සාරියක් හැඳ දෑතෙහි වළලු කිහිපයක් ද පැලැඳ සිටි ඇය කියා සිටියේ, තමා හතළිස් පස් හැවිරිදි වියෙහි පසු වන බවත්, ඇය සමඟ සිටින මහලු පුද්ගලයා ඇගේ මාමණ්ඩිය බවත් ය. අපි සියල්ලෝ ම බිම වාඩි වී සිටියෙමු.
අප ඉදිරි පසින් දිස් වූයේ විශාල උද්‍යානයකි. එහි නුග රුකක්, අඹ ගස් කිහිපයක්, පියකරු බෝගන්විලියා මල් පඳුරු හා හැදී ගෙන එන තාල වර්ගයේ ගස් ද විය. ඈ මහත් දුකට පත් ව සිටියා ය. දෙඅත් සැලෙමින් තිබිණ. ඇය උත්සාහ කරමින් සිටියේ හැඬුම් බර ව එකවර කඩා හැලෙන සිය කතාව ද, ඇතැම් විට කඳුළු ද වළකා ගනු පිණිස ය. ඇගේ මාමණ්ඩිය මෙසේ කියයි: “මගේ මේ ලේලිය ගැන ඔබතුමා සමඟ ටිකක් කතාබහ කර ගන්නයි අපි ආවෙ.
අවුරුදු තුන හතරකට පෙර ඇගේ සැමියාත්, ඊට පසු පුතාත් මිය ගියා. දැන් ඇයට ඇගේ ඇඩිල්ල නතර කර ගන්න බැරුවයි ඉන්නෙ. ඇඟපතත් හොඳට ම දිරාපත් වෙලා. අපිට නම් තේරෙන්නේ නැහැ මොනව කරන්නද කියල.
අපට පුරුදු වෛද්‍යවරුන්ගෙ උපදෙස්වලිනුත් පලක් වී ඇති බවක් පෙනෙන්නට නැහැ. ඒ හැර ඇගේ අනෙක් දරුවන් සමග ඇති ආශ‍්‍රයත් දැන් අඩු වී ගෙන යන බවකුයි පෙනී යන්නෙ. දවසින් දවස ඇඟත් කෙට්ටු වෙනවා. අපි දන්නෙ නැහැ මේක කොහෙන් කෙළවර වෙයිද කියල. ඈ අපට බල කරලම කියා හිටියෙ ඔබතුමා හමුවිය යුතු බවයි.”
“මගේ සැමියා නැතිවුණේ අවුරුදු හතරකට පෙර. ඔහු වෛද්‍යවරයෙක්. මැරුණෙ පිළිකාවකින්. ඇතැම් විට ඔහු එය මගෙන් වසන් කර ගෙන සිටින්න ඇති. මා එය හරියටම දැනගත්තෙ පහුගිය අවුරුද්දෙ හෝ ඊට ආසන්න වකවානුවකයි. වෛද්‍යවරුන් ඔහුට වේදනා නාශක හා වෙනත් සහනදායක බෙහෙත් හේත් දුන් නමුත් හිටියෙ හරිම වේදනාවෙන්. ඔහු දුබල වී මගේ දෑස් ඉදිරිපිටම මිය ගියා.”
ගලා එන කඳුළු බිඳු නවතා ගැනීමට මෙන් ඇය කතාව නතර කළා ය. අත්තක් උඩ හිඳ ගෙන සිටින පරෙවියන් නාද කරයි. මුදු මොළොක් වූ උගේ සිහින් හඬ නෑසෙන තරම් ය. දුඹුරු මුසු අළු පැහැයක් ඇති ඇඟපත තරමක් විශාල වුව ද උගේ හිස කුඩා ය. ටික වේලාවකට පසු ඌ ඉගිළ ගියෙන් අත්ත ඉහළටත් පහළටත් පැද්දෙමින් තිබිණ.
“ඔහු නැතිව මේ තනිකමත්, අර්ථයක් නැති මේ ජීවිතයත් මට කොහොමවත් දරාගන්න බැහැ.මගේ දරුවන්ට මම ආදරෙයි. මට ළමයි තුන් දෙනෙක් හිටියා. එක් කෙනෙක් පිරිමි. අනෙක් දෙන්නා ගැහැනු ළමයි. ගිය අවුරුද්දෙ දවසක පිරිමි ළමයා එයාට අසනීප බව දන්වල ලිපියක් එවා තිබුණා. දවස් කිහිපයකට පසුව ප‍්‍රධාන ගුරුතුමා දුරකථනයෙන් මා අමතා කියා සිටියේ ඔහු මිය ගිය බවයි.”
මෙහි දී වාවාගත නුහුණු ඈ ඉකිබිඳිමින් හඬන්නට වූවා ය. ටික වේලාවකට පසු ඇය පුතා ගෙන් ලද ලිපියක් ඉදිරිපත් කළ අතර, එහි කියා තිබුණේ තමාට අසනීප බැවින් ගෙදර එන්නට වුවමනා බවත්, ඇය සනීපයෙන් ඇතැ යි ඔහු සිතන බවත් ය. ඇය වඩාත් විස්තර ඇති ව කියා සිටියේ ඔහු ඇය ගේ දුක සැප සොයා බලමින් තමා ගැන බෙහෙවින් සැලැකිලිමත් ව සිටි බව ය; ඇය සමග ගෙදර රැඳී සිටීමට මිස පාසල් යෑමට ඔහුට වුවමනාවක් නොතිබුණු බව ය.
තමා ගේ වියෝ දුක ඔහුටත් බල පෑ හැකි යැයි බියපත් ව කිසියම් ප‍්‍රමාණයකින් පාසල් යනු පිණිස ඔහුට බල කොට ඇත්තේ ද ඇය යි. එහෙත් දැන් ඒ ගැන කළ හැකි දෙයක් නැත. ගැහැනු ළමයි දෙදෙන ද තවමත් බාල වියෙහි පසු වන බැවින් මේ සිදු වූ දේවල් ගැන ඔවුන්ට හරිහමන් අවබෝධයක් ද නැත.
ඇය එකවර ම මහ හඩින් හඬා වැටුණා ය: “මට තේරෙන්නෙ නැහැ මොනව කරන්නද කියල. මේ මරණය නිසා මගේ ජීවිතයේ මූලික අත්තිවාරම් සියල්ලම දෙදරා ගිහිල්ලයි තියෙන්නෙ. නිවහනක් මෙන් ශක්තිමත් පදනමක් විදියට සැලකුණු දෙයක් මතයි, අපි විවාහ ජීවිතය ගොඩනඟා ගෙන තිබුණෙ. දැන් ඒ හැම දෙයක්ම කඩා බිඳ වැටිල තියෙන්නෙ මේ මහා විපැත්තිය නිසයි.”
ඇගේ මාමණ්ඩිය ආගමික විශ්වාසයෙහි හා සම්ප‍්‍රදායයෙහි එල්බ ගත් පුද්ගලයකු විය යුතු ය. එහෙයින් ඇගේ කතාවට ඔහු මෙසේ එකතු වෙයි: “මේ ඇය මතට පාත් වූ දේව සාපයක්. වුවමනා කරන හැම පුද පූජාවක් ම ඇය කරලයි තියෙන්නෙ.
එයිනුත් කිසි ම පලක් වී නැහැ. මම පුනරුප්පත්තිය විශ්වාස කරන කෙනෙක්. නමුත් ඇය එහෙම හිතාගෙනවත් හිතට සහනයක් ඇති කර ගන්නෙ නැහැ. අඩුගානෙ ඒ ගැන කතා කරන්නවත් ඇයට වුවමනාවක් නැහැ. ඒ සියල්ල කිසි ම තේරුමක් නැති දේවල් කියලයි ඇය කියන්නෙ. ඉතින් ඒ නිසා ඇයට කිසියම් සහනයක් දෙන්න පුළුවන්කමක් අපට නැහැ.”
අපි ටික වේලාවක් නිහඬ ව සිටියෙමු. මේ වන විට ඇගේ ලේන්සුව තෙතබරි වී තිබිණ. එහෙයින් ලාච්චුවෙන් ඇද ගත් පිරිසිදු ලේන්සුවක් තවමත් දෙකොපුලින් වැගිරෙන කඳුළු බිඳු පිස හරිනු පිණිස ඇයට පිහිට විය. රතු පැහැති බෝගන්විලියා මල් පොකුරක් කවුළුව තුළින් එබිකම් කරයි. දකුණු දෙසින් විහිදෙන දීප්තිමත් හිරු එළිය එහි හැම පත‍්‍රයක ම පතිත ව තිබිණ.
ඔබට වුවමනා කරන්නෙ මේ ගැන වඩාත් ගැඹුරෙන් යුතු ව කතාබහ කරන්න ද? නැතහොත් කිසියම් විස්තර කිරීමකින් හෝ තර්කානුකූල මතවාදයක් ගෙන හැර පෑමකින් හෝ හිතට යම් සහනයක් ලබා ගන්න ද? එහෙමත් නැති නම් තෘප්තියක් ගෙන දෙන කුමන හෝ වචන ස්වල්පයකින් ඔබේ දුක වෙනතකට යොමු කරවා ගන්න ද?
“මා කැමතියි මේ ගැන ගැඹුරෙන් සාකච්ඡා කරන්න. එහෙත් ඔබ කියන්ට යන කරුණුවලට මුහුණ දීමේ හැකියාවක් හෝ ශක්තියක් මට තිබේ දැයි මා දන්නේ නැහැ. මගේ සැමියා ජීවත් ව සිටිය දී නම් ඔබේ ඇතැම් දේශනවලට පැමිණීමේ පුරුද්දක් අපට තිබුණා. එසේ වුවත් දැන් සමහර විට ඔබ කියන කරුණු තේරුම් ගැනීමට මට වඩාත් දුෂ්කර විය හැකි යි.”
ඔබ දුකට පත් ව සිටින්නේ ඇයි? ඒ ගැන විස්තරයක් කිරීම සුදුසු නැහැ. එසේ කළ හොත් එය ඔබේ හැඟීම් ඇසුරෙන් කැරෙන නිර්මාණයක් වන හෙයිනි. එබැවින් ප‍්‍රශ්නයක් අසන විට එයට පිළිතුරු ඉදිරිපත් කිරීම නොමැනවි. හුදෙක් සවන් දෙන්න. ඔබ ම තේරුම් ගන්න.
මරණය ගැන මෙලෙස දුකක් ඇති වන්නේ ඇයි? රටේ බලවත් ම ප‍්‍රභූ පුද්ගලයා ගේ සිට අන්තිම හිඟන්නා දක්වා, දුප්පත් - පොහොසත් හැම ගෙදරක ම දකින්නට ලැබෙන මේ දුකට හේතුව කුමක් ද? ඔබ දුකින් සිටින්නේ ඇයි? ඒ දුක ඇති වී තිබෙන්නේ ඔබේ සැමියා වෙනුවෙන් ද? එසේ නැතහොත් ඔබ වෙනුවෙන් ද? ඉදින් ඔබ හඬන්නේ ඔහු වෙනුවෙන් නම්, ඔබේ කඳුළින් ඔහුට පිහිටක් විය හැකි ද? ඔහු මිය ගොස් ඇත්තේ එය අවලංගු කළ නො හැකි ලෙස ය.
ඔබ කුමක් කළ ද ඔබට කවදාවත් ඔහු ආපසු ගෙන්වා ගත නො හැකි යි. කඳුළු වැගිරැවීමෙන් හෝ ඇදහිලි, විශ්වාසවල එල්බ ගැනීමෙන් හෝ පුද පූජා පැවැත්වීමෙන් හෝ දෙවිවරුන්ට කන්නලව් කිරීමෙන් හෝ ඔහුට නැවතත් පණ දීමට පුළුවන්කමක් ඔබට නැහැ. ඒ වනාහි ඔබ විසින් පිළිගත යුතු ව ඇති යථාර්ථයකි. ඒ ගැන ඔබට කිසිවක් ම කළ නො හැකි යි. එහෙත් ඔබ හඬා වැටෙන්නේ ඔහු වෙනුවෙන් නම් ඒ ඔබේ තනිකම, ඔබේ ජීවිතයේ හිස් බව, ඔබ ලද ඉන්ද්‍රියාස්වාදය හා සහවාසය නිසයි.
එසේ නම් ඔබ හඬා වැටෙන්නේ ඔබේ ම හිස් බව නිසා නො වේ ද? ඔබේ කලකිරීම නිසා නො වේ ද? ඇතැම් විට ඔබ මේ පළමුවරට ඔබේ අභ්‍යන්තරයෙහි පවතින අසරණකම ගැන දැනුම් තේරුම් ඇති ව සිටිනවා විය හැකි යි. ඉදින් ඔබ වෙත කාරුණික ව පෙන්වා දෙනු පිණිස අපට අවසර ඇති නම්, ඒ ගැන මෙසේ ද කිය හැකි යි. එනම් ඔබ, ඔබේ සැමියා වෙත ලාභාපේක්ෂාවෙන් ආයෝජනයක් කොට ඇති අතර එයින් ඔබට සැප පහසුව, තෘප්තිය හා ආස්වාදය ලැබී තිබෙනවා නො වේ ද?
පාඩුවක් සිදුවී ඇතැ යි යන හැඟීමත්, තනිකම හා කාන්සිය නිසා ඇති වූ සිත් වේදනාවත් යනුවෙන් දැන් ඔබට දැනෙන මේ සියල්ල ම ඔබේ කලකිරීමෙහි එක්තරා විලාසයක් නො වේ ද? කරුණාකර ඒ දෙස බලන්න. ඊට එරෙහි ව ඔබේ හදවත දැඩි කොට නොගන්න. ඒ අතර ම “මා මගේ සැමියාට ආදරෙයි. මා ගැන අල්පමාත‍්‍රයක්වත් මම සිතුවේ නැහැ. මා හැම විට ම ඔහු මගේ අණසක යටතේ තබාගෙන සිටිය නමුදු, මට වුවමනා කළේ ඔහු ආරක්ෂා කර ගන්නයි. ඒ හැර ඒ හැම දෙයක් ම ඔහු ගේ ම හිතසුව පිණිස මිස කිසි විටෙකත් මා ගැන සිතා ගෙන නො වේ” යයි නොකියන්න.
දැන් ඔහු මිය ගොස් ඇති බවත්, ඔබේ යථාර්ථයත් ඔබ තේරුම් ගනිමින් සිටියි. ඔබට පෙන්වා දී තිබෙන්නේ ඔහුගේ මරණයෙන් කම්පිත වූ ඔබේ සිතෙහි ඇති සැටිය යි. ඔබ ඇතැම් විට ඒ දෙස බලන්නට අකමැති විය හැකි යි; බිය පත් ව එය ප‍්‍රතික්ෂේප කළ හැකි යි. එසේ වුවත් තව ටිකක් හොඳින් පරීක්ෂාකර බැලුවහොත්, ඔබ හඬන්නේ කලකිරීම නිසා හටගත් ඔබේ ම තනිකම හා අසරණකම නිසා බව ඔබට වැටහෙනු ඇත.
“ඔබ නම් හරිම නපුරුයිනෙ?” ඈ කියයි. “මා ඔබ හමුවට ආවේ හැබෑ සහනයක් බලාපොරොත්තුවෙනුයි. ඉතින් ඔබ මේ මොනවද මට කියන්නෙ?”
බොහෝ දෙනකුට තිබෙන මුළාවක් තමයි එය. එනම් වෙනත් කෙනකු ඔබ වෙත ලබා දෙන හෝ ඔබට ම ඇති කර ගත හැකි හෝ සිතේ සහනයක් බඳු දෙයක් ඇතැ යි කියන මුළාව. කියන්න කනගාටුයි, මට නම් හිතෙන්නෙ එහෙම දෙයක් නැහැ කියල යි. ඉදින් ඔබ සහනයක් සොයා යන්නේ නම් ඔබේ ජීවිතය රැවටිල්ලක හසු වෙලයි තියෙන්නෙ.
එසේ ම රැවටිල්ල බිඳී ගිය විට ඔබ දුකට පත්වන්නේ සහනය ඔබෙන් බැහැර කොට ඇති නිසයි. එලෙස දුක තේරුම් ගැනීමට හෝ එය අතික‍්‍රමණය කිරීමට හෝ කෙනකු තම අභ්‍යන්තරයෙහි ඇත්ත වශයෙන් ම සිදු වනුයේ කුමක් දැයි දැක ගත යුතු යි. එසේ ම එය සැඟැවිය යුතු ද නැත. ඉදින් මේ සියල්ල පෙන්වා දීම නපුරු දෙයක් නො වේ. එසේ නො වේ ද? එය මඟ හැරැවිය යුතු අශෝභන දෙයක් ද නො වේ.
ජීවිතයේ නොයෙකුත් සිදුවීම්වලින් කම්පා නො වී, සුළු හෝ සිත් පැරීමකින් ද තොර ව, පිවිතුරු නවතාවෙන් ම යුතු ව වහා ම ඔබ තේරුම් ගන්නේ මේ සියල්ල වඩාත් පැහැදිලි ව දැක ගන්නා විට යි.
මරණය වූ කලී අප හැම කෙනෙකුට ම උරුම වූවක්. කෙනකුට එයින් ගැලවිය නො හැකි යි. අප නොයෙකුත් අටුවා, ටීකා සෙවීමේ උත්සාහයක නිරත ව සිටින්නේ ද, විවිධ විශ්වාසවල එල්බ ගෙන සිටින්නේ ද එය අතික‍්‍රමණය කිරීමේ අපේක්‍ෂාවෙනුයි. එහෙත් ඔබ කුමක් කළත් එය හැම විට ම පවතින දෙයක්. හෙට හෝ තව ටික වේලාවකින් හෝ අවුරුදු ගණනාවකට පසු ව හෝ එය එසේ ම යි. ජීවිතයෙහි මේ අතිශයින් ම වැදගත් වූ යථාර්ථය හා සබඳතාවක් ඇති කර ගත යුතු ව තිබෙන්නෙ ඒ නිසයි.
”එහෙත්” කියමින් කතාබහට එක්වන ඇගේ මාමණ්ඩිය අවිච්ඡින්න වූ ආත්මයක් හා තිර පැවැත්මක් පිළිබඳ සාම්ප‍්‍රදායික විශ්වාසය ඇදබාන්නට පටන් ගනියි. ඔහු දැන් සිටිනුයේ, විදග්ධ තර්කනයෙන් හා උපුටා දැක්වීමෙන් යුතු ව සාර්ථක ව පිය මං කැරුණු සිය පදනම මතුයෙහි ය. එකවර ම කය ඍජු කොට හිඳ ගත් ඔහු ගේ දෙනෙතෙහි පිළිබිඹු වූයේ, මහා සංග‍්‍රාමයක ඇවිළ ගැනීම් හා වාග් ප‍්‍රහාරයන් ය.
කරුණාව හා මෛතී‍්‍රය ද, අවබෝධය ද පලා ගොස් තිබිණ. පූර්ව හැඩ ගැසීමෙහි මහා බරින් තෙරපී ගත් හේ විශ්වාසය හා සම්ප‍්‍රදාය ස්වකීය ශුද්ධ භූමිය කොට ගෙන සිටියේ ය. “එහෙත් ආත්මය යනු අප හැම කෙනකු ම තුළ පවතින දෙයක්. ‘බ‍්‍රහ්මන්’ අවබෝධ කර ගන්නා තුරු එය නැවත නැවතත් උපත ලබමින් අඛණ්ඩ ව දිගට ම පවතිනු ඇත. එකී සත්‍යයට එළැඹෙනු වස් අප විසින් දුක් කම්කටොලු විඳ දරා ගත යුතු යි. අප ජීවත් වනුයේ මුළාවක යි. ලෝකය යනු මායාවක්. එහි ඇත්තේ එක සත්‍යයක් පමණයි.”
ඔහු අවසන් කෙළේ ය. ඔහු වෙත වැඩි අවධානයක් නොදක්වා ම ඈ මා දෙස බැලුවා ය. ඇය මුව‘ග මඳ සිනහවක් මතුවෙමින් තිබිණ. අප දෙදෙන ම බලා සිටියේ ආපසු පැමිණ සිටි පරෙවියා සහ බෝගන්විලියා මල් පොකුර දෙස ය.
මේ පොළෝ තලය මතුයෙහි හෝ අප තුළ හෝ සදාකාලික වූ කිසිවක් ම නැහැ. යම් කිසිවක් ගැන සිතමින් එයට අඛණ්ඩ ස්වභාවයක් ගෙන දීමේ හැකියාවක් සිතීමට තිබෙනවා. එසේ ම වචනය, සංකල්පය හා සම්ප‍්‍රදාය චිරස්ථායි කරන්නට ද එයට පුළුවන්. සිතීම සිතා ගෙන සිටින්නේ තමා සදාකාලික යැයි කියා ය. එහෙත් එය සදාකාලික ද? සිතීම යනු මතකයෙහි ප‍්‍රතිකි‍්‍රයාවක්.
ඉදින් ඒ මතකය ස්ථිර වූ දෙයක් ද? සිතීමෙන් චිත්ත රූපයක් නිර්මාණය කොට ගෙන, ඒ චිත්ත රූපය ‘ආත්මය’ නැතහොත් වෙනත් ඔබ කැමති කවර හෝ නමකින් හඳුන්වා ගනිමින් කිසියම් නොකැඩෙන සුලු චිරස්ථිතියක් එයට දිය හැකි යි; ඒ අනුව, සිතීමෙන් සිය සැමියා ගේ හෝ ධරය ගේ හෝ මුහුණ සිහි කළ හැකි යි; ඒ මතකය රඳවා තබා ගත හැකි යි. මේ හැම කටයුත්තක් ම කැරෙන්නේ සිතීමෙන්.
සිතීම බිය නිර්මාණය කරයි. ඉදින් සදාකාලික ව පවතින්නට පෙලැඹීමක් ඇති වන්නේ ද මේ බිය නිසයි. හෙට දින ආහාර වේල හෝ ආරක්‍ෂාවක් හෝ නොලැබෙතැ යි බිය වෙයි; මරණය ගැන බිය වෙයි; මේ බිය සිතීමෙහි ප‍්‍රතිඵලයක්. එසේ ම ‘බ‍්‍රහ්මන්’ යනු ද සිතීමෙහි ප‍්‍රතිඵලයක්.
මාමණ්ඩිය මෙසේ කියයි: “මතකය හා සිතුවිල්, ඉටි පහනක් වගෙයි. ඔබට එය නිවා දමා නැවත දැල්විය හැකියි. ඔබට අමතක වන අතර පසු ව එය සිහි කර ගත හැකියි. ඔබ මරණයට පත් ව උපදින්නේ වෙනත් ජීවිතයක යි. ඉටි පහනෙහි නැවත දැල්වෙන්නේ ද එක ම සිළුවක්. එහෙත් එය පෙර පැවැති සිළුව ම නො වේ. මෙලෙස ඉටි පහන් සිළුවෙහි තියෙන්නෙ අවිච්ඡින්න වූ කිසියම් නිශ්චිත ස්වභාවයක්.”
එය එසේ වුවත් නිවා දැමුණු පහන් සිළුව, නැවත දැල් වූ පහන් සිළුවක් වශයෙන් එය ම වෙන්නේ නැහැ. අලුත් දෙයක් ඇති වනු වස් පැරැණි වූ දෑ අවසන් වෙයි. ඉදින් නිරතුරු ව වෙනස් වන අවිච්ඡින්නත්වයක් ඇති විට අලුත් දෙයක් කිසිසේත් ම ඇති වන්නේ නැහැ. දහස් ගණනින් ඉකුත් ව ගිය දවස් අලුත් කළ නො හැකි යි. ඉටි පහන් සිළුවක් වුව දැවී අවසන් වෙයි. අලුත් දෙයක් ඇති වීම සඳහා හැම දෙයක් ම අවසන් විය යුතු යි.
මේ වන විට මාමණ්ඩියට උපුටා දැක්වීම් හෝ විශ්වාස හෝ වෙනත් අය ගේ ප‍්‍රකාශයන් හෝ මත එල්බ ගත නො හැකි ය. එහෙයින් හෙතෙම තමා තුළට ම වැද ගෙන නිහඬ වෙයි; ව්‍යාකූල ව වඩාත් කුපිත වෙයි. ඔහු දැන් තමාට ම අනාවරණය වී ඇති බැවිනි. ඔහු ගේ ලේලියට මෙන් යථාර්ථයට මුහුණ දීමේ වුවමනාවක් ඔහුට නැත.
”මට නම් මේ කිසි ම දෙයක් ගැන උනන්දුවක් නැහැ” ඈ කියයි. “මම ඉන්නෙ හරිම දුකෙන්. මට මගේ සැමියාත්, පුතාත් දෙන්නම නැති වුණා. මේ ළමයි දෙන්නෙක් ඉතිරි කරලා. දැන් මම මොනව කරන්නද?”
ළමයින් දෙන්නා ගැන සැලැකිල්ලක් ඔබට ඇති නම් ඔබ ගැනත්, ඔබේ දුක් දොම්නස් ගැනත් කල්පනා කරමින් කාලය ගත කරන්න ඔබට බැහැ. ඔබ විසින් ඔවුන් දෙදෙන රැක බලා ගත යුතුයි; ඔවුනට නිවැරැදි අධ්‍යාපනයක් දිය යුතු යි. සුපුරුදු සාමාන්‍ය පුද්ගලයකු නොකොට ඔවුන් ඇති දැඩි කළ යුතු යි. ‘ඔබේ සැමියාට ඇති ආදරය’ යනුවෙන් ඔබ විසින් හඳුන්වනු ලබන ඔබේ කලකිරීම හේතුවෙන් ඔබ ගතින් වැහැරී, දිරාපත් වෙමින් හුදෙකලාවක ඇලී ගැලී සිටියහොත් ඔබ කරන්නේ, අනෙක් ළමයි දෙන්නා ද විනාශ කිරීමක්.
දැනුම්වත් ව හෝ නොදුනුම්වත් ව අපි හැ කෙනෙක් ම ආත්මාර්ථකාමී මිනිස්සු. අපට අවශ්‍ය දෑ ලැබෙන තාක් කල් අප කල්පනා කරන්නේ දැන් ඉතින් සියල්ල හරි යයි කියා ය. එහෙත් මේ සියල්ල සුනු - විසුනු වී යන සිදුවීමක් ඇති වූ මොහොතක, කර කියා ගත හැකි දෙයක් නැති ව අප හඬා වැලැපෙන්නේ වෙනත් සහනයක් බලාපොරොත්තුවෙන්. එහෙත් ඒ බලාපොරොත්තු ද බිඳ වැටෙනු නිසැක යි.
ඉදින් දිගට ම පවතිනුයේ මේ කි‍්‍රයාදාමය යි. එහි ඇති සියලු පටලැවිලි ඉතා හොඳින් දැන දැනත් එහි ම හසු වී සිටීම ඔබට අවශ්‍ය නම් එසේ කරන්න. එහෙත් ඔබ ඒ සියල්ලෙහි අඥාන වූ හාස්‍යජනක ස්වභාවය දකින්නෙහි නම් ඔබේ ඔය හැඬුම්, වැලපුම් ඉබේ ම නවතිනු ඇත. තනිකම ද තුරන් වී යනු ඇත. නව ප‍්‍රබෝධයකින් හා මුහුණෙහි රැඳි සිනහවකින් යුතු ව දරුවන් සමග ජීවිතය ගත කරනු ඇත.
ඔබේ ලිපි මා හැම එකක්ම කියවනවා. ඒවා ඉතාමත් වටිනා බව නම් ඔකියාම බැහැ. ස්තුතියි මේ ලිපි වලට.
ReplyDeleteමැණික්(සුළඟ)