුයේ ප‍්‍රඥාලෝකය ය; එය අතිශයින් ම ගැඹුරු ය. පිරිපුන් ය; නොකිලිටි ය. අනතුරු ව මිනිසුන්, අදහස් හා අනෙක් කවර දෙයක් සමඟ වුව පවත්නා ඔබේ සබඳතාවන් ප‍්‍රකාශ වනුයේ සහමුලින් ම වෙනස් අරුතකිනි.

1 comment:

  1. හරිම වටින අදහස් ටිකක්. ඉන් මා වඩාත් සිත් ගත්තේ
    "සිත හසුරුවන සම්ප‍්‍රදායයක් හා විශ්වාසයක් බවට දැනුම පත් වූ විට එය බාධාවක් වෙයි.
    සම්ප‍්‍රදායයක් බවට පත් ව ඇති විට, දැනුම යනු බාධකයකි, අවහිරයකි.
    දැනුම හානිකර වන අවස්ථාව හා එය බැහැර කිරීමත්, එය අවශ්‍ය වන විට හැකි උපරිම අයුරින් එහි දී එය කි‍්‍රයාත්මක වීමට ඉඩ හැරීමත් වනාහි ප‍්‍රඥාවෙහි ආරම්භය ය.
    අප කවරදාවත් මනස නිසල වන සැටිත්, ජීවිතයේ අවුල් වියවුල්වලින් හා ගැටලුවල මුල් විහිද ගිය විෂය භූමියෙන් ගැලැවෙන සැටිත් තේරුම් ගන්නේ නැත
    අවාසනාවකට මෙන් අපි බොහෝ දෙනෙක් මේ නිර්මාණාත්මක ස්වභාවය ගැන දැනුම් වත් ව නො සිටිමු. අපි දැනුමෙන්, සම්ප‍්‍රදායයෙන් හා මතකයෙන් බර වී සිටිමු."
    ස්තුතියි ඔබට.

    මැණික්(සුළඟ)

    ReplyDelete

Related Posts with Thumbnails Related Posts with Thumbnails