Saturday, June 19, 2010

මෙසේ මිය ගියවුන් ගේ ආත්මය වැද්දන් හඳුන් වන්නේ 'හේතා' නමිනි.

බින්තැන්නේ වන ගැබ තුළ තැනින් තැන ජනාවාස පිහිටුවා ගෙන දිවි ගෙවූ ගැමියන් ගේ ජන ජීවිත වෙනත් විදේශීය හෝ ප‍්‍රාදේශික සංස්කෘතික ප‍්‍රවාහයන්ට ලක් නො වී ස්වාධීන ව කාලයක් තිස්සේ වර්ධනය වූ හෙයින්, බින්තැන්නේ ජන සංස්කෘතිය කෙරෙන් මෑතක් වන තුරු ම දේශීයත්වයේ ලක්ෂණ දක්නට ලැබිණි. ඉපැරැණි ජන සමාජයේ දුරාතීතයේ සිට පැවැත ආ මේ සංස්කෘතික ලක්ෂණ කෙරෙහි බෞද්ධ සංස්කෘතික බලපෑම් සිදුවුයේ ද ඉතා මඳ වශයෙනි. ලාංකික සංස්කෘතියේ ප‍්‍රාග් ඓතිහාසික ලක්ෂණ පෙන්නුම් කරන ආදි බින්තැන්නේ වැසියන්ගේ ඇදහීම් රටාව, ආහාර රටාව හා ඇවැතුම් පැවැතුම් ඇතැම් විට සිංහල ජාතියේ ආරම්භයට පෙර සිට මෙරට පැවැති ලාංකික ජන සමාජයේ ඇවතුම් පැවැතුම් වල ලක්ෂණ වශයෙන් හැඳින්විය හැකි ය.

වන ගැබ තුළ කුඩා ගම් පිහිටුවා ගෙන දිවි ගෙවූ ඔවුන් ගමේ ගෙදර දීත් හේනේ කුඹුරේ දීත්, දඩ බිමේ දීත්, නාන තොටේ දීත් එදිනෙදා කටයුතුවල නිරත වූයේ පරිසරය ආශි‍්‍රත කි‍්‍රයාකාරකම්වලට නතු වෙමිනි. ඔව්හු පරිසරය දෙවියන් යකුන් ලෙස සලකා මහත් ගරු සරු

දක්වමින් පරිසරයට යටත් පහත් ලෙස සිය දිවි පැවැත්ම සකසා ගත් හ. ඔවුන් වන ගැබෙහි දී මෙන් ම, ගඟේ, ඇළේ, නාන තොටේ දී ද හැසුරුණේ එක්තරා පරිසර හිතකාමී චර්යා රටාවකට අනුව ය.

ඔවුන් ගස් ගල්වලට, දිය කදුරුවලට පුද සත්කාර කළ අන්ධ විශ්වාසයෙන් යුතු මෝඩ මිනිස් කොටසක් හැටියට සෙසු ජනයා විසින් පහත් කොට සලකනු ලැබුව ද, ඔවුන් ගේ ජන ජීවිතයේ ඇවැතුම් පැවතුම් සමුදායයෙහි වූයේ පැවැත්මට අවශ්‍ය පරිසර හිතකාමි නීති රීති මාලාවකි. ඒවා නීති රීති වශයෙන් නො ව, විශ්වාස හැටියට සුරැකිය යුතු සම්ප‍්‍රදායයන් බවට පත්ව තිබිණි.

කිසිදු හේතුවක් නිසා බින්තැන්නේ ඇත්තෝ අතු පතර විදහා ගත් නුග, බෝ, කුඹුක්, තිඹිරි, නා, වැනි ගස් වර්ග නො කපති. ගස් පමණක් නො ව, ඒවායේ අත්තක් පවා නො කපති. හේන් ඇල්ලීමේ දී මෙවන් මහ වෘක්ෂයන් නැති වනපෙත් තෝරා ගැනීමට ඔව්හු යුහුසුලු වෙති. බින්තැන්නේ ඇත්තෝ පරිසරයට මහත් බියක් මෙන් ම, භක්තියක් දැක්වූ හ. තමා හට පැමිණෙන විපත් ලෙඩ රෝග ආදිය සිදුවන්නේ මේ ගස් ගල්වලට ආරූඪ ව වෙසෙන යක්ෂයන් දේවතාවුන් උදහස් වීමෙන් හෝ නෑ යකුන් උදහස් ස;මන් යැයි සලකන බින්තැන්නේ වැසියෝ ගහ කොළවලට, ගංගා ඇළ දොළවලට ළිං කදුරුවලට අබමල් රොනක්වත් හානියක් නො කළ හ.

මිය ගිය නෑයන් යක්ෂයන් බවට පත් ව තමනට කරදර කරතැ යි බියෙන් පසු වන මොවුහු මිය ගිය නෑ හිත මිතුරන් ගේ ආත්මයන් දේවත්යට හෝ යක්ෂ ආත්මයන් බවට පත් වූ බව විශ්වාස කොට පුද සත්කාර කරති. මේ හේතුවෙන් ලංකාවේ වෙනත් ප‍්‍රදේශවල නැති නෑයකුන් ඇදහීමේ රටාවකි. බින්තැන්නේ ජනතාව තුළ එදා සිට මෙතෙක් නොනැසී පවතී. කෘතගුණ සැලැකීම මුල් කර ගත් නෑ යකුන් පිදීම බෞද්ධ සිංහල සංස්කෘතිය ඇසුරෙහි වෙනස් ස්වරූපයක් ගනිමින් හැඩ ගැසී ඇත්තේ යම් සේ ද ඊටත් වඩා දැඩි ලෙස බින්තැන්නේ නෑයකුන් ඇදහීම සාමාන්‍ය ඇවැතුම් පැවැතුම් රටාවක් බවට පත් ව ඇත.

විදේශීය ආක‍්‍රමණවලට ලක් නො වී ස්වාධීන මිනිස් කොටසක් වශයෙන් ලාංකේය අනන්‍යතාව රැක ගනිමින් දිගාමඩුල්ල වන බිමෙහි අනාදිමත් කාලයක් තිස්සේ දිවි ගෙවූ බින්තැන්නේ ඇත්තන් තුළ දක්නට ඇති මේ නෑයකුත් පිදීම හා අනෙකුත් ඇවැතුම් පැවැතුම් ඇසුරේ යක්ෂ ගෝති‍්‍රක මෙන් ම රාක්ෂ ගෝති‍්‍රක ලක්ෂණ ද දේව ගෝති‍්‍රක ලක්ෂණ ද දක්නට ඇත. ඒ බව වැදි ජන සමූහය සතු ඇදහිලි ඇවැතුම් පැවැතුම් හා බින්තැන්නේ හේන් ගොවියන් අතර පවතින ඇදහීම් ඇවතුම් පැවැතුම්වල දක්නට ඇති සමරූපී සංස්කෘතික ලක්ෂණවලින් හඳුනා ගත හැකි ය.

සිංහල හේන් ගොවියන් ගේ ඇදහීම් රටාවෙහි නෑයකුන් පිදීම වූකලි බෞද්ධ සංස්කෘතියේ බලපෑම්වලින් වුව ද පලුදු නො වී පවතින්නකි. අමතර ව දෙවියන් ඇදහීමත්, වෘක්ෂ වන්දනාවන් නොවෙනස් ව පවතී. බින්තැන්නේ වෙසෙන හේන් ගොවියන් සිංහල හේන් ගොවියන් වශයෙන් වර්ගී කරණය කළ ද ඔවුන් මෙරට විසූ මුල් ලාංකික වර්ගයා ගේ ප‍්‍රභේදයක් විය හැකි ය.

විජය ගෙන් ආරම්භ වූවා යැයි සැලකෙන සිංහල වර්ගයාට වඩා ඉපැරැණි ඉතිහාසයක් බින්තැන්නේ හේන් ගොවියන්ට හිමි වේ. බින්තැන්නේ වැසියන් යක්ෂ හා දේව ගෝත‍්‍රවල සම්භාවයක් විය හැකි යැයි අනුමාන කළ හැකි සාධක ඇත. ලාංකික අනන්‍යතාව පෙන්නුම් කරන දැනට දක්නට ඇති මිනිස් වර්ග අතුරින් වැදි ජනතාවට මෙන් ම බින්තැන්නේ ඇත්තන්ට ද හිමි විය යුත්තේ ප‍්‍රමුඛස්ථානයකි.

පොදුවේ ගත් කල බින්තැන්නේ වෙසෙන හේන් ගොවීහු ද වැද්දෝ ද යකුන් හා දෙවිවරුන් අදහති. වැද්දන් ගේ ඇදහීම් රටාවේ දෙවියන් බවට පත්කර ගෙන ඇත්තේ යක්ෂ ආත්මයන් ම ය. 'දේව' යන්න ඔවුන් හේන් ගොවියන් ගෙන් ලැබූ ආභාසයක් විය හැකි බව ඇතැමුන් පවසන අතර, සමහරුන් ගේ මතය වන්නේ දේව ගෝති‍්‍රක බලපෑම් ඇති වූ මුල් යුගයේ දී මේ විශ්වාසයන් වැදි ජනතාව තුළ තහවුරු වන්නට ඇති බව ය.

බින්තැන්නේ වෙසෙන මේ මිනිස් කොට්ඨාස දෙක අතර පවතින ඇවැතුම් පැවැතුම් හා ඇදහීම් රටාවන්හි දක්නට ඇත්තේ සමීප ස්වරූපයකි. ඇතැම් ඇදහීම් රටාවන් තුළ සුළු වෙනස්කම් දක්නට ඇත ද ඒවායේ මූලික ආකෘතික ස්වරූපය එක හා සමාන ය.

කිරිඅම්මාවරුන් පිදීම, මංගර පිදිල්ල හා කිරි කොරහ මංගල්ලේ යන යාතුකර්ම ඇසුරේ මේ සමීප ස්වරූප හඳුනා ගත හැකි වේ.

වැද්දන් මෙන් ම හේන් ගොවියෝ ද කන්දේ යකා, ගල යකුන්, ඉඳි ගොල්ලේ යකා, ඉඳි ගොල්ලෑවේ මහ කිරි අම්මා, හෙවත් ඉඳි ගොල්ලේ නාච්චිරේ, උනාපාන කිරි අම්මා, වෙල්ලස්සේ කිරි අම්මා, කුකුළා පොළ කිරි අම්මා, මහ කිරි අම්මා, කොළොන් වන්නේ කිරි අම්මා, ගෝන තලාවේ කිරි අම්මා, සේරන් යකා, ලේපත් යකා, වාලිම්බ ගල යකා, බිලිඳි යකා, මරළු යකා, රන් හොට් බණ්ඩාර, කළු බණ්ඩාර, මී ගහ පිටියේ දෙයියෝ, මහ ලොකුවෝ, ගල යක්කු, සඳ ගල් බණ්ඩාර ආදි වශයෙන් ඔවුනට ම විශේෂ වූ යකුන් හා දෙවියන් පිරිසක් වෙත පුද සත්කාර කරති. මෙසේ දේවත්වයට පත් ව ඇත්තේ එක් එක් ප‍්‍රදේශයන්ට අධිපති ව සිටි ගැමි නායකයන් නායිකාවන් හා වැදි නායකයන් බව පෙනේ.

වැදි ජනයා හා බින්තැන්නේ වෙසෙන හේන් ගොවියන් අතර කාලයක සිට පැවැති සහජීවන පැවැත්ම හේතුවෙන් යකුන් හා දෙවියන් සම්බන්ධ ඒකීය ඇදහීමේ රටාවක් දිගාමඩුලු බින්තැන්න වෙල්ලස්ස පුරාමත් පැතිරී පැවැති බව විශ්වාස කළ හැකි ය.

බින්තැන්නේ වෙසෙන හේන් ගොවියන් ගේ ඇදහීම් රටාවෙහි වැදි ජනයා තුළ දක්නට නැති දේව ඇදහීම් දක්නට ඇත. ලෙඩ දුක්වලින් ආරක්ෂා වීමටත්, පෞද්ගලික රැකවරණයටත් ගොවි තැනෙහි හා ගව සම්පත් වර්ධනය පිණිසත් මේ ඇදහීම් රටාව පවත්වා ගෙන එන බව පැහැදිලි කරුණකි.

ශී‍්‍ර ලංකාව පුරා පැතිර ඇති දෙව් දේවතාවුන් පිදීමට අමතර ව බින්තැන්නේ ජනතාවට පමණක් ආවේණික මේ යක්ෂ, දේව විශ්වාසය ඔවුන් ගේ ජීවිත කෙරෙහි ඉතා දැඩි ව බලපා ඇත. මේ අනුව බින්තැන්නේ වැදි ජනයා හා හේන් ගොවියන් අතර පවතින යකුන් යකින්නන් හා දෙවියන් ඇදහීම එක් අංගයක් වශයෙන් ද, හේන් ගොවියන් අතර පමණක් පවතින ලංකාවේ වෙනත් ප‍්‍රදේශවල දක්නට නැති පිදුම් ලබන දෙවි දේවතාවුන් පිදීමේ ඇදහීම් රටාවන් ද වශයෙන් ප‍්‍රධාන ඇදහීම් රටා දෙකක් දක්නට ඇත. මැණික් බණ්ඩාර, හාමා පොළ, බෝවල, ගඟේ දෙවියෝ, දිසාවේ අලුත් දෙවියෝ, පඟ ගම්මන සුද්ද අලුත් බණ්ඩාර, කිවුලේ ගෙදර දෙවියෝ, දිවැස් දෙවියෝ, මී ගහ පිටියේ සුද්ධ අලුත් බණ්ඩාර, මීමා ඇනපු අලුත් බණ්ඩාර, තේජස් බණ්ඩාර, අනුහස් බණ්ඩාර, ගංගොඩ අලුත් බණ්ඩාර, ගිනි මල් බණ්ඩාර,

ඉරු ගල් බණ්ඩාර, සඳ ගල් බණ්ඩාර, නුවානේ බණ්ඩාර, උනාපානි දේවතාවිය, රජ රංමලි බණ්ඩාරි, ඉඳි ගොල්ලෑවේ කිරි අම්මා, ආදි දෙවි දේවතාවුන් රැසක් වෙත බින්තැන්නේ වැසියෝ පුද සත්කාර කරති.

මේ සෑම කෙනකුන් ම ප‍්‍රාදේශික නායකත්වය දරා මිය යෑමෙන් පසු දේවත්වයෙන් පිදුම් ලබන්නන් ලෙස හඳුනා ගත හැකි ය.

මේ දෙවි දෙවතාවුන් හා බින්තැන්නේ ගැමියන් අතර දැනට ද යකුන් වශයෙන් හැඳින්වෙන පිදුම් ලබන ප‍්‍රාදේශික නායකයන් මරණයෙන් පසු ඒ තත්ත්වයට පත් වූවෝ ය. තම පරම්පරාවේ ජන ප‍්‍රධානයකු බලවත් ව සිටිය ද ඔහු ජීවත් ව සිටි කාලයේ දී දක්වන ලද ගරුත්වයට වඩා වැඩි ගරුත්වයක් මෙන් ම, බියක් ද මිය ගියායින් පසු දැක්වීම යක්ෂ ග්‍රෝතිකයන් ගෙන් පැවත එන වැදි ජනතාව තුළ මෙන් ම හේන් ගොවියන් තුළ ද ඇත්තේ ය. එබැවින් එවැනි ප‍්‍රබලයන් හැඳින්වීම සඳහා යක්ෂ නාමය ආරූඪ කැරිණි.

ඉඳිගොල්ලේ යකුන්, ගල යකුන්, බිලිඳි යකුන් වශයෙන් නම් කරන යක්ෂ ගෝති‍්‍රක නායකයෝ මෑතක දී මිය ගිය වැදි ජනයා ගේ ඥාතීහු ය. මොවුන් හැර කළු බණ්ඩාර, ඉරුගල්, සඳ ගල්, ආදි බණ්ඩාර යක්ෂයෝ සිංහල හේන් ගොවියන් අතරත්, වැදි ජනයා අතරත් පිදුම් ලබති. වැද්දන් මේ දෙවිවරුන් හඳුන්වන්නේ 'දෙයියැලැත්තන්' යනුවෙනි. මුල් කාලයේ දී යකුන් වශයෙන් හැඳින්වුව ද පසු කාලයේ දී යක්ෂ ගෝත‍්‍රයට වඩා දේව ගෝති‍්‍රකයන් බලවත් වූ හෙයින් යක්ෂ නාමය වෙනුවට දේව නාමය ආරූඪ කළා විය හැකි ය.

බින්තැන්නේ සිදු කැරෙන කාරි යාගයන්හි දී පිදුම් ලබන මැණික් බණ්ඩාර, හාමා පොළ, මීගහපිටියේ, පගරගම්මන, දිසාවේ අලුත් බණ්ඩාර ආදි යක්ෂත්වයෙන් පසු ව දේව නාමයට පත් වූ හත්කට්ටුවක් ද, මහ ලොකුවෝ දේවිය ද ප‍්‍රදේශයේ ජීවත් ව සිට මිය ගිය ඇත්තෝ වෙති.

මෙසේ මිය ගියවුන් ගේ ආත්මය වැද්දන් හඳුන් වන්නේ 'හේතා' නමිනි. ඒ භූත ආත්මය යක්ෂ ආත්මයක් බවට පත් වී වැඳුම් පිදුම් ලබන්නේ නෑයකුන් අතර ද ඉහළ ම තනතුරු හිමි කරගෙනය.

1 comment:

  1. sri lankawe adee wasi wedan gana hara bara, thora thuru tikak kiyawanna labeema gana hugaak sathutui.. bohoma sthuthi lipiyata.

    ReplyDelete

Related Posts with Thumbnails Related Posts with Thumbnails