Tuesday, July 20, 2010

කාමය සහ රාගය !


කාමය යනු සිඟා කෑ දෙයක් වැනි ය. නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකුගේ ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය.කාමයෙන් ලැබෙන ආශ්වාදය ද එවැනි ය. අධික බැඳීම් සහ අධික ඇලීම් ඇති කරගත්තත් ඒවා අප කෙරෙන් කවර මොහොතක ගිලිහී යා දැයි කිව නොහැකි ය.

අප කෙරෙහි වූ විවිධාකාරයේ ඇලීම් නිසා සංසාරික ජීවිතයේ දී අපි වේදනාවට භාජනය වෙමු. දුකට, පීඩාවට පත්වෙමු. මෙහි දී කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත. එනම් කාමය සහ රාගයයි. අඹු දරුවන්, සහෝදර සහෝදරියන්, ඥාති හිත මිත‍්‍රාදීන්, ආහාරපාන, වස්ත‍්‍රාභරණ, මිල මුදල් ආදී වූ වස්තු කෙරෙහි අධික ලෙස ඇලීම කාමයයි.

එහි රූප තිබේ, ශබ්ද තිබේ, ගන්ධය, රසය, ස්පර්ශය තිබේ, නිර්වාණය අවබෝධ කරගන්නා තාක් පංචකාමයන් පිළිබඳව වූ ඇලීම මිනිසුන් කෙරෙන් දුරස් නොවේ. එක් අවස්ථාවක දී ගිහිගෙය කලකිරී සසුන්ගත වූ පැවිද්දකු පවා පස්කම් සුව විඳීමේ ආශාවෙන් නැවත ගිහිගෙය සොයා පැමිණීමට පුළුවන කාම ස්වභාවය එයයි.

කාමයෙහි ආදීනව නොදකින තැනැත්තා කාමය අත්හරින්නට කිසිදාක සූදානම් නැත. මේ ජීවිතයේ වූ අධික බැඳීම්වල ඇති අගතියෙන් ගැලවෙන්නට සූදානමක් නැතිනම් ලෞකික ජීවිතයේ ආධ්‍යාත්මික සුවයක් කිසිදිනෙක අත්විඳින්නට නොලැබෙනු ඇත. කාමයේ සහ රාගයේ දැඩිව ඇලීමේ ආදීනව දහයක් බුදුරජාණන් වහන්සේ අලගද්දුපම සූත‍්‍රයේ දී උපමා මගින් පෙන්වා දුන්හ.

අත්ථි කන්කලුපමා කාමා

කාමය ඇට කැබැල්ලක් හා සමානය. ඒ කුමන ඇට කැබැල්ලක් ද? අල්ප වූ රසයක් ඇති ඇට කැබැල්ලකි. සාමාන්‍යයෙන් කාමයෙහි ලොල් වූ තැනැත්තාට එහි ඇත්තේ අල්ප වූ රසයක් බව කිසිදා නොසිතේ. කාමයෙහි මත් වූ පසුව, රාගයෙහි දැඩිව ඇළුණු පසුව එහි වින්දනාත්මක බව වඩ වඩාත් දැනෙන බැවිනි. බුදුරජාණන් වහන්සේ මෙය අපට නිරවුල්ව කියා දෙති.

මස්වත් ලේවත් නැති ඇට කැබැල්ල කොතරම් වේලාවක් කටේ රුවාගෙන සිටියත් සුනඛයා ගේ කුස නොපිරෙන්නා සේ පස්කම් සුවයෙහි ගැති වූ පසු කිසිවකු දැන් ප‍්‍රමාණවත් යැයි ඒකෙරෙන් සම්පූර්ණත්වයට පත්වන්නේ නැත.

මංස පේසු උපමා කාමා

කාමය මස් කැබැල්ලකට ද උපමා කොට ඇත්තේ ය. මස් කැබැල්ලක් ගෙන අහසට පියඹා යන උකුස්සා පසුපස අනෙක් උකුස්සෝ හඹා යති. ඒ මස්කැබැල්ල ඩැහැ ගන්නට ය. කාමයෙහි ආදීනව නොදැන දිගින් දිගටම එහි ඇලීමෙන් අත්වන්නේ මස් කැබැල්ල රැගෙන අහසට පියඹා ගිය උකුස්සාට අත්විඳින්නට වූ පීඩාව හා සමාන පීඩාවකි. කාමයට ගිජු වූ පසු කවරාකාරයේ ගැටුම්වලට, කුළල් කාගැනීම්වලට මුහුණ දෙන්නට සිදුවේදැයි අපි නොදනිමු.

බුදුරජාණන් වහන්සේ එය තවත් අපූරු උපමාවකින් මෙසේ විග‍්‍රහ කරති.

තිනික්කු උපමා කාමා

පෙ‍්‍ර්මයෙන් පැරැදුණ ඇතැම් පිරිස් මාව පිච්චෙනවා වගේ මම ගිනි අරගෙනයි ඉන්නේ යනුවෙන් පවසන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු. බුදුරජාණන් වහන්සේ මෙහි කාමය උපමා කොට තිබෙන්නේ තණ හුළකටය.

ගිනිගත් තණු හුළක් උඩු සුළඟට හැරුණු පසු වේගයෙන් දැවේ. අත් නොහැරිය හොත් එය අල්ලා ගෙන සිටින තැනැත්තා ද දවා හළු කරන තරමට මේ ගිනි හුළ කි‍්‍රයාත්මක වීමට පුළුවන. දැල්වුණු තණ හුළකින් ඔබ දැවී පිච්චී යන්නට පුළුවන් වගේ ම කාමයෙහි අධික ලෙස ඇලීමෙන් එයින් ම ඔබ දැවී වැනසී යන්නට පුළුවන් බව බුදුන් වහන්සේ උගන්වා ඇත.

අංගාර කාසු උපමා කාමා

කාමයෝ ගිනිදලු නැති, දුම් නැති, ගිනි අඟුරුවිලක් හා සමානය. ගිනි අඟුරුවිලක තිබෙන බිහිසුණු බව කොතරම් ද? ගිනි දලු එළියට නොපෙනුණත් ඊටත් වඩා භයානක බවක් අභ්‍යන්තරයේ ඇත. එය කෙනෙක් දවා හළු කරන්නට සමත් ය.

කාමය, රාගය නමැති ගින්න එළියට එන්නට නොදී සඟවාගෙන සිටින තැනැත්තා කාමයෙන් මත් වූ පසුව මොන තරම් නම් විඳවනවා ඇත්ද? මොනතරම් දැවෙමින් පිච්චෙනවා ඇත්ද?

ඔබ අනිවාර්යයෙන් ම සිහියට ගත යුතු දෙයක් වේ. අධික වූ කාමයකින් ඔබ යමක් කෙරෙහි ඇළෙනවා නම්, අභ්‍යන්තරයේ කාමය සඟවා ගෙන සිටිනවා නම් එය හරියට අළුයට සැඟවුණු ගිනි අඟුරු ගොඩක් වැනි ය. කුමන අවස්ථාවකදී මතු වී අවුත් අලුත් ගින්නක් හට ගනී දැයි අපි නොදනිමු.

කාමයෙහි ඇති හිස් බව බුදුරජාණන් වහන්සේ තවත් උපමාවකින් පෙන්වා දේ. කාමයෙහි ඇලීමෙන් පසු අප ගත කරන සිහින ලෝකය පිළිබඳව මෙසේ සඳහන් කරයි.

සුපින කූපමා කාමා

කාමය හරියට සිහිනයක් හා වැනිය. අපි බොහෝ සිහින දකිමු. නින්දේදී අපට අලංකාර මහා මන්දිර හමුවේ. දිව්‍ය ලෝක පෙනේ. උදෑසන පිබිදුණු විට ඒ හීනවල කිසිම හරයක් නැති බව, සිහින පමණක් ම බව අවබෝධ වේ. කාමයෙන් අගතියට ගිය පසු.

අප ජීවත්වන්නේ ද සිහින ලෝකයක ය. ඒ සිහිනයේ සිටින තාක් යථාර්ථය අත්විඳින්නට ලැබෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කර දී තිබේ.

තවත් අවස්ථාවක, කාමය අනුන්ගෙන් ඉල්ලා ගත් දේවල් බඳු යැයි සඳහන් කරයි.

යාචිත උපමා කාමා

කාමය සිඟා කෑ දෙයක් වැනි ය. එසේත් නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකු ගේ ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය. කාමයෙන් ලැබෙන ආශ්වාදය ද එවැනි ය. අධික බැඳීම් සහ අධික ඇලීම් ඇති කරගත්තත් ඒවා අප කෙරෙන් කවර මොහොතක ගිලිහී යා දැයි කිව නොහැකි ය.

බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක, කාමය පල දරන ගසකට උපමාකර ඇත්තේ ය.

රුක්ඛ පලුපමා කාමා

පල බරැති ගසකට නැඟගත් කෙනෙක් සීමාවකින් තොරව ගෙඩි ආහාරයට ගන්නට පටන් ගනී. ගසට නැඟ ගත නොහී තවත් මිනිසකු පැමිණ ගස කපා දමන තුරුම ගසට නැගගත් තැනැත්තා සිහියක් නැතිව ගසින් නොබැස්සේ නම් ඔහු ගසත් සමගම ඇද වැටී විනාශයට පත්වෙන්නට පුළුවන. පස්කම් සුවයෙහි අසීමාන්තිකව ඇළෙන්නට ගැලෙන්නට යන සියලු දෙනාටම විනාශය ගෙන දෙන බව මෙහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති.

අතිසුනු උපමා කාමා

කාමය කඩුවකට, මස් කපන කොටයකට උපමා කරන්නේ ය. කඩුවත් කොටයත් නිසා මස් කැපෙන්නා මෙන් කාමය නිසා කළකෝළාහල ඇති වී මිනිසුන් විනාශයට පත්වන්නේය. සමාජය දෙස බැලූ කල මෙය ඉතාම ප‍්‍රායෝගික සිදුවීමකි.

අධික ආශාව නිසා මිනිසුන් ගහ මරා ගන්නා අවස්ථා කොතෙකුත් ඇත. ලොව බලවත් රටවල් තෙල්වලට ඇති අධික ආශාව නිසා, ඒ සීමිත සම්පත්වල උරුමක්කාරයින් වන්නට ඇති අධික කැමැත්ත නිසා පිල්වලට බෙදී එකිනෙකාට එරෙහිව අවි ආයුධ අමෝරා ගන්නා ආකාරය අපට පෙනේ. බුදුරජාණන් වහන්සේ, යම් දෙයක් කෙරෙහි අධික ලෙස ඇලීමෙන් එකිනෙකා අතරවන ගැටුම් කඩුවකට සහ කොටයකට උපමා කොට ඇත්තේ මෙවැනි අවස්ථා පදනම් කරගෙන ය.

සක්ති සලුපමා කාමා

අලගද්දුපම සූත‍්‍රයේ දී තවත් අවස්ථාවක කාමය ඉතා තියුණු පිහියකට තියුණු ආයුධයකට තියුණු උලකට උපමා කර තිබේ. තියුණු ආයුධයකින් සිදුවන්නේ කෙනකුට හානියක් සිදු කිරීමයි. විනාශ කර දැමීමයි. කාමයත් ඒ හා සමානය.

කෙනෙක් වඩාත් ඇලුම් කරන දෙයක් තවත් කෙනකුට හිමිවූ කල එය ඔවුනොවුන් අතර මහා අරගලයකට, විනාශයකට හේතු වන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු. තමා ආදරය කළ තැනැත්තිය වෙනකකු හා විවාහ වූ කල ඔවුන් මරා දමන්නට තරම් සැහැසී වූ අවස්ථා අපට කොතෙකුත් හමු වී ඇත.

බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් කාමය සර්ප හිසකට උපමා කරන්නාහ.

සප්ප සිරූපමා කාමා

සර්ප හිස ඉතාම බිහිසුණු ය. කාමයත් ඒ වගේ ඉතා භයානක, බිහිසුණු දෙයක් ලෙස උන්වහන්සේ උගන්වා ඇත.

ඔබ මේ උපමා දහය පිළිබඳව ඉතා සියුම්ව, ඉතාම විමර්ශනශීලීව කල්පනා කළ යුතු ව ඇත. අනවශ්‍ය ඇලීම් නිසා ඔබට වේදනාවක් මිස සැනසුමක් උදාවන්නේ නැත. එය දැල්වෙන ගිනිහුලක් සේ නිරතුරුවම අපට පීඩාකාරී වන බව අමතක නොකළ යුතු ය මේ නිසා යම් යම් දේවලට ඔබ කෙරෙහි වූ ඇල්ම අඩුම තරමින් ටිකෙන් ටික හෝ අඩු කරන්නට, ප‍්‍රහීණ කරන්නට ඔබ උත්සාහ කළ යුතුව ඇත.

ඒ සඳහා අලගද්දුපම සූත‍්‍රය පදනම් කරගනිමින් සිදු කරන මේ මඟ පෙන්වීම මහත් ප‍්‍රයෝජනවත් වනු ඇත. විවිධ වස්තූ කෙරෙහි තදින් ඇලීම නව ලොව රටවායි. අප අගතියට පෙළඹවීම කාමයේ ස්වභාවයයි. මේ වෙළෙඳපොළේ රටාව ද එයයි. මේ නිසා ඔබ කාමයේ ආදීනව සිහි නුවණින් අවබෝධ කොට කිසි දිනෙක යම් දෙයක් කෙරෙහි අධික ලෙස නො ඇලී ජීවත්වන්නට සිතට ගත යුතු ය.

ඔබ ඇලුම් කරන යමක් අහිමිවේද නිහතමානීව, මධ්‍යස්ථභාවයෙන් ඒ දේවල් දරාගන්නට, ඒවා සමඟ ගනුදෙනු කරන්නට ඔබ සූදානම් විය යුතු ය. කාමයෙහි ඔබ අප සිතනා තරම් තෘප්තියක්, වින්දනයක් නොලැබෙන බැවිනි.


3 comments:

  1. මේ ලිපිය ගොඩක් වටිනවා.ඔයා දිගටම මේ වගේ වැදගත් ලිපි ලියන්න.අපිට සාර්ථක ජීවිතයක් ගෙනියන්න නම් ධර්මය අපේ ජීවිතයට ළං කරගන්නම වෙනවා.ගොඩක් දෙනෙක් විඳින්නෙ තාවකාලික සුවයක් විතරයි.

    ReplyDelete
  2. ගොඩක් වටින ලිපියk

    ReplyDelete
  3. ඉතාමත් කලෝචිත ලිපියක්. ඉතාම වටිනා ලිපියක්. කීදෙනෙක් මෙහි අදහස් සහිතව තේරුම් අරගෙන කියවයිද දන්නෙ නැහැ. ඒ වුනත් මේ විපරිණාම යුගයේ මේ වගේ ලිපි ඉතාම අගනේය. ඔබට තෙරුවන් සරණයි.

    ReplyDelete

Related Posts with Thumbnails Related Posts with Thumbnails