Friday, June 25, 2010

සියුමැලි දැතින් සියොළඟම තලා සම්බාහනය කරගන්න !

 salon

සක්‌විති රාජයෙකුට පවා එක්‌තරා අවස්‌ථාවකදී හිස නැමීමට සිදුවන බවත් ඒ අන් කවරෙකුටවත් නොව කරණවෑමියාට හෙවත් සම්මත බසින් කිවහොත් හිසකෙස්‌ කපන බාබර්ට බවත් අප කුඩා කල සිට අසා ඇති කියමනකි. සමහර රජවරු සහ රජවරුන්ගේ පුත්තු මෙන්ම කලාකාරයෝ, පත්තරකාරයෝ, ගායකයෝ, චණ්‌ඩි ආදී පුද්ගලයන් තම හිස කෙස්‌ දිගට වවන්නේ බාබර් කෙනකුට පවා හිස නමන්නට අකමැති නිසා දෝ දැයි මා නොදනිමි. කෙසේ වෙතත් බාබර්, කරණවෑමියා, සැලුන් අයියා, සැලුමා, බාබා, බාබු ආදී එකී නොකී නම් වලින් ඇමතෙන මෙම වෘත්තිකයා අද සමාජයේ බොහෝ අයට නැතිවම බැරි චරිතයක්‌ බවට පත් වී තිබේ.

තරු පහේ හෝටලයේ පටන් දහදිය ගඳ හමන ජනී ජනයා එහෙ මෙහෙ දුවන දුහුවිලි වළා උඩ නගින පදික වේදිකා දෙපසත් විවිධ මාදිලියේ බාබර්ලා සිටිති. සැලුන්, බියුටි සෙන්ටර්, ස්‌පා, හෙයා ඩ්‍රෙසින්, පාලර්, රූපලාවන්‍යායතන ආදී මොන නමින් හැඳින්වුවද මේ හැම එකකම වාගේ බාබර් කෙනෙකුගේ හෝ ඊට සමාන සේවයක්‌ කරන අයෙක්‌ මුණ ගැසිය හැක.

මගේ ජීවිතයේ මා විවිධ වර්ගයේ කරණවෑමියන් දැක ඇති අතර ඉන් බොහෝ දෙනෙක්‌ ගැන මට තාමත් මතකයේ පවතී. "ඇටසැකිල්ල වාගේ ඔටුන්න දාගෙන රාජ සභාවේ අසුන බලා... අපේ කැකිල්ලෙ ර-ජුරුවොයි මේ එන්නේ හිටපල්ලා නිස්‌සද්ද වෙලා." යන්න විකට ගීතයක්‌ වන අතර එහි කෑල්ලක්‌ වන "මොට්‌ටපාල උඹ වැරදිකාරයාද අබරන්ගෙ කණ කැපුවාට ඇත්ත නොකිව්වොත් කසෙන් ගහනවා පේන තුරා සඳ ආවාට" යනුවෙන් අසද්දී මොට්‌ටපාල

"මිනිහට හන්කිති කැවුනා, මිනිහ හිනා වී කලබල කෙරුවම දැලි පිහියට කන කැපුනා" යනුවෙන් දෙන උත්තරයත් ඇති ගීතය ඇසෙන විට ඕනෑම අයෙකුට එම සිදුවීමේ එන බාබර් චරිතය මනාව පරිකල්පනය වනවා ඇතැයි සිතේ.

බාබර්ලා ගැන විශ්ව සාහිත්‍යයේද ඉතා රසවත් කතා ඇත. වරක්‌ එක්‌තරා රජෙක්‌ කොණ්‌ඩය කපා ගැනීම පිණිස කරණවෑමියා වෙත හිස පාද්දී කරණවෑමියා දැක ඇත්තේ කුඩාවට අං දෙකක්‌ රජාගේ හිස දෙපැත්තෙන් මොටෙයියන් දෙදෙනෙක්‌ මෙන් මෝදු වෙමින් එන අපූරුවයි. ඔහු ඒ බව රජාට සැළ කර සිටි අතර රජතුමා කොණ්‌ඩය කැපීම එසැනින්ම නවතා දමා සැලුමාට කියා සිටියේ මෙය කාටවත් නොකියන ලෙසත් එසේ කීවොත් හිස ගසා දමන බවත් ය. කට විකිණීම හෙවත් මූණට හමුවන අයට ඔහේ තමන් දකින දෙය නිකන් කියවාගෙන යැම මෙම කරණවෑමියාගේ සිරිත නොවුණත්, ඔහු දුටු දේ කාට හෝ කියා හිතේ බරින් නිදහස්‌ වීමට අවශ්‍ය විය. එහෙයින් බාබර් තැන මේ බව අසල වනයක ඇති උණ පඳුරකට පමණක්‌ අපේ රජතුමාට අං තිබේ කියා කීප විටක්‌ පවසා ඇත. පසු කාලයක එක්නලා කාරයෙක්‌ වන වැදුන කල මෙම උණ පඳුර දැක ඉන් හොඳ ගස්‌ කීපයක්‌ කපා ගෙන බට නළා මිටියක්‌ තැනුවේය. ඔහු ඒවා අලෙවි කරන්නට පටන් ගත් අතර ඒ සෑම බට නලාවක්‌ම හඬන්නට වුණේ අපේ රජතුමාට අං තිබේ යන වදනින් හා තාලයෙනි.

මෙලොව කිසිම දිනක කිසිම රහසක්‌ සදාතනිකව සඟවන්නට නොහැක්‌කා සේ ම එම සිදුවීමෙන් පසු රජතුමාටත් නලා කාරයාටත් අන්තිමේ කරණවෑමියාටත් විඳින්නට වූ අපහසුතාවන් ගැන කීමට අවශ්‍ය නැතැයි සිතමි. තම්මැණ්‌නාවට ගොඩබට විජය ඇතුළු සත්සියයක්‌ වූ උත්තර භාරතීය හොර නඩයම හිසෙන් අඩක්‌ බූ ගා සිටි නිසා එකල ද ඉන්දියාවේ බාබර්ලා සිටින්නට ඇති බව උපකල්පනය කළ හැක. රෝමයේ විසූ යුදෙව් ජාතික පර්සිවරයෙක්‌ වූ පාවුල්තුමා බාරයක්‌ ඔප්පු කිරීම පිණිස තම හිස බූ ගෑ අවස්‌ථාවක්‌ ශුද්ධ බයිබලයේ සඳහන් වන නිසා මෙයට වසර දෙදහකට පෙරත් මැදපෙරදිග බාබර්වරු සිටිය බව කිව හැක.

මෙතෙක්‌ කීවේ සාහිත්‍යයේ එන කරණවෑමියන්ගේ කතා වුවද ඇත්ත ලෝකයේ ජීවත්වන කරණවෑමියන්ගේ හෝ බාබර්ලාගේ ජීවිත කතා මෙයට බොහෝ වෙනස්‌ ය. සමහර ඒවා රසවත්ය. හරවත්ය. අසන්නට සතුටුය. තවත් ඒවා දුඃඛාන්තය අමිහිරිය. අපුලය. අසන්නට රිසියක්‌ ඇති නොවේ. වසර ගාණක්‌ තිස්‌සේ මෙකී නානා විධ බාබර්ලා දෙස විමසුම් නෙතින් බලා සිට අවස්‌ථාවක්‌ ලද ඇසිල්ලේ ඒ අය ගැන මෙලෙස ලියන්නේ ඔවුන්ට අවමන් කරන්නටවත්, ගරහන්නටවත් සමාජය තුළ අමුතු චිත්‍රයක්‌ මවා පෙන්වන්නටත් නොව, ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීමටයි.

කුඩා කාලයේ අපේ කොණ්‌ඩය කපනු පිණිස අප්පච්චී විසින් සෑම දෙසතියකටම වරක්‌ තම බයිසිකලයේ පිටුපස වාඩ්කරවාගෙන, අපව බාබර් සැලුනයක්‌ වෙත රැගෙන යයි. අසරණ කුඩා අපට එකල දැන් මෙන් තෝරා ගැනීමක්‌ හෝ විකල්පයක්‌ නැත. උඩ තට්‌ටුවක තිබූ සැලුනයේ ඇල්බඩ් අංකල් කියන විදිහට අපි උස ලී පුටුවේ වාඩිවිය යුතුය. පැත්ත හැරිය යුතුය. හිස නැමිය යුතුය. ඔහුට අපේ දුක නොතේරෙයි. අපට සවන් නොදෙයි. නමුත් අප්පච්චී දෙන විධානය අනුව ඔහු අප සැමට සේවය ලබා දෙයි.
" ඇල්බඩ් හොඳට කොට වෙන්න කපන්න ඕන. ශිෂ්‍ය කට්‌ එකක්‌ දෙන්න මේ පොඩි උන්ට මොන ස්‌ටයිල්ද?" මේ අප්පච්චීගේ අණසකයි. ඒවා මටයි අයියාටයි මෙන්ම නංගීට ද පොදු ය.

අප කළ යුත්තේ කීකරු වීම පමණි. ඊට වසර කිහිපයකට පසු සැලුන් එක වෙත අපව ගෙන යැම නැවැත්වූ අප්පච්චී නිවසටම බාබර් කෙනෙක්‌ ගෙන එන්නට කටයුතු කළේය. ඒ එන බාබර්ලාට අප මාමා කියා ඇමතුවේ කුමනාකාරයෙන් නෑයන් වන නිසාද නොදනිතත්, ඔවුන් විනෝදබර, කරුණාවන්ත අය වූ නිසාය. අපේ ගෙදර බාබර් සැලුන හෝ උස පුටු නොතිබූ නිසා පියා මාමා හෝ පෙටු මාමා අපව වාඩි කරන්නේ සමහර විට මිරිස්‌ ගල උඩය. නැත්නම් වංගෙඩිය මත කොට්‌ටයක්‌ තබා ඒ මතය. එසේත් නැත්නම් ළිඳ අසල ඇති වතුර ටැංකියේ ගැට්‌ටක්‌ මතය. කොහේ වාඩි කළත් ඔවුන් දෙන්නේ අර කී පැරැණි කට්‌ එකමය. පොලිස්‌ කට්‌, ආමි කට්‌ එකක්‌, නෝට්‌ එකට ගාල පනිශ්මන්ට්‌ කට්‌ එකක්‌ ආදී වචන අද මෙන්ම එදත් තිබුණි. මා දන්නා පරිදි මට මෙන්ම තව බොහෝ අයට ද මෙවැනි අත්දැකීම් නැති වන්නට බැරිය.

නව යොවුන් වියට එළඹෙද්දී බොහෝ තරුණ කොටස්‌ පාසල් යනවා හැරුණු විට තනියම ගෙදරින් එළියට බහින අන් කාරණය වන්නේ කොණ්‌ඩය කපා ගැනීම සඳහා බාබර් සැලුනයක්‌ වෙත යැමයි. ඒ විශේෂයෙන් ම තනිවම ගොස්‌ කොණ්‌ඩය කපා ගෙන යළි යහතින් ගෙදර එනවා යනු ඔවුනට මහ වීර ක්‍රියාවකි. ඉතින් ඔවුන් කළේ කොණ්‌ඩ කැපීමේ ක්‍රියාවලියේ විවිධත්වයන් සොයා නානා විධ සැලුන් සොයා යැමයි.

මා තරුණ වියේ මුණ ගැසී ඇති බාබර්ලා අතරින් බහුතරයක්‌ දෙනා ගැන එතරම් පැහැදීමක්‌ මා තුළ තිබුණේ නැත. ඇල්බඩ් අංකල්, පෙටු අංකල්, වැනි අය වැදගත් මහත්මා ගති ඇති අය බව කිව හැක. කෙසේ වෙතත් බහුතරයක්‌ දෙනා කිසි තෙතමනයක්‌ නැතිව උඩඟු ගති ඇති කතා බහ අඩු අපිරිසිදු දහදිය ගඳ ගහන අයයි. වැඩි දෙනා ලොකු බුලත් හපයක්‌ නිතර කටේ ඔබාගෙන සිටී. සමහරු සිගරැට්‌ උරමින්ම කොණ්‌ඩය කපයි. සමහර බාබර්ලා කතුරෙන් හිසට අනිති. නිකටෙන් අල්ලා රිදෙන්නට මුහුණ ඒ මේ අත හරවති. කන අයින ගාව දැලි පිහියෙන් කපති. පනාවෙන් හිස පීරන්නේ හරියට රේක්‌කයෙන් කුණු අදිනවාටත් වඩා බර දමාය.

කොණ්‌ඩය කපන්නට ගිය කල්හි කොල්ලන්ට සිගරට්‌ පොවන්නට පෙළඹවූ බාබර්ලා ගැන අසා ඇත්තෙමි. එමෙන්ම සමහර කොල්ලන් ගංජා උරන්නටත්, අරක්‌කු බොන්නටත් තම තිඹිරිගෙය කර ගත්තේ නගරයේ බාබර් සැලුන් ය. සමහර සැලුන් එකල කළු පැල්ලම් සහිත නරක වැඩ සඳහා කුප්‍රකට වැඩිහිටියන්ට පමණයි යන ලේබලය යටතේ පැවැති ස්‌ථානයි. උසස්‌ පෙළ කොල්ලන් සිගරට්‌ උරන්නේ, වල් පත්තර බලන්නේ පන්ති කට්‌ කර ඇවිත් මඳක්‌ නිදා ගන්නේ පික්‌චර් බලන්න යැම සඳහා පාට කලිසම් කමිස මාරු කරන්නේ මෙම සැලුන් ඇතුළට වැදීය. දඩබ්බර කොල්ලන් මොන වැරදි කලත් බාබර් අයියා අහිංසකය. ඔහු කරන්නේ ඔවුනට බැණ වැදීම සහ අවවාද කිරීම පමණි. ලොකු මහත්තයා එනම් ප්‍රින්සිපල් හෝ කාට හෝ පැමිණිලි කරන බවට කෙතරම් තර්ජනය කළද කිසි දිනක බාබර් අයියා එසේ නොයන බවත්, එසේ නොයැමට හේතුව ඔවුනට බය නිසාවත්, ආදරය නිසාවත් නොව, සැලුන් එක තනිකර දමා ඔහු ගිය හොත් තත්පර කීපයකින් කොල්ලන් රැල මුළු බාබර් සාප්පුවම ශුද්ධ පවිත්‍ර කරන බව ඔහු අතැඹුලක්‌ සේ දන්නා නිසාය.

බාබර් අයියාගේ සැලුන් එකට පෙර මා කියමින් සිටියේ කොල්ලන්ට වැරදි කරන වරදට පොළඹවන සැලුමන්ලා ගැනය. එදා උන් එමටව සිටියද දැන් බාබර්වරු නම් එසේ නැතැයි සිතමි. එදා මෙන් වයසක හා මැදිවියේ අය නොව අද සිටින්නේ බොහෝ තරුණ. දැන උගත් පිරිසිදු කරණවෑමියන්ය නමුත් ඒ අය අතර ද විවිධ මානසික රෝග, අසම්මත චර්යා හෝ ඇබ්බැහිකම් ඇති අය සිටිති.


බාබර් සාප්පුවට සැලුන් එක යයි කියන්නට පටන් ගන්නට ඇත්තේ ඇමරිකාවේ ගොපළු කොල්ලන් තැක්‌ ගැහුණු, මත්පැන් බොන්නට ආ අවන්හල් වැනි ස්‌ථාන මෙන් බාබර් සාප්පුවලද මිනිසුන් පරක්‌ වෙන්නට නැඹුරුවක්‌ දක්‌වන නිසා විය යුතුය. සැලුන් දොර යනු කව්බෝයි චිත්‍රපටවල දැක ඇති පළු දෙකේ වවුල් තටු මෙන් ඇති ලී රාමුවකට වීදුරු සවි කරන ලද දොර පියන් ය.

අදටත් ඕනෑම සාමාන්‍ය පංතියේ සැලුනයක පොදු පනාවක්‌ හෝ බ්‍රෂ් එකක්‌ සහ තරමක මුහුණ බලන කණ්‌නාඩියක්‌ සාප්පුවට ඇතුළු වන තැනම එල්ලා ඇත්තේ සමාජ සේවයක්‌ වශයෙනි. හදිසියේ වැදගත් ගමනක්‌ සෙට්‌ වන අයකුට හෝ කෙල්ලක්‌ බලන්නට යැමට ඇති කොල්ලෙකුට තම කොණ්‌ඩය පීරා ගන්නට හෝ කලිසමෙන් උඩට මතුවන කමිසය මනාව යට කර ගන්නට මෙම පොදු කණ්‌නාඩිය සහ පනාව මනාව උපකාරී වෙයි. සමහර තැන්වල පවුඩර් ටින් එකක්‌ සහ ඡෙල් බෝතලයක්‌ ද තබා ඇතුවා සේ ම තවත් සමහර තැන්වල මෙහි කලිසම් යට කිරීම තහනම් හෝ නිකරුණේ වැඩිවෙලා රැඳී සිටීම තහනම් කියා ද පුවරු ගසා තිබේ.

ගමේ මෙන්ම නගරයේද සමහර අය බාබර් සාප්පුවට එන්නේ කොණ්‌ඩය කපා ගැනීමට මෙන්ම පත්තරය කියවීමටත් ය. දිනපතා පුවත්පත් මල් පත්තර සහ චිත්‍රකතා පත්තර බාබර් සාප්පුවල දක්‌නට ඇත. සමහර බාබර් සාප්පු යනු ඕපාදූප දොඩන පොදු විශ්‍රාම ශාලා ලෙස ද පවතී. දැන් පවතින බොහෝ බාබර් සාප්පුවල දැලි පිහි හෝ ටික්‌ ටික්‌ මැෂින් දක්‌නට නැත. ඒ වෙනුවට ඔවුන් පාවිච්චි කරන්නේ බ්ලේඩ් තලයක්‌ දෙකට කඩා ඉන් බාගයක්‌ දමන දිග හැඬල් එක සහිත යකඩ රේසරයකි. එක්‌ අවස්‌ථාවක්‌ පමණක්‌ පරිහරණය කර ඉවත දමන මෙම ක්‍රමයෙන් ඒඩ්ස්‌ වැනි රෝග ප්‍රවාහක අවස්‌ථා මඟ හැරෙන බවත්, ආරක්‍ෂාකාරී බවත් ඔවුන් විශ්වාස කරති.

අද කාලයේ බොහෝ සැලුන් වල යුනිසෙක්‌ස්‌ කියා බෝඩ් ගසා ඇත්තේ ඒවා තුළ ගැහැනු පිරිමි දෙපාර්ශ්වයේ අයටම සේවා සපයන බව කියා පෑමටයි. මා දුටු පරිදි පිරිමින්ගේ කොණ්‌ඩා කපන ගැහැනු (ලස්‌සන තරුණ ගැහැනු) මෙන්ම තරුණ මහලු වැඩිහිටි ගැහැනුන්ගේ කොණ්‌ඩා කපන, ඩයි කරන, ඇහිබැමි හදන පිරිමි බාබර්ලා ද සිටිති. ඒ කාලයේදී මෙන් අද එහි වරදක්‌ කිසි කෙනෙක්‌ දකින්නේ නැත. විවේචන ද නැත.

කිසි ගානක්‌ නැතිව කෙල්ලෝ කොල්ලන්ගේ ද කොල්ලො කෙල්ලන්ගේ ද කොණ්‌ඩා අතගාති. රැවුල් කපති. හිස්‌ මසාඡ් කරති. උරහිස්‌ තෙරපති. අවශ්‍ය නම් සියොළඟම තලා පොඩි කරන සම්බාහනය කරන ස්‌පා හෙවත් මසාඡ් - ක්‌ලිනික්‌ ද අද ඕනෑම නගරයක පාහේ දකින්නට ඇත. වයසක පිරිමියකු ගාවට හෝ හැඩිදැඩි තරුණයකු ගාවට පැමිණ කොණ්‌ඩය රැවුල කපා ගෙන නර කෙස්‌ ටික කලු කර ගැනීමට වඩා සියුමැලි තරුණියක්‌ වෙත ගොස්‌ ඇගේ මට සිලිටු දෑඟිලිවල ස්‌පර්ශය ලබන්නට කැමැත්තෝ මදක්‌ වැඩියෙන් ගෙවා හෝ ඒ ආසාව ඉටුකර ගනිති.

අද කාලයේ පිරිමින් කොණ්‌ඩය කැපීම රැවුල බෑම හිසකෙස්‌ කළු කිරීම මසාඡ් එකක්‌ ගැනීම ආදී දේ සඳහා බාබර් සැලුන් එකක්‌ වෙත එද්දී ගැහැනුන් හා තරුණියන් එන්නේ කොණ්‌ඩය මඳක්‌ ඉස්‌සරහින් කපා ගන්නට ඇහිබැමි නූලෙන් ගලවා ගන්නට (ත්‍රෙඩින් එකක්‌) ෆේෂල් එකක්‌ හෙවත් මුහුණට සාත්තුවක්‌ කර ගැනීමට සුදුසු වන කෙස්‌ වලට විවිධ වර්ණ ගා ගැනීමට හෙනා සාත්තුවක්‌ දැමීමට රැවුල් කෙස්‌ වැනි මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීමට ආදී දේටයි.

නාගරිකව ජීවත් වන තරුණියන් සහ ගැහැනුන් මේ සඳහා තමාට හිතවත් විශ්වාසවන්ත ස්‌ථාන තෝරා ගෙන සිටිති. රූපවාහිනී නාලිකාවල පෙන්වන එක්‌ එක්‌ ගස්‌ යටට එන ඇතැම් රූපලාවන්‍ය ශිල්පීන් අය කරන සුපිරි මිල ගණන් දරන්නට නොහැකි නිසාත්, ඒ වැඩේම සාමාන්‍ය බාබර් සාප්පුවකින් කර ගත හැකි නිසාත් ගැහැනුන් හුරු පුරුදු සරළ ස්‌ථාන සොයා යති. සමහර අය සතිපතාත්, තවත් සමහරු මාසිකවත් මෙසේ පැමිණෙන බව දැන ගන්නට ලැබිණි.

"මං ගාවට මාසයකට එන රෙගියුලර් කස්‌ටමර්ලා සීයක්‌ විතර ඉන්නවා. මගේ පසුගිය කාලෙට මං කොණ්‌ඩ රැවුල් කපල ඇති පනස්‌දාහක විතර. අපි කපන්නෙ බාගෙට බාගේ. ඒ කියන්නේ දවසට ලාච්චුවට වැටෙන මුළු මුදලින් බාගයක්‌ මට ඉතිරි බාගේ බොස්‌ට. ඒ කියන්නේ අයිතිකාරයා. එයා ඒකෙන් තමයි බ්ලේඩ් ගන්නේ. ඡෙල් ගන්නෙ. කඩ කුලී එහෙම ගෙවන්නෙ. මං මාසෙට විසි දාහක්‌ විතර ගන්නව. සමහර දාට දෙදහ පන්නන අවස්‌ථාත් තියෙනවා.

ඒත් අතේ ඉතිරියක්‌ නැහැ. කාලා බීලා බස්‌සෙකේ ආවම සල්ලි ඉවරයි.

ඒ තාලෙට කෙල්ලෙක්‌ මෙන් ඇද පැද කතා කරන ස්‌ත්‍රි ගති ලක්‍ෂණ ඇති චූටිගේ අදහසයි. ඔහු වරෙක ඇත්තටම හුරුබුහුටි කෙල්ලක මෙන් අත පය දැඟිලි ආදිය ද එසේමය. ඔහු නියපොතු පාට කරයි. ඇස්‌ බැමි සිහින් කරයි. කෙල්ලක්‌ මෙන් ඇඟට හිර ඇඳුම් අඳියි. චූටි මෙන්ම අද සිටින බහුතරයක්‌ යොවුන් කොණ්‌ඩා මෝස්‌තර ශිල්පීන්ගේ ස්‌වභාවය මෙසේය. ස්‌ත්‍රී ගති ඇති නපුංසක අය යෑයි සමාජය අමතන මෙවැනි පිරිස්‌ අද වැඩි ආසාවක්‌ දක්‌වන්නේ පිරිමින්ගේ, ගැහැනුන්ගේ කොණ්‌ඩා මුහුණ අතපත ගාන ඇඟේ වැදෙන සියොළඟ ස්‌පර්ශ වන බාබර් රස්‌සාව කරන්නය. තායිලන්තයේ, පිලිපීනයේ, සිංගප්පූරුවේ, මාලදිවයිනේ මෙන්ම සුලබව තායි මසාඡ් ෆුට්‌ මසාඡ් ශෝල්ඩර් මසාඡ් අප රටේ නැතත් අවශ්‍ය අයට ඒවා සැනින් සපයා ගත හැකිය.

"මගේ සැලුන් එකේ දෙගොල්ලන්ගෙම කොණ්‌ඩ කපනව. හැබැයි අපි ගාවට වැඩිපුරම එන්නේ ගැහැනු. මගේ බිරිඳ තමයි කාන්තා අංශයේ කොණ්‌ඩා කපන්නේ. දැන් මේ දවස්‌වල එයා බබා හම්බ වෙලා ගෙදර නිසා මට තමයි දෙකම බලන්න වෙලා තියෙන්නේ. අලුතින් ගෑනු ළමයෙක්‌ ගත්තත් අපට එන නෝනල වැඩිය කැමති මට කියල කොණ්‌ඩෙ හදා ගන්නයි. ඇහිබැම වගේම හෙඩ් මසා- එකක්‌ ගන්නයි මාත් ඉතින් කස්‌ටමර්ලා පිට යන නිසා අකමැත්තෙන් හරි කරල දානවා."

ඒ බිංදුගේ ප්‍රකාශයයි. ඔහුගේ සැලුනයේ ඇති කාන්තාවන් සඳහා තිරයකින් වෙන් කර ඇති කුඩා කාමරයට තනි ඔහු හිටියත් ගැහැනුන් සහ කෙල්ලන් කොණ්‌ඩ සකසා ගැනීමට එන්නේ තනිකරම විශ්වාසය මතයි. ඉතා රූමත් තරුණියන් මෙන්ම වැදගත් නෝනලා ද මෙහි පැමිණ බිංදුගේ සේවය ලබා ගනියි.


ලෝයර් නෝනල ටීචස්‌ලා ටයිපිස්‌ට්‌ලා වගේ වැදගත් නෝනල වගේම අපිරි සුපිරි ගණිකාවොත් මා ගාවට එනව. ඒ ඕනෑම අයෙකුට මං සලකන්නෙ එක වාගෙයි. වැඩිපුරම එන්නේ මහත්තුරු රට ගිය නෝනල. ඒ අයට ඕනෑ අලුත්ම ස්‌ටයිල් කරන්න.

බිංදු කියන පරිදි හෙඩ් මසාඡ් - කරගන්න වැඩියෙන්ම කැමති මැදිවියට ආසන්න, තරමක මුදල් හදල් ඇති කාන්තාවන් ය. ඔහුගේ තෙල් මුසු වුණ හැඩි දැඩි දැඟිලි මැෂිමක්‌ මෙන් කෙස්‌ අතර ඒ මේ අත යමින් හිස්‌ කබල තෙරපන විට ඒ හිස අයිති කාන්තාවන් හොඳ හැටි හරිබරි ගැසී පුටුවක වාඩි වී දෙනෙත් පියවාගෙන තෙල් තොල් සහිත කෙළ බිඳක්‌ වැගිරෙන මුව මඳක්‌ විවර කර ගෙන පුදුමාකාර ආස්‌වාදයක්‌ ලබති. නොකීවට, නොලීවට තවත් මෙවැනි සිදුවීම් රාශියක්‌ මා අසා ඇත්තෙමි.

රොබා හෙවත් රොබට් යනු මා හොඳින් දන්නා තවත් දක්‍ෂ බාබර් කොල්ලෙකි. ඔහු මේ වන විට බාබර් සැලුන් අනූවකට වඩා වැඩි ප්‍රමාණයක වැඩ කර ඇත. මත් ලෝලියකු වන රොබා වසරේ වැඩි කාලයක්‌ ඉන්නේ හිර ගෙවල්වලය. විශේෂයෙන්ම පල්ලෙකැලේ වටරැක, බූස්‌ස, කුරුවිට වැනි එළිමහන් වැඩ කඳවුරුවල හා පුනරුත්ථාපන කඳවුරුවලය. ඒ කොතැන ගියත් ඔහු පනාවයි කතුරයි අත නොහරියි. ඔහුට හැම හිර ගෙදරකම නිතැතින්ම ලැබෙන්නේ බාබර් පාටියයි. බන්ධනාගාරයේ ඉන්නා ඕනෑම මහත්තයෙක්‌ කිසි බයක්නැතිව හොඳ හෙයාර් කට්‌ එකක්‌ සඳහා විශ්වාසවන්තව හිස පාත්කරන එකම බාබර් රොබා බව සිරකරුවන් අතර ජනප්‍රිය මතයක්‌ පවතී. දඬුවම් කාලය නිම කොට නිදහස්‌ව එළියට එන රොබා තමාට වැඩ කරන්නට බාබර් සැලුනයක්‌ ලැබුණේ නැත්නම් නිකන් උඩ බලාගෙන ඉන්නේ නැත. ඔහු කතුරයි පනාවයි ඉනේ ගසා ගෙන ඩෙනිමකින් සහ ටී ෂර්ටයකින් සැරසී ජනාකීර්ණ මුඩුක්‌කු හා වතු සහිත නිවාස අතරට බහී. ගසක්‌ යට කාගෙන් හෝ ඉල්ලා ගන්නා පුටුවක්‌ තබා ගන්නා ඔහු තම ජංගම සැලුනය අරඹා එතුළින් වරුවකට කොණ්‌ඩා විසිපහක්‌ තිහක්‌ කපා හොඳ ගාණක්‌ සාක්‌කුවේ දමා ගනී.

හොඳ රොක්‌ ගායකයකුගේ නැටුමට හපනෙක්‌ අභිරූපන ශිල්පියෙක්‌ හා විනෝදකාමියෙක්‌ වන රොබාට කොණ්‌ඩය කැපීමට අනම් මනම් මැෂින්, දැලිපිහි, බ්ලේඩ් ආදිය අවශ්‍ය නැත. ඔහු උපයෝගී කර ගන්නේ පනාව, වතුර සහ කතුර පමණි. සමාජය ඔහුට කියන්නේ ලෝකල් මයිකල් ජැක්‌සන් කියා ය. හිර ගෙදරද රොබා හැර අන් බාබර්ලා එමට ඇත.

සෑම බන්ධනාගාරයකම වාගේ රැඳවියන්ගේ කොණ්‌ඩා කපන්නේ පුහුණු හා නුපුහුණු සිරකාර බාබර් පාටිකාරයන් විසිනි. මෑතකදී මා බන්ධනාගාරයට ගිය විටෙක නිකමට එහි සැලුන් එකට ගොඩ වැදුනෙමි. කඩියන් දෙදෙනකු මෙන් කඩිසරව හිරකාරයන් දෙදෙනෙක්‌ තව රැඳවියන් දෙදෙනකුගේ කොණ්‌ඩය කපයි. ඔවුන් මා දෙස බැලුවේවත් නැත. මා අවට සිසාරා බැලුවෙමි. බිත්ති හතර පුරාම අලවා ඇත්තේ පත්තරවලින් කපා ගන්නා ලද වෛවර්ණ පින්තූරය. ඉන් වැඩිහරියක්‌ම ඇත්තේ නග්න හා අඩ නිරුවත් ගැහැනු රූපය. මෙවැනි රූප දිහා බලාගෙන ඔවුන් කෙසේ දැලි පිහි කතුරු වලින් වැඩ කරනවාද යන්න යමෙකුට නොසිතුණොත් එය පුදුමයකි.

වරක්‌ ජනාකීර්ණ වත්තක ඇති බාබර් සාප්පුවකින් කොණ්‌ඩය කපන්නට ගිය මා මිතුරු කලූට අපූරු සිදුවීමකට මුහුණ පාන්නට වී ඇත. එදා ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන වැදගත් එක්‌දින ජාත්‍යයන්තර ක්‍රිකට්‌ තරගයක්‌ රූපවාහිනිය ඔස්‌සේ ප්‍රචාරය කරමින් තිබී ඇත. නව යොවුන් තරුණයෙක්‌ කොණ්‌ඩය කපන්නට බාර ගත් අතර මඳ වේලාවකින් ක්‍රිකට්‌ තරගයේ උච්චතම අවස්‌ථාවක්‌ එම සාප්පුවේ සොල්දරයෙන් ඇසී ඇත. එය බලන්නට උඩු මහලට ගිය තරුණයා නැවත පහළට පැමිණීම ප්‍රතික්‍ෂේප කරමින් දිගටම තරගය බලන්නට වූ අතර, ඔහුගේ පියා පහළට පැමිණ කලූගේ කොණ්‌ඩයේ ඉතිරි කොටස කපා නිම කර ඇත. මෙවැනි සිදුවීම් තව බොහෝ එසේ සිදුවන්නේ සියල්ල දන්නා ලොකු මිනිහා වගේ වැඩක්‌ බාර ගෙන එය අතරමඟදී අනා ගන්නා විටයි. එවිට කාගේ හෝ ප්‍රවීණයකුගේ සේවය ලබා ගැනීමට සිදුවෙයි.

ආධුනික රූපලාවන්‍ය ශිල්පිනියක මට මුණගැහෙන්නේ පසුගිය මාසයේදී අංගොඩ මානසික රෝහලේදීය. (ඇය නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගිනියක්‌ නොවේ.) ඇය තව මිතුරියන් කීපදෙනෙක්‌ සමඟ එදා අංගොඩ රෝහලයට පැමිණ ඇත්තේ රෝගීන්ගේ කොණ්‌ඩය කපා දීමටයි. ඇය අවට විවිධ මට්‌ටමේ මානසික රෝගීන් පහළොවක්‌ පමණ රැඳී සිටිනු මම දුටිමි. සමහරු එතැන කැරකුණේ දෙවැනි වරටත් ඇගේ සුකුමාල අතින් කොණ්‌ඩය කපා ගැනීමට දැයි මට සිතුණි. අපිරිසිදු ඇඳුම් සහ දුගඳ හමන සිරුරු ඇති හැඩි දැඩි පිරිමි රෝගීන්ගේ හිසකෙස්‌ කපන්නට මෙසේ අමාලි සහ මිතුරියන් අංගොඩ රෝහලට එන්නේ අරමුණු තුනක්‌ ඉටුකර ගැනීමටය. එකක්‌ තමා රූපලාවන්‍ය සහ කොණ්‌ඩා කැපීම ඉගෙන ගන්නා වෘත්තීය පුහුණු ආයතනයෙන් ප්‍රායෝගික පුහුණුව සඳහා ඔවුන්ව මෙහි යොමු කරන නිසාය. දෙවැන්න ඇත්තටම ඔවුන්ගේ අත හුරු කර ගැනීමට ඇති හොඳම තැන මෙතැන නිසාය. මන්ද කට්‌ එක වැරදුනත් ඒ බව කීමට හෝ රණ්‌ඩු කර අලාභ ඉල්ලීමට මානසික රෝගීන් කිසිවිට උත්සාහ නොකරන නිසාය. අමාලිට අනුව තුන්වැනි කරුණ නම් නොමිලේ කරන මෙම සේවය නිසා අසරණ රෝගීන්ගෙන් ලැබෙන ස්‌තුතිය සහ ඉහළින් ලැබෙන පින් නිසාය.

" අක්කේ අපි අංගොඩ වගේම ළමා නිවාසවලට අනාථ නිවාසවලට වැඩිහිටි නිවාසවලට එහෙම ගිහින් නොමිලේ කොණ්‌ඩ කපල අත හුරු කර ගන්නවා. කොණ්‌ඩා දාහක්‌වත් කැපුවොත් තමයි අපේ බය ඇරෙන්නේ."

මානසික රෝහල් ළමා නිවාස සහ වැඩිහිටි නිවාසවල කොණ්‌ඩ කැපු අමාලිට දැන් තවත් අලුත් (දොරක්‌) ස්‌ථානයක්‌ විවර කර දීමට මම ක්‍රියා කළෙමි. ඒ පුනරුත්ථාපන සහ වෘත්තීය පුහුණු කඳවුර තුළ සිටින නේවාසිකයන්ගේ හිසකෙස්‌ හා රැවුල් කැපීමේ සේවයයි. මේ වන විට ඇය දෙවරක්‌ අප පුනරුත්ථාපන මධ්‍යස්‌ථානය වෙත ගොස් ඒ පුණ්‍යකර්මයට දායක වී ඇත. ඉදිරියේදී මා ඇයව තවත් පුනරුත්ථාපන මධ්‍යස්‌ථාන කීපයක්‌ වෙත යොමු කරන්නට බලාපොරොත්තු වෙමි. ඒවාට යැමට පෙර මගේ කොණ්‌ඩය කපා දීමට තමා ආසාවෙන් සිටින බව ඊයේ උදේ ඇය මට දුරකථනයෙන් පවසා සිටියාය.

2 comments:

  1. ඔයාගෙ ලිපිය ඉතා හොඳයි...
    මම අහන්නම හිටියෙ... ඔයා මිත්‍ර ශ්‍රී කරුණානායක ගෙ කෙනෙක් ද ..?
    මොකද එතුමාගෙ රචනා ශෛල්‍යය එහෙම පිටින්ම මේ ලිපියෙ තියෙනවා.
    සමහර විට එයාම අන්වර්ථ නාමයකින් ලියනව වෙන්නත් පුලුවන් ....
    කොහොම උනත් ඔබට ජය.

    ReplyDelete
  2. කරණවෑමියන් ගැන ලියපු වටිනා කියන ලිපියක්. කරුණු හොඳින් විග්‍රහ කරලා තියෙනවා.............

    ReplyDelete

Related Posts with Thumbnails Related Posts with Thumbnails