Saturday, January 1, 2011

කොළපුව වෙනුවට ගිනිපෙනෙල්ල


කොළපුව ඉක්‌මනට ඇවිලී අවසන් වන ආලෝකයකි. එහෙත් ගිනිපෙනෙල්ල ආලෝකය අඩු උනත් වැඩි කලත් භාවිතයට ගතහැකි ආලෝකයකි.

උත්සව අවස්‌ථාවකදී හෝ කිරි ටිකක්‌ උතුරුවා ගැනීමට ගිනි දල්වා ගැනීමට දන්නා අය අඩුය. දියුණුවේ හිනිපෙත්තට අප සැම ළඟාවී සිටීම සතුටට කරුණකි. එහෙත් යමක්‌ විඳ දරාගැනීමේ ශක්‌තිය, ගුණය අතින් ශ්‍රී ලාංකික සෑම ජාතිකයකු, ආගමිකයකුම දුර්වලව සිටිනා බව නොකියාම බැරිය. මේ දිනවල ජනසන්නිවේදන සැම ප්‍රචාරය දී ඇත්තේ ලූනු, පොල්, පරිප්පු, බිත්තර, කුකුළු මස්‌ වැනි ආහාර වර්ග ගැන පමණි. මේවා නැතිව සුමානයක්‌ දෙකක්‌ ජීවත්විය නොහැකිද? යන්න කවුරු කවුරුත් තම තමන්ගෙන්ම අසාගත යුතු ප්‍රශ්නයකි.

ලෝකයේ සෑම රටකම දැවෙන ප්‍රශ්න ඇත. පළමුව නිරෝගිකම, දෙවැනිව ආහාරය, රැකියා සහ ඊට අමතරව ළඟාවන ස්‌වාභාවික විපත් ආදී මේවා ගැන කථා නොකරන එකම රට ශ්‍රී ලංකාව පමණි. එසේනම් අප කාටත් ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්‍රශංසා, සැප, දුක සමසේ බෙදා ගැනීමේ හැකියාවන් අප රටවාසීන්ට එදා නොඅඩුව තිබිණ. ඒ පුරුද්ද නැවත භාවිතයට ගැනීමට කාලය උදාවී ඇත. ලූනු හිඟ සමයේ උදේ දානයක්‌ අපට ලැබිණ. දායක පක්‍ෂය ලූනු වෙනුවට පාවිච්චිකර තිබුණේ ලීක්‌ස්‌ කොළය. ලංකාවේ රතු ලූනු වගාකළ නොහැකි ප්‍රදේශයක්‌ නැත. තුන්සිය හැටපස්‌ දවසටම ප්‍රයෝජනයට ගැනීමට කාට කාටත් රතු ලූනු වගාකර ගතහැක. ඉඟුරු වගාවෙන් ලබාගන්නා කොළද ඒ සඳහා ප්‍රයෝජනයට ගත හැක.

අත්‍යාවශ්‍ය ආහාරපාන සඳහා අවශ්‍ය දේ ගම්බිම්වල වගාකර ගැනීමට මහජනතාවට පුරුදුකළ යුතුය. පාසල්, ආගමික සිද්ධස්‌ථාන මේ සඳහා මූලිකත්වය ගත යුතුය. වෙළෙඳ ප්‍රජාව ඇත්ත වශයෙන්ම පාරිභෝගිකයාට ආදරයක්‌ කරුණාවක්‌ නොදක්‌වන පිරිසක්‌ බවට පත්ව සිටීම දුකට කරුණකි. පාරිභෝගිකයාගෙන් යෑපෙන වෙළෙඳ ප්‍රජාවෙන් වැඩි පිරිසක්‌ ආත්මාර්ථකාමිත්වයෙන් ක්‍රියාකර රටේ ජනතාව දුකට පත් කිරීම ගැන අපි දුක්‌වෙමු. මේ රටේ වෙළෙඳ ප්‍රජාවට දැඩි නීති - රීති, දැඩි අයබදු පැනවීමට රජය උනන්දු විය යුතුය. සුඛවිහරණයෙන් අගතැන්පත්ව සිටිනා වෙළෙඳ ප්‍රජාවගෙන් වැඩි පිරිසක්‌ කරුණාව මෛත්‍රිය නැති පිරිසක්‌ බවට පත්ව සිටින බව නොකියාම බැරිය.

පාරිභෝගික ජනතාවට අවස්‌ථාවාදීව කූට වෙළෙඳ ප්‍රජාවට දඬුවම් දීමට විවිධ ක්‍රම තිබේ. පළමු ක්‍රමය මිල අධිකව විකුණන භාණ්‌ඩ ප්‍රතික්‍ෂේප කිරීමයි. පොල් වෙනුවට සතියක්‌ දෙකක්‌ වෙනත් විකල්පයක්‌ හෝ පරිභෝජනය අඩුකිරීමක්‌ කළහොත් සතියකින් පොල් මිල අඩුවනු ඇත. එදා ඒ ප්‍රශ්නය විසඳා ගත්තේ කොට්‌ට පොල් හෝ කොප්පරා පාවිච්චියට ගැනීමෙනි. අද ජීවත්වන ජනතාවට ආහාdර ඒකරාශී කරගෙන ජීවත්වීමේ හැකියාව අඩුය. නමුත් කොස්‌ ඇට ටිකක්‌. කොස්‌ මදුළු ටිකක්‌ වේලා වැලි යට තබා සුරක්‍ෂිත කරගත හැකිය. ශ්‍රී ලාංකික ජනතාව සාගතයක්‌ ගැන සිතා එදා කොස්‌ - දෙල් - පොල් ආදී විවිධ ආහාර වර්ග සුරක්‍ෂිත කර තබා ගත් බව අමතක කළ යුතු නැත. අමු දෙහි ටිකක්‌ වැලි යට දමා තිබ්බොත් කාලයක්‌ නරක්‌ නොවී තබා ගැනීමට පුළුවන.

ජනසන්නිවේදන කටයුතුවල යෙදෙන අය ද ආහාරයෙන් ජීවත්වන පිරිසකි. ආහාර සම්බන්ධ අර්බුධ එදා නොදියුණු සමාජය තුළ නොවීය. කරවල මෙන් දඩමස්‌ බොහෝ කලක්‌ සුරක්‍ෂිත කර තබාගැනීමට තරම් එදා වැදිජනතාව ඥානවන්ත වූහ. එහෙත් ඒ ඥානය දැන් ඔවුන්ට ද නැත. රටේ අධ්‍යාපනය, නිරෝගිකම, සංවර්ධනය, දරු පරපුර ගැන සිතන අය, කල්පනා කරන අය අද රටේ නැත. දින තුන්සිය හැටපහේම මඟුල් ගෙවල්ය. අද විවාහය හෙට කැඩීගොස්‌ය. එදා දරුවන් දහ දොළොස්‌ දෙනෙක්‌ හැදූ පවුල්වල අද දරු සම්පත් අඩුය. එසේ තිබියදීත් උපන් එකා දෙන්නා හෝ හදාවඩා ගැනීමේ දැනුම ඇති අය ද විරලය.

මේ රටේ උගත් මඬුල්ලක්‌ තුළින් සමාජයට අත්‍යාවශ්‍ය කරුණු - කාරණා, ලුණු පොල්කට්‌ටේ සිට ජනතාව දැනුවත් කරන වැඩසටහන් කවුරුන් විසින් හෝ ක්‍රියාත්මක කළ යුතුව ඇත. දොඩම්ගොඩ බදාගන්තාක්‌ මෙන් කවුරු කවුරුත් කෑදරව, මනුෂ්‍යත්වය අමතක කර ක්‍රියාකරන බව නොකියාම බැරිය. නමුත් තමන් සැම මහලු වන බව, අවසන් ගමන් යන බව සිතෙහි තබාගෙන රටේ සංවරකමට මුල්තැන දී දුරදිග දක්‌නා නුවණින් ක්‍රියාකරන ශ්‍රී ලාංකික ජනතාවක්‌ නැවත ඇතිකිරීමෙහිලා වගකිව යුත්තන් පමණක්‌ නොව සෑම තරාතිරමක කෙනකුම අවධාරණයෙන් යුතුව ක්‍රියාකළයුතු කාලය දැන් එළඹ ඇත.

2011 වසර ලබද්දී කවුරු කවුරුත් තම - තමන්ගේ දුර්වලකම අවබෝධ කරගෙන කාට - කාටත් ඇති වගකීම හරියට ඉටුකිරීමට අදිටන් කරගත යුතුය. මුස්‌ලිම් ජනතාව එදා නෝම්බි ඇල්ලුවේ අඩුවෙනි. එහෙත් අද කුඩා දරුවන්ට පවා එය පුරුදු පුහුණු කරන බවක්‌ පෙනේ. එහෙත් බෞද්ධ ජනතාවට පෝය හතරක්‌ ඇති බව දැන් අමතකය. එදා පෝය හතරටම සිල් සමාදන්ව, මසකට වේල් 04 ක්‌ නිරාහාරව සිට ශරීරයට වේදනාව විඳදරා ගැනීම පිළිබඳ පුහුණුවක්‌ ලබාගන්නා ලදී. එහෙත් අද එබඳු තත්ත්වයක්‌ දක්‌නට නැත. එක බත් මුට්‌ටියක්‌ බෙරිවුවහොත් ඊළඟ බත් මුට්‌ටිය ඉදිවනතෙක්‌ ඉවසීමේ ශක්‌තියක්‌ අද අපට නැත.

ආහාර ප්‍රශ්න නැති රටක්‌ නැත. පසුගියදා ඇමෙරිකාවේ ජනතාවට ආහාර සපයා ගැනීමට පවා ආර්ථිකයක්‌ නැතිවිය. මේ රටේ ද මහ බැංකුව අනුමත පෞද්ගලික මූල්‍ය ආයතන විසිනු සිදුකරන ලද පාපකාරී ක්‍රියා නිසා සියදිවි නසාගත් පිරිසක්‌ ද වූහ. ඒවා ගැන අදටත් ගත් නිසි ක්‍රියාමාර්ග නොමැත. මහ බැංකුව අතිගරු ජනාධිපතිතුමන් බාරයේ පවතින එකකි. එහි අධිපතියන් ඉහත කීදේ ගැන ක්‍රියාකළ අයුරු ශෝචනීය බව ප්‍රසිද්ධියේ කියන්නට ඉදිරිපත් වන අය ද අඩුය. ප්‍රමුඛ බැංකුවේ සිට එදා - මෙදා මේ රටේ සිදු වූ මූල්‍ය අර්බුධ ගැන කෑගැසීමට මහජනතාව ඒකරාශී කළයුතු වෘත්තීය සමිතියක්‌ ද නැත. වෘත්තීය සමිති සංවිධාන යනු මුට්‌ටි කාසි ගිලදමන බහිරවයන්ය. මේ රටේ සියලු ජනතාව වෘත්තීය සමිතිවලින් නිදහස්‌ව ඒ සඳහා ගෙවනු ලබන මුදල තමන්ගේ බැංකු ගිණුමක තැන්පත් කරගතයුතු කාලය එළඹ ඇත. මහජනතාව මේ ක්‍රමයට ඥාවන්ත වුවොත් උපක්‍රමශීලී වුවොත් රටේ සිදුවීගෙන යන මේ විපත්තියෙන් බේරීමට ක්‍රම සහ විධි ඉබේම පැදී එනු ඇත.

නිදහස්‌ අධ්‍යාපනයක්‌ තිබුණත් රජයේ පාසලකට ළමයෙක්‌ ඇතුළත් කරගත නොහැකි තත්ත්වයක්‌ අද මුළු රට පුරාම පැන නැඟී ඇති ජාතික ප්‍රශ්නයකි. පාසල් තිබුණත් සියයට සියක්‌ ටියුෂන් පන්ති අවශ්‍ය බව ද ප්‍රකට කරුණකි. පෞද්ගලික පාසල් ඇතිවීම මේ නිසා සිදු වුවත් එම පාසල්වලට නීතියක්‌ නැත. ගව පට්‌ටියේ ද නායකත්ත්වයක්‌ දැකිය හැක. හරි නායකත්ත්වය අපට නොපෙනේ නම් තම තමන්ම නායකත්ත්වය ගෙන තම තමන්ගේ ආරක්‍ෂාව, සැපවිහරණය වෙනුවෙන් ආත්මාර්ථකාමීව හෝ මේ ලැබුවා වූ නව වසරේ වැඩඩකටයුතු ආරම්භ කිරීමට කාලය උදාවී ඇත.

බඩගින්න ඉවසා දරාගන්න දැනුමක්‌, පුහුණුවක්‌ නොමැති ජනතාවක්‌ රටක ජීවත් වේනම් එය භයානකය. අපට සාහගතයක්‌, දුර්භික්‍ෂයක්‌ ආවොත් ඊට කෙසේ මුහුණදිය යුතුද යන්න ගැන සිතන, කල්පනාකරන පිරිසක්‌ මේ රටේ ඉන්නවාද? නැද්ද? යන්න ගැන කවුරුත් සිතත්වා. මීට වසර කිහිපයකට කලින් සිංගප්පූරුවට අසාධ්‍ය රෝග බියක්‌ ඇතිවිය. ජනතාව තම තමන්ම නිවාස අඩස්‌සියේ දින ගණන් නිරාහාරව ජීවත්වූහ. එවැන්නක්‌ අපට සිදුවුවහොත් කුමක්‌වේද? යන්න ගැන සැමදෙනාම සිතා දුරදිග දක්‌නා නුවණින් ක්‍රියාකිරීමට මේ ලැබුවා වූ ව්‍යවහාර වසර සාධක උදාහරණයක්‌ කර ගැනීමට සැම ඥානවන්ත වේවා. කඩුව අනුන් අතට දුන්නත්, තම අතේද කඩුවක්‌ තබා ගැනීමට සැම අමතක නොකළ යුතුය. අනුන් පසුපසම ගොස්‌ අඬා නොවැලපී තම අවශ්‍යතා සියල්ල තමන් විසින්ම විසඳා ගැනීමට සැම ඥානවන්ත විය යුතුය. උත්සාහවන්ත විය යුතුය, උපායශීලී විය යුතුය.

පූජ්‍ය ගල්බොඩ සිරි ඥාණිස්‌සර ස්‌ථවිර
(ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ)


Sunday, December 26, 2010

2004 දෙසැම්බර් 26 වැනිදා




ජීවිතයත් මුහුද වගේ කියලයි කවුරුත් කියන්නෙ. මේ දෙකේම ලොකු සමානකමක්‌ තිබෙනවා. මිනිහෙකුගේ ජීවිතයෙ මොනතරම් වෙනස්‌කම් වෙනවද? හොඳට කතා බහ කරල හිටපු අය කිසිම හේතුවක්‌ නැතිව අහක බලාගෙන යන වෙලාවල් තියෙනවා. සියලු ඇයි හොඳයිකම් නවත්තල දානවා.
පසුගිය සුනාමි කාලෙ මුහුදට වෙන්නත් ඇත්තේ ඒ වගේ දෙයක්‌ වෙන්න ඇති.

Friday, November 26, 2010

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය පිළිබඳ ජාතික මට්‌ටමේ මුළාව

සැබෑ මල ළා නිල් පාටයි. වැරැදි මලේ පෙති දම් පාටයි. වැරැදි මලේ පෙති වැඩි ප්‍රමාණයක්‌ තියෙනවා. එනම් පෙති 25ක්‌ පමණ. ඒත් හරි මලේ පෙති ප්‍රමාණය මීට අඩුයි. වැරැදි මලේ රේණු තද කහ පාටයි. හරි මලේ රේණු ළා කහ පාටයි. වැරැදි මලේ රේණු කෙළවර දම්පාට තිබෙනවා, සැබෑ නිල් මානෙල් මලේ රේණු කෙළවර ළා නිල් පාටයි. රේණු සංඛ්‍යාව වැඩි වැරැදි මලෙයි. සැබෑ මලෙහි රේණු අඩුයි."

Tuesday, September 14, 2010

අන්තර්ජාල සන්නිවේදනය

සන්නිවේදනය යනු මනුසත් කුලයට පමණක්‌ සීමා වූ දෙයක්‌ නොවේ. එය සත්ව කුලයටද අදාල වූවකි. මෙලොව එළිය දුටු දා පටන් මිය යන තෙක්‌ ම ඔබ ද නොයෙකුත් සන්නිවේදන ක්‍රම භාවිත කරමින් සමාජ ගත වේ. කතාබහ, ව්‍යංග නිරූපන, අභිනයන් සන්නිවේදන ක්‍රම අතර ප්‍රධාන ස්‌ථානයක්‌ ගනී. ඔබගේ අදහස්‌ හුවමාරු කරගැනීම සඳහා, අෙන්‍යන්‍ය සබඳතා ගොඩනැගීම සඳහා, ඉගෙන ගැනීමට, ඉගැන්වීමට හා ඇතිකරගත් සබඳතා පවත්වාගෙන යාම සඳහා මෙම සන්නිවේදනය උපකාරී වේ. දියුණු තාක්‌ෂණ යුගයේ ජීවත් වන ඔබ අප සැම සෙසු සන්නිවේදන ක්‍රම හොඳින් දැන හැඳිනගෙන ඒවා භාවිත කිරීම ඉතා වැදගත්වේ. පෞරුෂය සම්පන්නව දිවි ගෙවන ඔබ අප සැමට මෙම සන්නිවේදනය වැදගත් වන අවස්‌ථා පිළිබඳ මෙම ලිපියෙන් සාකච්ඡා කර බලමු. 


අදහස්‌ පැවසීම සඳහා ඔබට සන්නිවේදන ක්‍රම අත්‍යවශ්‍ය වේ. එක්‌ එක්‌ පුද්ගලයාට අනන්‍ය වූ අදහස්‌ සිත් තුළ පවතී. ඒවා අන් අය සමඟ හුවමාරු කරගැනීම සඳහා භාෂාමය සන්නිවේදන හැකියාව අත්‍යවශ්‍ය වේ.



එමෙන්ම ඔබගේ භාෂාමය හැකියාව වර්ධනය කරගැනීම ඔබගේ අධ්‍යාපන කටයුතු සඳහා ද බෙහෙවින් උපකාරී වේ. එබැවින් ඔබ ඔබේ මව් භාෂාවට පමණක්‌ සීමා නොවී ද්විතීය හා තෘතීය භාෂාවද පරිශීලනය කිරීමට හුරුවීම පෞරුෂ සම්පන්න ඔබට වඩාත් සුදුසුවේ. එමඟින් ඔබට සමාජය හා එකට ගැටී සමාජයේ ක්‍රියාශීලි සාමාජිකයෙකු වීමේ හැකියාවද ඔබට ලැබෙනු ඇත.
 

ඔබගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යාම සඳහා භාෂාව වෙන්ම විද්යුත් සන්නිවේදන හැකියාව එනම් අන්තර්ජාල සන්නිවේදන හැකියාවද බෙහෙවින් උපකාරීවේ. මෙම අන්තර්ජාල සන්නිවේදන හැකියාව ඔබගේ අධ්‍යාපන කටයුතු හා බුද්ධි වර්ධන කටයුතු මෙන්ම ඔබගේ දැනුම අළුත්කරගැනීම සඳහා ද ප්‍රයෝජනයට ගත හැකිය. නූතන ලෝකය දැන් එකම විශ්ව ගම්මානයක්‌ බවට පත් වී ඇත. එම විශ්වගම්මානය තරණය කිරීමට , ඔබට එම අන්තර්ජාල සන්නිවේදන හැකියාව මහෝපකාරීවේ.
 

නමුත් මෙම අන්තර්ජාල සන්නිවේදනය භාවිත කිරීමේදී නිසි දේ නිසි කලට සිදුකිරීමට වගබලා ගත යුතු අතරම එහි අනවශ්‍ය දෑ සඳහා යොමුවීම ඔබගේ පෞරුෂය හීන කරන සාධකයක්‌ වන බවද සිහි තබාගත යුතුය.
 

එසේම ගුවන් විදුලිය, රූපවාහිනිය, දුරකථනය ආදි මෙවලම්ද අපගේ සන්නිවේදන කර්තව්‍යයන් සඳහා මනා දායකත්වයක්‌ සපයයි. මෙම යන්ත්‍ර මගින් අපගේ හැකියාව , දැනුම වර්ධනය කරන අතරම අපගේ විනෝදාස්‌වාදය සඳහා ද සහය දක්‌වයි. මෙම සන්නිවේදන හැකියාව පෞරුෂත්වයෙන් හෙබි සාර්ථක පුද්ගලයන් සමාජයට දායක කරන අතරම එම සන්නිවේදන හැකියාව සමාජ පරිහානියට හේතුවන අයුරින් පරිහරණය නොකිරීමට ද ඔබ අප සැම වග බලාගත 
යුතුය.  

Monday, August 30, 2010

අතිශය සුන්දර දෙයක්‌ වන ආදරය

ආදරය යනු කිමෙක්‌දැයි විමසුව හොත් නොයෙකුත් දෙනා නොයෙක්‌ ආකාරයෙන් පිළිතුරු දෙනුද, විග්‍රහ කරනුද ඇත. කෙනෙකුට අතිශය සුන්දර දෙයක්‌ වන ආදරය   LOVE තවකෙකුට ඉතා දුක්‌බර වේදනාත්මක දෙයකි. සමහර කෙනෙකුට විනෝදාත්මක සහ තාවකාලික තෘප්ත බවක්‌ ලබන දෙයකි. එසේම තවත් අය පවසනුයේ එයද අනෙකුත් හැඟීම් මෙන් ම සාමාන්‍ය හැගීමක්‌ පමණක්‌ බවය. එකිනෙකාගේ පෞද්ගලික අත්දැකීම් සහ අවබෝධයන් මත එසේ පවසන බවක්‌ පෙනේ. ඇත්තෙන් ම ඔවුන් දෙනු ලබන එම නිර්වචනයන් තුළින් ම තම තමන්ගේ අභ්‍යන්තරයන් විදහා දැක්‌වෙන බවද පැවසිය යුතුය. එසේ වන්නේ ආදරය ජිවිතයද ජීවිතයම ආදරයද වන බැවිනි. මව් කුසින් බිහිවන කුඩා බිළිදා ගෙන් ඇරඹි ජීවිතයෙහි අග කොටසෙහි පසුවන මහළු බව දක්‌වාම ද, මිය යන තුරුමද ආදරය මිනිස්‌ දිවිය හා නොයෙක්‌ අයුරින් බැඳී පවතී. 

නමුත් අද සමාජය දෙස බලන කල ආදරය බොහෝ සෙයින් ම ලුහුඬු දෙයක්‌ බවට පත්ව ඇති අයුරු මනාව දැකගත හැකිය. මුලින් ම සඳහන් කළ යුත්තේ ආදරය ජීවිතයේ විවිධ පැති ඔස්‌සේ පැතිර ගිය දෙයක්‌ බවය. එසේ ම මෙම වදන සංකීර්ණ ජීවන හැගුමන් සමුදායකට භාවිත කරන තනි වචනයක්‌ ලෙසද පැවසිය හැකිය. සෙනෙහස, ආලය, ප්‍රේමය වැනි විවිධ විශේෂණ පැවසෙන්නේද ආදරය මූලික කොට පවතින තත්ත්වයන්ට ම බව පැහැදිලි ය.

එමෙන් ම මිනිස්‌ සමාජයේ සෙනෙහසේ අතීතය ඔස්‌සේ ඈතට පියමනින විට ටාඡ්  මහල් වැනි විස්‌මිත සිහිවටනයන් ද, සිය දිවිනසාගත් පෙම්වතුන්ගේ සොහොන් කොත්ද, රජ කිරුළු හැරයාම්ද, ආදරයේ නාමයෙන් ජීවිතයේ තනි වූවන්ද, රටවල් අතර ප්‍රේමය මුල් කොට ඇතිවී ඇති යුද්ධයන්ද, සෙනෙහස සපුරා ලියූ මහා කාව්‍යද, ආදරණීය ස්‌මාරක ලෙස අපට දැකගත හැක.

එසේම ආදරය වෙනුවෙන් මිනිසුන් හෙලූ කඳුළු
 
එක්‌රැස්‌ කළහොත් එය ලෝකයේ දිගම ගංගාවටද වඩා දික්‌වනු ඇතැයි වරෙක එක්‌ ලේඛකයකු පවසා තිබිණ. මේ සෑම දෙයකින් ම කියෑවෙන්නේද, දැකගත හැකි වන්නේද කිමෙක්‌ද, එනම් ආදරය හා ජීවිතය එක්‌වන්ව ගමන් කරන බව ය.
 
මෙසේ සනාතන ජිවන දහමක්‌ ලෙසින් සෙනෙහසින් බැදුනු දෙදෙනකු විවාහය නැමති බැම්මෙන් තහවුරු කොට පවුල් සංස්‌ථාවක්‌ ඇතිකර සමාජයක්‌ ගොඩනැගීමේ ඇරඹුමද ආදරයේ අත්තිවාරම මත ඉදිවන්නේ ය. 

මිනිස්‌ සන්තානයෙහි ඇතිකර ගන්නා සුවහසක්‌ බලාපොරොත්තුද, සොඳුරු පැතුමන්ද, සුන්දර හැඟුමන්ද ජීවිතය නැමති බිම මත ආදරය නම් වෘක්‌ෂයේ හටගන්නා මල් සහ ඵල ලෙසින් හැදින්විය හැක. එමෙන්ම එම රුකෙහි මල් හටගැනීමද ඵල දැරීමද ගසට කරනු ලබන නිසි පෝෂණය මතම රදා පවතිනු ඇත.
 
මෙහිදී පැවසිය යුත්තේ අද සමාජය තුළ බහුල ලෙසින්ම ආදරයේ පිරිපුන් බව සහ උත්තරීතර තත්ත්වයද, යථාර්තයද, මා කලින් සඳහන් කළ පරිදි ඉතා සරලව ද ලුහුඩින්ද , සැලකීම නිසා ම අකාලයේ වියකී යන බවකි. මේ නිසාම අද කතා බහට ලක්‌වන දෙයක්‌ නම් යොවුන් වියේ ආදරය නිසි ලෙස හඳුනා ගෙන තිබේද යන්නය. එසේ හඳුනා නොගැනීමට හේතු වන සාධක රැසක්‌ ම සමාජය දෙස පියවි ඇසින් බලන කෙනෙකුට දැකගත හැකිවනු ඇත.
 
මානසික කරුණ අනුව සලකා බලන විට සුප්‍රකට මනෝවිද්‍යාඥයකු පවසා ඇති කරුණක්‌ ඉතා වැදගත්වේ. එනම් මව්තුරුලේ නිදන කුඩා බිළිඳුන්ගේ දෑතම මිට මොලවාගෙන සිටිනු කවුරුත් දැක ඇත. මෙම බිළිදුන්ගේ එක්‌ අතක ඇත්තේ තමන් සමාජයෙන් බලාපොරොත්තු වන ආදරයයි. අනෙක්‌ අතෙහි ඇත්තේ සමාජයට පිරිනමන ආදරයයි. ඇත්තෙන් ම එය මොනතරම් සත්‍යද. කුඩා කල නිසි පරිදි දෙමාපිය සෙනෙහස නොලබන සහ දරුවාගේ සෙනෙහස මව්පියන් ආදි අන්‍ය සමාජයට දැක්‌විය නොහැකි පරිසරයක්‌ තුළ දරුවකු "ඉච්චාභංග" අපේක්‌ෂා භංගත්ව මානසිකත්වයට පත්වීම සිදුවේ. එම තත්ත්වයන් තුළ වැඩිවියට පත්වන යෞවනයා සමාජයට ද්වේෂ කරන්නෙක්‌ද, ආදරය වැනි ජීවිතයට සමීප සියුම් මානසික තත්ත්වයන්ගෙන් පිරිපුන් අයෙකුද විය හැකිය. (මෙය දෙමාපිය ගුරුවරුන්ද, වැඩිහිටියන්ද, මනාව අවබෝධ කොට ගත යුතු තත්ත්වයකි.) 

එලෙසින් ම සඳහන් කළ යුතු තවත් කරුණක්‌ නම් බොහෝ යොවුන් විය ගෙවන්නන් ආදරයේ යථාව නිසිලෙස අවබෝධ කොට ගෙන නොමැති බවය. කෙනෙකු තුරුණු වියට එළබෙන විට වයස අවුරුදු 12 පමණ පසු ශරීරයේ හෝමෝන ක්‍රියාත්මක වීම සිඝ්‍රව සිදුවේ. මෙහිදී සිරුරේ ලිංගික ඉන්ද්‍රියන්ගේ පිබිදීමද මනසෙහි විරුද්ධ ලිංගිකයන් වෙත ඇදීයාමේ ප්‍රවනතාවය වැඩිවීමද සිදුවේ. මෙහිදී මෙම තත්ත්වයට ආදරය ලෙස රැවටීම සිදුවේ. (එය බස්‌ රථවල අසුන් තුළද, අඳුරුස්‌ථානවලද තුරුළුව සිටිනා තරුණ , තරුණියන් ගෙන් පැහැදිලිවේ.) 

මෙහිදී තුරුණු වියේදී පිබිදෙන හැඟුමන් අයාලයේ යා නොදී නිසි අරමුණු මත රදවා ගැනීමට සුදුසු මානසිකත්වයක්‌ පරිසරයේ හැඩගැස්‌සවීම මාපිය, ගුරුවරුන්ගේද යුතුකමකි. රටක ජීවනාලිය වන තරුණ පරපුර බොලද හරසුන් හැගීම් වලින් මත් වූවන් නොකිරීමට මාධ්‍යය සතුවද (විශේෂයෙන් රූපමාධ්‍ය) T.V වගකීමක්‌ ඇත. යොවුන් වියේ වගකීමද ආදරයේ වටිනාකමද, හඳුනාගත් තරුණ පෙලක්‌ රටකට භාග්‍යයකි. 

Monday, August 9, 2010

ජංගමයා නරකමුල්ලේ

අප ලෝකයේ සෑම රටකම දක්‌නට හැකි සුලබ කරුණක්‌ ඇත. ඒ මිනිසාගේ එදිනෙදා ජීවිතය ගෙනයැමට අවශ්‍ය සරල බව හා පහසුබව හැම මොහොතකම සොයන බවය. ලාංකික අප ද එකී පහසුව සඳහා තරගකාරී සමාජයකට අවතීර්ණ වී අවසානය. එහෙත් ඒ සඳහා අප ලබාගන්නා පහසුකම් මගින් තම රටේ සංස්‌කෘතිය හා සදාචාරය යන කරුණු දෙක ආරක්‌ෂා කිරීමේ රීතියටද එකඟවීමට අපට සිදුව ඇත.

අද සමාජයේ තරුණ පරපුර විනාශ මුඛයට යන දොරටු අතරට මත්පැන්, දුම්වැටි හා විවිධ මත්කුඩු භාවිතා කිරීම මෙන්ම ඊටත් එහා ගිය ශාරීරික මෙන්ම මානසික විනාශ ගෙන දෙන නවීන තාක්‌ෂණික දොරටුවක්‌ විවරවී ඇත. ඒ "
ජංගමයා" ය. "හෑන්ඩ් පෝන්" හෙවත් ජංගම දුරකතනය කාමය උද්දීපනය කරනා මෙවලමක්‌ වී ඇති නිසා එය අද තරුණ පරපුරේ අලුත්ම වසංගත රෝගයක්‌ බවට පත්වී අවසානය. අසභ්‍ය දර්ශන ගැනීම, පටිගත කිරීම, ඡායාරූප ළඟ තබා ගැනීම් වැනි තාක්‌ෂණික පහසුකම් තිබීම නිසා ජංගම දුරකතනය අද මිනිසාගේ පෞද්ගලිකත්වයට කරන හානිය සුළුපටු නැත.

සන්නිවේදනයේ ප්‍රබලම තාක්‌ෂණික උපකරණය ලෙස හඳුන්වන ජංගම දුරකතනය ලොව ඇති ප්‍රබලම සන්නිවේදන මාධ්‍යකරුවා බවට ලොව පිළිගෙන ඇති අතර එම නිසාම වැඩිම ජංගම දුරකතනය භාවිතා කරන රටවල් අතුරින් අප රටද එම ලැයිස්‌තුවට ඇතුළත්වීම රටක්‌ වශයෙන් සතුටට පත්වීමට හේතුව වනුයේ ලාංකික ජනතාව සන්නිවේදන තාක්‌ෂණය තුළ ජීවත්වීමය. එහෙත් එය මානව බුද්ධි පරිණාමයේ තවත් එක්‌ පියවරක්‌ ලෙස ගත්විටකදී පමණි. සන්නිවේදනය දෙවැනිකොට සලකා කාම උද්දීපනයට පළමු තැන දීම සතුටට වඩා කනගාටුවට කරුණක්‌ව ඇති අතර එය සමාජ පිරිහීම දක්‌වාම මේ වනවිටත් ව්‍යාප්ත වී අවසානය.


මිනිසාගේ දියුණුවත් සමඟ විද්‍යා තාක්‌ෂණවේදයේ දියුණුව එන්න එන්නම වැඩිවී ඇත. එය සදාචාරයෙන් තොර හා අධ්‍යාත්මිකත්වයෙන් තොර දියුණුවක්‌ දක්‌වා යාම නිසා අද සමාජයේ පැනනගින, බොහෝ ගැටලුවලට මුහුණපෑමට සිදුව ඇත. මිනිසාගේ සඳ තරණයේ අතුරුඵලයක්‌ ලෙස ලැබූ සන්නිවේදන ක්‍රමය අද එක්‌ පුද්ගලයකුගේ සිට තවත් පුද්ගලයකු දක්‌වා ඉතා ඉක්‌මනින් පණිවුඩ හුවමාරු කර ගැනීම නිසා මිනිසාට නැතිවම බැරි උපකරණයක්‌ දක්‌වාම ජංගම දුරකතනය විහිදී ගොස්‌ ඇත.


ජපානය, චීනය වැනි කාර්මිකකරණයෙන් දියුණු රටවල කුඩා ළමයාගේ සිට මහල්ලා දක්‌වා තාක්‌ෂණික මෙවලමක්‌ ලෙස භාවිත කරන ජංගම දුරකතනය බොහෝ පහසුකම්වලින් සපිරි ඒවා වී ඇත. එහෙත් ඒ රටවල එවැනි තාක්‌ෂණික මෙවලම් භාවිත කරන්නේ යම්කිසි අධ්‍යාත්මික හා සදාචාරාත්මක නීති රීති පද්ධතියක්‌ තුළය. එසේ නොමැතිනම් ලංකාවට වඩා සමාජ වීරෝධී ව්‍යසනයන් අපට බොහෝවිට ඇසීමට හා දැකීමට සිදුවන්නේ කාර්මික කරණයෙන් දියුණු රටවලිනි. එවැනි රටවල බසයේ. දුම්රියේ හා අනෙකුත් ස්‌ථානවල ජංගම දුරකතනය කන්වල ඔබා ගනිමින් මොනවා හෝ කිරීම වෙනුවට ඔවුන් අත තවම රැඳී ඇත්තේ පොත පතය. අපතේ යන හැම මිනිත්තුවක්‌ම ඔවුන් යොදවන්නේ කියවීමේ පුරුද්දටය. කොතරම් තාක්‌ෂණයෙන් දියුණු වුවත් එම රටවල ජනතාව කියවීමේ පුරුද්ද අත් හැර නැත.


ශ්‍රී ලංකාවටද මෙවැනි තාක්‌ෂණික උපකරණ ගෙන්වා බෙදාගැනීමේදී භාවිතයට ගැනීමේදී යම්කිසි නීතියක්‌ රීතියක්‌ පැනවීමේ ක්‍රමවේදයක්‌ ඇති කළ යුතුව ඇත. 

තාක්‌ෂණය හා සදාචාරය යන ද්විබන්ධනය ඇති කළ යුතුයි. නැතහොත් මානව පරිණාමය නැවත මූලාරම්භයට යැම නැවැත්විය නොහැක. මේ වනවිට මේ සියල්ලෙහිම ඵලය ජාතියක්‌ ලෙස අප නෙළමින් සිටින්නෙමු. ඒ පාසල් ළමුන්ගේ මානසික විකෘතිතාවයේ සිට ජීවිත විනාශ වන තැන දක්‌වාත්, එතැන් සිට පවුල් ජීවිත විනාශ වෙන තැන දක්‌වාත්ය. රටේ ජීවත්වන බාල, මහලු, තරුණ භේදයකින් තොරව මේ ජංගම දුරකථන ග්‍රහණයට හසුව අපරාධ රැල්ලට බිලිවෙමින් සිටිති. මෙවැනි සිදුවීම් සඳහා දිනපතා පුවත්පත් වාර්තාවලට ඉඩ තබන්නට ද සිදුව ඇත. බසයේ, උපකාර පංතියේ, පාසලේ. පන්සලේ, පල්ලියේ සිට වෙළෙඳසල දක්‌වාම මෙම වසංගතය පැතිරී ඇති අතර නව නිවසෙහි ස්‌වාමියා, බිරිඳ හා දුව හා පුතාගේ නිදි යහන දක්‌වාද මෙය පැතිර ඇත. අසභ්‍ය රූප, අසභ්‍ය වචන රජකරවන මෙම ජංගම දුරකතනය තරුණ පරපුර වහලෙක්‌ බවට පත්කර අවසන්ය.


මේ සියල්ල කතිකාවකින් පමණක්‌ අවසන් කළ හැකිද? එසේනම් මෙමගින් විනාශය කරා යන්නේ අපේ අනාගත පරපුරය. රටේ සංස්‌කෘතිය හා සදාචාරය රැකීම වැඩිහිටියන් ලෙස අප සතු යුතුකමය. ඒ සියල්ල රැකගැනීමට කාලය දැන් එළඹ ඇත. නැතහොත් නිදහස්‌ කර ගන්නා ලද මේ දේශය බාරදීමට සිදුවන්නේ සල්ලාලයන්ටය. මං පහරන්නන්ටය. දූෂකයන්ටය. නැතහොත් පොදුවේ ගත් කල සමාජ විරෝධීන්ටය. මේ සඳහා රජයක්‌ වෙනුවෙන් ගන්නා තීරණ මෙන්ම දෙමාපියන්ටද, ගුරුවරුන්ට ද, පූජ්‍ය නායකයන් ඇතුළු ජනමාධ්‍යකරුවන්ටද විශාල කාර්යභාරයක්‌ පැවරී ඇත.

තමන්ගේ දුවා දරුවාට නවීන තාක්‌ෂණ උපකරණ ලබාදිය යුතුව ඇත. ලෝකයේ දියුණුව කරා යන ගමනේදී අපද එම සන්නිවේදනවලට අනුවර්තනය විය යුතුවේ. එහෙත් මේ සියල්ල දැලිපිහියෙන් කිරිකෑම වැනිය.දරුවෙකුට ජංගම දුරකතනයක්‌ ලබාදීමේදී දුරකතන පහසුකම් ඇති පණිවුඩයක්‌ පමණක්‌ දිය හැකි ජංගම දුරකතනයක්‌ ලබාදීම දෙමාපියන්ගේද වගකීමකි. ළමයින් අතට දුරකථන ලැබෙන්නේ වැඩිහිටියන්ගේ උදව්වෙනි. එසේනම් වැරදි කළ දෙමාපියන් හා වැඩිහිටියන් නිර්දෝශ කළ හැකිද? වැඩිම ආදරයක්‌ පෙන්වීමට හොඳම පහසුකම්වලින් සමන්විත දුරකතනයක්‌ ලබාදීමෙන් තමන්ගේ ළමයා පමණක්‌ නොව එදා වේල අමාරුවෙන් සරිකර ගන්නා දෙමාපියන්ගේ ළමයින්ද මේ විනාශයට ගොදුරු වනු ඇත. උපකාරක පංතියක හෝ පාසලක මෙවැනි එක්‌ ළමයකු සිටීම හොඳටම ප්‍රමාණවත්ය. වැඩිහිටි දැනුම නිවැරදි ලෙස යෙදවීම මෙහිදී මූලික කොට ගතයුත්තකි. පිටි පැකට්‌ටුව ගන්නා මව බුද්ධිමත් වනවා මෙන්ම මවුකිරි වෙනුවට පිටිකිරි දෙන මව බුද්ධිමත් වෙනවා මෙන්ම දරුවාට ජංගම දුරකතනයක්‌ අරන්දෙන මව ඊටත් වඩා බුද්ධිමත්වීම තුළින් විශාල
සමාජ ඛේදවාචකයකට තිත තැබිය හැකිය.

රූපවාහිනී මාධ්‍ය ඔස්‌සේ බලෙන් ගෙට රිංගා ගන්නා එස්‌. එම්. එස්‌. සුපිරි තරු භීතිකාවේ සිට බල්ලන් පෝන් එකෙන් විකිණීම දක්‌වාද ටෙලි නාට්‍යවලින් දකින දඟකාර චරිත ජංගම දුරකතනවලින් කරන වැරදි හා නොගැලපෙන දේ ප්‍රේක්‌ෂකයාට දීමද ඛේදවාචක රැසකට හේතුවක්‌ වනු ඇත. මෙහිදී මාධ්‍ය බලධාරීන්ටද ද සදාචාරාත්මක මාධ්‍ය කලාවක්‌ රටට හඳුන්වා දීමට කාලය පැමිණ තිබේ. එසේ නොවුනහොත් අනාගතයේදී  "
ජංගමයා"  මාරයා වීම වළකාලීමට බැරිවනු ඇත.

Thursday, August 5, 2010

ජාතියක ප්‍රෞඪත්වය විදහා පෙන්වන රිටිගල


රිටිගල යනු ජාතිය සතු අග්‍රගණ්‍ය ජාතික සම්පතකි. ඒ ජාතියක ප්‍රෞඪත්වය විදහා දැක්‌වෙන ශෛලමය නටබුන් නිසා පමණක්‌ නොවේ. රිටිගල කඳු පද්ධතියට ආවේණික වූ සුවිශේෂී පාරිසරික ස්‌වභාවය නිසාය. රිටිගල කඳුවැටිය අවටත්, කඳුවැටිය පටන් ගැනීමේදීත් දැකිය හැකි වන්නේ වියළි ස්‌වභාවයකි. එහෙත් කඳුවැටියේ ඉහළට නැගෙත්ම එම වියළි ස්‌වභාවය ක්‍රම ක්‍රමයෙන් වෙනස්‌ව ගොස්‌. කඳුවැටියේ ඉහළ කලාපය තනිකරම තෙත් කලාපීය වනාන්තරයක්‌ ලෙසට පරිවර්තනය වීම රිටිගල කඳු පද්ධතියේ දැකිය හැකි අති දුර්ලභම ස්‌වභාවයයි. ඉතාමත්ම කෙටි කාල සීමාවකදී අත්විඳිය හැකි මෙම අපූර්ව අත්දැකීම ලෝකයේ වෙනත් කිසිදු ස්‌ථානයකදී දැකිය නොහැකිය. රිටිගල නැරඹීමට පැමිණෙන බොහෝ විදේශිකයන් මෙම ආශ්චර්යයෙන් පුදුමයට පත් වන්නේ එනිසාය. රිටිගල සතු එම සුවිශේෂී පරිසර තත්ත්වය සමග සංකලනය වූ ශෛලමය නටබුන්, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලොව හමුවේ විදහා දැක්‌වෙන අපූරු සංකේතයක්‌ වෙයි.



රිටිගල පිළිබඳව එසේ ලිවිය හැකිව තිබුණේ මෙයට දශක හතරකට පහකට කලිනි. එහෙත් අද අපට රිටිගල පිළිබඳව ලිවීමට සිදුව ඇත්තේ හාත්පසින්ම වෙනස්‌ කතාන්තරයකි. එය පරිසරයට, මවුබිමට සැබෑ ලෙසම ආදරය කරන්නන්ට මහත් වූ සිත්වේදනාවක්‌ ගෙන දෙන්නක්‌ වනු ඇත. එහෙත් අප ඉදිරිපිට ඇති සත්‍යය එයයි. රිටිගල කඳුවැටිය සතුවූ අති දුර්ලභ සුවිශේෂි වූ පාරිසරික ස්‌වභාවය මේ වනවිට මුළුමනින්ම වෙනස්‌ව ගොස්‌ය. රිටිගල කඳුවැටිය තුළ අද දිය ඇලි නැත. සියලු ජල උල්පත් සිඳී ගොස්‌ය. එදා එහි තිබූ සිසිල් බව වෙනුවට අද ඇත්තේ දැඩි වියළි ස්‌වභාවයකි. දුර්ලභ ගනයේ ගස්‌වැල් විනාශ වෙමින් පවතියි. වසර දහස්‌ ගණනක්‌ අඛණ්‌ඩව පැවත ආ රිටිගල පාරිසරික පද්ධතිය මෙසේ පරිහානියට පත්වීම ආරම්භ වූයේ වසර දශක හතරකට පහකට පමණ පෙර සිටය. ඉතා සුළු වශයෙන් ආරම්භ වී ක්‍රම ක්‍රමයෙන් වර්ධනයවූ එම පාරිසරික පිරිහීම මේ වන විට මහත් වේගයකින් ඉදිරියට ඇදෙනු පෙනෙයි.

මෙම පිරිහීමේ වේගයට සාපේක්‍ෂව තවත් වසර ගණනාවකදී අපට රිටිගල දැකිය හැකිවනු ඇත්තේ හරිත වර්ණයෙන් වැසී ගිය කඳු පද්ධතියක්‌ ලෙස නොවේ. සියලු ශාකයන් විනාශවී ගිය මුඩු බිමක්‌ වශයෙනි. මානා පඳුරුවලින් ගැවසී ගත් කඳු යායක්‌ ලෙසය. එම විනාශයට හේතුව ස්‌වභාව ධර්මයේ අහිතකර බලපෑම නිසා සිදුවන්නක්‌ ලෙස සැලකීම නිවැරදි නොවේ. සියලු විනාශයන්ට හේතුව මිනිසා විසින් සොබා දහමට නොගැලපෙන ලෙස සොබා දහමට අහිතකර ලෙස සිදුකරන ලද වෙනස්‌කම්වල ප්‍රතිඵලයක්‌ ලෙස සැලකීම වඩාත් නිවැරදිය. "ලාභය" නමැති සංකල්පය හමුවේ අන්ධ වූ මිනිසාට තමා පරිසරයට සොබා දහමට සිදුකරන හානිය පිළිබඳව වැටහීමක්‌ නැත. ජරා වළක ජීවත් වන්නෙක්‌ට එහි ගඳ නොදැනෙන්නාක්‌ මෙනි. රිටිගල සිදුවෙමින් පවතින විනාශය අප තේරුම් ගත යුත්තේ වත්මන් යුගය තුළ ශ්‍රී ලංකාව තුළ ජීවත්වන මිනිසා විසින් පරිසරයට සිදුකරන හානියේ ඵලයක්‌ වශයෙනි.

රිටිගල කඳුවැටිය අසල ජීවත් වන වයෝවෘද්ධ ගැමියන් පවසන්නේ එදා රිටිගලට "වැහි ඇල්ලක්‌" නොවැටුණු දිනයක්‌ නොතිබූ බවය. එය සත්‍යයකි. වසර දශක ගණනාවකට පෙර එදා එසේ ඇද හැළුණේ "ප්‍රාදේශීය සංවහන වර්ෂාවන්ය. ඊසාන දිග මෝසම් වැසි සහ නිරිත දිග මෝසම් වැසිවලට අමතරව රිටිගල කඳු පද්ධතිය නිරන්තරයෙන්ම පෝෂණය වූයේ ප්‍රාදේශීය සංහවන වර්ෂාවන් මගිනි. රිටිගල කඳු පද්ධතියේ සුවිශේෂී පිහිටීම එසේ සංවහන වර්ෂාවන් ලැබීමේ ප්‍රධානම හේතුව විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන කඳුකරයේ සිට දකුණු ඉන්දියාවේ කඳුකරය දක්‌වා ඇත්තේ තැනිතලාවකි. මෙම තැනිතලාවේ උසම ස්‌ථානය "රීට"ක්‌ ලෙස එක්‌වරම ඉහළට නැඟී රිටිගල කඳු පද්ධතියයි. අඩි 2513 ක්‌ උස්‌වූ සැතපුම් 3 ක්‌ පමණ දිග රිටිගල කඳු පද්ධතිය පිහිටා ඇත්තේ ඉහත කී තැනිතලාව හරහා බැඳී පවුරක්‌ ලෙසිනි. ජල වාෂ්පයෙන් බර වූ වැහි වලාවන්ට "රිටිගල" පරයා ඉවතට ඇදී යැමට නොහැකි විය. රිටිගල කඳු පද්ධතිය වටා පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයන් වන්නේ කැකිරාව, තිරප්පනේ, ගලෙන්බිඳුණුවැව, පලුගස්‌වැව, හිඟුරක්‌ගොඩ සහ දඹුල්ලයි. එම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයන් තුළ එදා ඇති තරම් ඝන වනාන්තර තිබිණි.

සංවහන වර්ෂාවන් ඇතිවීම සඳහා හෙක්‌ටයාර් 20000 පමණ වනාන්තරයක්‌ අවශ්‍යය. එය විද්‍යාත්මක පිළිගැනීමයි. එදා රිටිගල කඳු පද්ධතිය අවට එම සම්පත අවශ්‍යප්‍රමාණයටත් වඩා තිබිණි. එම හේතුව නිසා රිටිගල වටා පිහිටි තැනිතලාව ඔස්‌සේ හමාගිය වායු ස්‌කන්ධවල ඇති තරම් ජල වාෂ්ප විය. ජල වාෂ්පයෙන් පෝෂිත වූ වැහි වලාවන් රිටිගල කඳුපද්ධතියේදී නිරතුරුවම කඩා හැලිණි. එදා රිටිගලට "වැහි ඇල්ලක්‌" නොවැටුණු දිනයක්‌ නැතැයි දැනුම් තේරුම් ඇති ගැමියන් ඉතා දුක්‌මුසුව පවසන්නේ එනිසාය. රිටිගලට නිරන්තරයෙන්ම සංවහන වර්ෂාවන් ලැබුණේ ඉහත කී විද්‍යාත්මක ක්‍රියාවලිය හේතුවෙනි. ලෝකයා මවිත කරවන සුලු සුවිශේෂ පරිසර තත්ත්වයක්‌ රිටිගල කඳු පද්ධතිය තුළ නිර්මාණය වූයේ එම ස්‌වාභාවික ක්‍රියාවලියත් සමගය. දැඩි හිරු රැස්‌ මෙන්ම, නිරන්තර වර්ෂාවත් හේතුවෙන් රිටිගල කඳු පද්ධතිය තුළ අති දුර්ලභ ගනයේ ඇල්ගී, දිලීර සහ සත්ත්ව විශේෂයන් බිහි විය. උද්භිද විද්‍යාඥයන් විසින් රිටිගල සලකනු ලැබුණේ මහානර්ඝ ජාන තටාකයක්‌ ලෙසය. එහෙත් ප්‍රාදේශීය සංවහන වර්ෂාවන් නොමැතිවීම නිසා අද ඒ සියල්ල විනාශ වෙමින් පවතී.

එදා රිටිගල තරණය කළ කිසිවෙක්‌ පානීය ජලය කඳුවැටිය තුළට ගෙන ගියේ නැත. බීමට සුදුසු නැවුම් උල්පත් ජලය එහි ඕනෑ තරම් තිබිණි. එහෙත් අද ඒ උල්පත් දක්‌නට නැත. කඳුවැටිය පුරාම අත්විඳිය හැක්‌කේ එදා අත් විඳි සිසිලස නොවේ. දැඩි වියළි ස්‌වභාවයකි. රිටිගල යනු තවදුරටත් "නිවර්තන වැසි වනාන්තරයක්‌" නොවේ. රිටිගල කඳු පද්ධතියේ ඇති තුරුලතා පිළිබඳව වූ මුල්ම අධ්‍යයනය සිදුකර ඇත්තේ 1906 වර්ෂයේදීය. ඒ ඡේ. සී. විල්ස්‌ නමැති ශාක විශේෂඥයා විසිනි. එහිදී ඔහු විසින් හඳුනාගත් ශාක වර්ග 144 ක්‌ අතරින් ශාක වර්ග 103 ක්‌ම නම්කර ඇත්තේ තෙත් කලාපීය ශාක වශයෙනි. අද විනාශ වෙමින් පවතින්නේ දියුණු ලක්‍ෂණ සහිත එම තෙත් කලාපීය ශාක වර්ගයන්ය. හබරණ සිට ගනවැල්පොල දක්‌වා ඇති මාර්ගයේත්, ගනවැල්පොල සිට යකල්ල දක්‌වා ඇති මාර්ගයේත් ගමන් කරන්නෙකුට රිටිගල කඳුවැටියට සිදුවෙමින් පවතින විනාශය පැහැදිලිවම දැකගත හැකිය.

රිටිගල නම් වූ ජාතික සම්පත වැනසී යමින් පවතියි. එය තවදුරටත් කෙනෙක්‌ පුදුමයට පත්කරවන අන්දමේ පරිසරයක්‌ ඇති සුවිශේෂී කඳු පද්ධතියක්‌ නොවේ. එම විනාශයට හේතුවූ කරුණු පැහැදිලිය. අද රිටිගල අවට කිසිදු ප්‍රදේශයක ඝන වනානාත්රයක්‌ දැකිය නොහැකිය. අද වනාන්තර ලෙස පවතින්නේ වියන් ස්‌ථරය (බුරුත, කළුවර වැනි උසට වැවෙන ගස්‌) ඉවත්කරන ලද ලඳු කැළෑවන්ය. එසේත් නැතිනම් නැවත වන වගාව මගින් විකෘති කරන ලද භූමි භාගයන්ය. නැවත වන වගාව තුළ දැකිය හැක්‌කේ රිටිගල වැනි ජාතික සම්පතක්‌ රැක ගැනීමට අවශ්‍ය පාරිසරික වටිනාකමක්‌ ඇති ශාක නොවේ. 1941 නොවැම්බර් 07 දින "දැඩි ස්‌වභාව රක්‍ෂිතයක්‌" ලෙස ස්‌ථාපිත වූ රිටිගල කඳු පද්ධතියේ වූ මුළු වපසරිය වර්ග හෙක්‌ටයාර් 1528 ක්‌ බව දැක්‌වෙයි. එහෙත් මේ වන විට එම භූමි ප්‍රමාණය පවා ඉතිරිව ඇත්දැයි සැක සහිතය. රිටිගල රක්‍ෂිතයට අයත්විය යුතු බොහෝ භූමි භාගයන් පෞද්ගලික දේපළ බවට පත්ව තිබේ. රක්‍ෂිතයට අයත් ප්‍රදේශය තුළ මේ වන විට මහා පරිමාණයේ වී මෝල් ඉදිව ඇති අන්දමද දැකගත හැකිය.

මෙම සියලු විනාශයන්ට හේතුවූ මූලික කරුණ කුමක්‌ද? එයට හේතුව කාලාන්තරයක්‌ තිස්‌සේ මිනිසා තුළ තිබූ "පොදු යන මිනිස්‌ චින්තනය වෙනුවට "පෞද්ගලික" යන ආත්මාර්ථකාමී චින්තනය තහවුරු වීමය. මිනිසාගේ චින්තනය එසේ වෙනස්‌ වූයේ "ලාභය" නමැති සංකල්පය මූලික කරගත් වාණිජ්‍යමය සමාජ ක්‍රමයක්‌ රට තුළ ස්‌ථාපිත වීමත් සමගය. පොදු සමාජමය ජීවිතයක්‌ ගතකළ මිනිසා ඉඩම් පරිහරණය කළේ පොදු දේපළක්‌ වශයෙනි. එහෙත් සමාජය තුළ වාණිජ්‍යමය ආර්ථික ක්‍රමය තහවුරු වීමත් සමගම ඉඩම් වෙළෙඳ භාණ්‌ඩයක්‌ බවට පරිවර්තනය විය. ඉන්පසු මිනිසා තුළ ඉඩම් පිළිබඳව වූයේ වෙනත් ආකල්පයකි. එදා ගොවිතැනෙහි යෙදුන මිනිසා තම හේන සකස්‌ කළේ පරිසර හිතකාමී ආකාරයටය. විශාල වෘක්‍ෂයන්හි අතු කඳු බෑවා මිස ගස කපා නොදැමුණි. සාමාන්‍ය ගස්‌වලද කපා දැමුණේ ගසේ ඉහළ කොටස පමණකි. ගැමියන් එය හැඳින්වූයේ "කණු මදු" ගහනවා යනුවෙනි. ඒ අනුව වසර කීපයකින්ම එම හේන යළිත් දැඩි මූකලානක්‌ බවට පත්විය. නව වාණිජ්‍යමය ආර්ථික ක්‍රමයේ ස්‌වරූපයට අනුව ගොවිතැන "ආර්ථික බෝග වගාව"ක්‌ බවට පරිවර්තනය විය. ඒ අනුව හේන් ගොවිතැන් කළ ගොවියා තම හේන සකස්‌ කළේ යටි අරමුණක්‌ සහිතවය. එවැනි හේන් යළි කිසි දිනෙක මූකලාන් බවට පත්වූයේ නැත.

.

මුල් කාලීනව දේශපාලනය කළවුන්ගේ අභිප්‍රාය වූයේ බලය මගින් තම සමාජ තත්ත්වය ආරක්‍ෂා කර ගැනීමය. වාණිජ්‍යමය ආර්ථික ක්‍රමය රට තුළ තහවුරු වීමත් සමග දේශපාලකයන්ගේ අරමුණද වෙනස්‌ විය. 50, 60 සහ 70 දශකයන් තුළ සමහරක්‌ දේශපාලනඥයන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය බවට "දැව ජාවාරම" පත්වූයේ එබැවිනි. පොදු සමාජමය දේපළ ක්‍රමයක්‌ සහිත සමාජ ක්‍රමයක්‌ තුළ වනය සලකනු ලබන්නේ "වන සම්පතක්‌" වශයෙනි. එහෙත් වාණිජ්‍යමය සමාජ ක්‍රමය තුළ වනය වන සම්පතක්‌ නොවීය. එම සමාජ ක්‍රමයට අනුව ස්‌වාභාවික ඝන වනාන්තර සලකනු ලැබුවේ ආර්ථික වටිනාකමක්‌ නැති මුඩු කැලෑවන් ලෙසටය. ඕනෑම ඉඩෝරයකට මුහුණ දිය හැකි ලෙස පරිණාමය වූ ඝන පත්‍ර සහිත, සදාහරිත "වීර" ගස ඇතුළු රජරට දේශගුණයට ගැලපෙන ගස්‌ වර්ග කැලෑවලින් ඉවත්කොට ඒ වෙනුවට තේක්‌ක වැනි දැවමය වටිනාකම් ඇති ගස්‌ වර්ග කැලෑවන් තුළට ආදේශ වූයේ එබැවිනි. සමාජයේ ආර්ථික ස්‌වරූපයට අනුරූපීව, අද මිනිසා පෙළඹී ඇත්තේ ඉක්‌මනින් ගෙඩි හැදෙන, ඉක්‌මනින් කපා විකුණා ගත හැකි ගසක්‌ සිටුවීමටය
ලාභය යන සංකල්පය මත විකෘති වූ මිනිස්‌ මනස තුළ "වටිනාකම්" පිළිබඳව මිසක "අගය" පිළිබඳව වන ඇගයීමක්‌ නැත. කුඹුක්‌, මී, පලු, වීර වැනි ගස්‌ වර්ග පරිසරය තුළින් වඳවී යන්නේ එබැවිනි. මිනිසා සතුව තිබූ සියලු සමාජ වටිනාකම් මෙන්ම පරිසරයද පරිහානියට පත්ව ඇත්තේ මිනිසාගේ චින්තනයේ සිදුවූ පෙරළියත් සමග බව පැහැදිලිය. එම පෙරළියට හේතුව මිනිසාගේ වාණිජ්‍යමය ආර්ථික ජීවිතයයි. එම ආර්ථික ජීවිතයට අනුව මිනිසා තමාගේම මිනීවළ තමා විසින්ම කපා ගනිමින් සිටී. රිටිගල වැනි ජාතික සම්පතක්‌ වැනසී යැම මගින් තහවුරු වන්නේ එයයි.හර සුන් ආර්ථික වටිනාකම් පසුපස හඹා යන මිනිසා අද තවදුරටත්, "මිනිසෙක්‌" නොවේ. පවත්නා වාණිජ්‍යමය සමාජ ක්‍රමයට අනුව ඔහු අද ගනුදෙනු කරුවෙකි. එම ගනුදෙනුකරුවා පරිසරයත් සමග කළ ගනුදෙනුව අවසන්ව ඇත්තේ ඛේදවාචයකිනි. ලොව මවිත කළ රිටිගල සුවිශේෂී පරිසර පද්ධතිය වැනසී යැම එම ඛේදවාචකයේ ඵලයක්‌ ලෙස සැලකිය හැකිය. අද ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින පරිසරය පිළිබඳව වන පිරිහීම "රිටිගල" පිළිබඳව වූ ඛේදවාචකයෙන් නතර වන්නක්‌ නොවේ. වත්මන් යුගයේ ජීවත් වන ගනුදෙනුකරුවා වෙනුවට යළිත් "මිනිසකු" බිහිකර ගැනීමට අප වෙර දැරිය යුත්තේ එබැවිනි.



Related Posts with Thumbnails Related Posts with Thumbnails